“මගේ ශල්‍යකර්මයට තව මාසයයි ඊට කලින් වකුගඩුවක් ලැබෙනවා නම්...” | සිළුමිණ

“මගේ ශල්‍යකර්මයට තව මාසයයි ඊට කලින් වකුගඩුවක් ලැබෙනවා නම්...”

හැත්තෑව දශකයේ මැද භාගයේ මුළු රටම ආකර්ෂණය කළ සුරූපිණිය වූයේ ඇය ය. එම වකාවනුවේ ඒ මනරම් යෞවනිය ගැන නොඇසූ තරුණයෙක් ඈත ගම් දවනව්වක පවා නොවුණි. පුවත්පත් වල පළ වූ ඇයගේ රූපයෙන් සැරසුණු කඩපිල් ගම්වල ඕනෑ තරම් විය. ඇය ඇන්ජලා සෙනවිරත්නය. වර්ෂ 1975 ශ්‍රී ලංකා රූ රැජන වූයේ ඇන්ජලාය. ලංකාව වෙනුවන් ලෝක රූ රැජණ තරගය නියෝජනය කළේත් ඇය ය. සංස්කෘතික වශයෙන් වඩාත් පටු තැනක සිටි දශක හතරකට එපිට ලාංකේය සමාජයේ ඇය පෙරළිකාර චරිතයක් වූවාය. මුලින්ම ඇය විලාසිතා නිරූපණ ශිල්පිණියකි.

අනතුරුව මේ රූමතිය සිනමා හා වේදිකා නිළියක් ලෙසත් රූපවාහිනී නිළියක් ලෙසත් කලා ක්ෂේත්‍රයට පිවිසියා ය. අනෙක් රංගන ශිල්පිනියන් කලාතුරකින් අත්විඳින පුළුල් පරාසයක ඇයට සැරි සැරිය හැකි පරිචයක් තිබිණි. කියැවීම ජීවන පුරුද්දක් කරගෙන තිබූ ඇන්ජලා ජනමාධ්‍යවේදිනියක් තිරු ලිපි රචිකාවියක් සේ කටයුතු කළාය. ජාත්‍යන්තර තලයේ ව්‍යාපාර ප්‍රවර්ධක කළමණාකාරියක් ලෙස කටයුතු කළාය. ජීවිතයේ අත්විඳි අප්‍රමාණ හැල හැප්පීම් මැදහත්ව දරාගෙන ජීවිතයට මුහුණ දීමේ පරිචයක් ඇය සාහිත කලා සේවනයෙන්ම අත්පත් කරගෙන තිබිණි.

ජීවිතය එසේය. මේ අතීත සුරූපිණිය අද වියපත්ය. ලෝක ධර්මතාවට අනුව ඇය රෝගීව සිටින්නීය. එහෙත් ඒ මරණීය අවස්ථාවට ඇය මුහුණ දෙන ශක්තිමත් ආකාරය අපට යලිත් ජීවිතය ගැන යමක් කියා දෙන්නේය.

මේ වනවිවට ඇන්ජලාගේ වකුගඩු දෙකම බොහෝ සේ අක්‍රීය වී ඇත. ඒ හේතුවෙන්ම ඇයගේ මුහුණ පෙළා දැමුවා සේය. එහෙත් දෙනෙතින් තවමත් පුරුදු කාන්තිය විහිදෙමින් තිබේ. අප ඇය අමතන මොහොතේත් ඇය වෛද්‍ය සායනයකය.

ඇය මෙසේ අප හා සංවාදයට එක් වූවාය.“වෛද්‍යවරු කියන විදිහට දැනට මගෙ වකුගඩුවලින් සියයට 05 යි වැඩ කරන්නෙ. මේක ඉතාම අවදානම් සහිත තත්ත්වයක්. දැන් ස්වභාවිකම වකුගඩුවලින් පෙරණ ක්‍රියාවලිය ඇණහිටලා තියෙන්නෙ. දැන් කරමින් ඉන්නේ රුධිර කාන්දු පෙරණය ක්‍රියාවලියට යොමුවෙලා වකුගඩුවක් සොයාගන්න තුරු ජීවත් වීම.“

එහෙත් ඇය ජීවිතය උදෙසාවත් රටේ වලංගු නීතියට එරෙහි වන්නේ නැත. රටේ පවතින වකුගඩු ජාවාරම්වල ස්වරූපය වෙනම ලිවිය යුතු කතාවකි. මුදලට වකුගඩු අලෙවි කරන බව කියමින් රෝගීන් රවටන, මුදල් වංචා කරන, තමන් වකුගඩුව ලබා දීමට සූදානම් බව කියා සියලුම වෛද්‍ය පරීක්ෂණ හමාර වු පසු අත්තිකාරමත් රැගෙන මග හැර යන අශිෂ්ට මිනිස්සු මේ රෝගය පැතිරිමත් සමඟ රටේ සුලබය. ඔවුන් නිසා පීඩාවට පත්වූ රෝගීන් නීතියේ පිළිසරණවත් අහිමිව සිටිති. මක්නිසාද යත් රටේ වලංගු නීති ප්‍රකාරව වකුගඩුවක් හෝ වෙනත් ඕනෑම ශරීර අවයවයක් මුදලට විකිණීම හෝ මිල දී ගැනීම අපරාධයක් වන බැවිනි.

“මට අවශ්‍ය වකුගඩුවක් දන් දෙන කෙනෙක්. වකුගඩුවේ වර්ගය ඒ පොසිටිව්. මේ රටේ ජීවිත බේරගන්න සූදානම් මිනිස්සු ඕන තරම් ඉන්නවා . අනේ මම රටේ නීතිය කඩන්න කැමති නෑ. මුදලට වකුගඩුවක් ලබා දෙන්න කැමති අය නම් ඕන තරම් ඇති. එහෙත් බැරිවෙලාවත් මේකෙ නීතිමය තත්ත්වය අනුව ඒ වගක් ආරංචි උනොත් මට ශල්‍යකර්මයවත් කරගන්න ලැබෙන්නෙ නෑ“

කවුරුහරි වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාගෙ පරිත්‍යාගය මම පුණ්‍යානුමෝදනා කරලා බාර ගන්නවා. එයාට අවශ්‍ය පූර්ව වියදම් සියල්ල කරනවා.

අනෙක් දේ තමයි මම මේ ශල්‍යකර්මය කරන්නෙ රජයේ රෝහලෙන්. සියලුම ඖෂධ වියදම් හා ශල්‍ය වියදම් රජයෙන්. ඒ නිසා ඒ සඳහා වියදමක් විශාල වශයෙන් දරන්න වෙන්නෙ නෑ. වෛද්‍යවරුන් කියන්නෙ වකුගඩුව ලබා දෙන කෙනාට පරෙස්සම් විය යුත්තේ දින නවයක කාලයක් බවයි. මට මාස තුනක කාලයක් පරෙස්සම් විය යුතුයි.

මගෙ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් අනුව අවංක කෙනෙක් කතා කරයි කියන බලාපොරොත්තුව මට තියනවා. වයස අවුරුදු 30 - 45 අතර වයස් ඛාණ්ඩයේ කෙනෙක්. “ ඇය කියන්නීය.

දැන් ජීවත් වෙන්නෙ කොහොම ද ? අපි ඇයව විමසුවෙමු. ඒ පිළිතුරේ ආත්ම ශක්තිය හා අභිමානය මිස පශ්චාත්තාප හෝ වැළපීම් නැත.

“ලොකු ප්‍රශ්නයක් නෑ නංගියෙ. මම ස්ථාවරයක හිටපු කෙනෙක්. මට දැනට ගැටලුවක් නෑ, මා දන්නවා මා ගත යුතු තීන්දුව කුමක් ද කියලා. මම රජයේ වෛද්‍යවරුන් ගෙන් බෙහෙත් කරන්නෙ. පෞද්ගලික රෝහලකට යන්නෙ නෑ. මට දැඩි විශ්වාසයක් තියනවා මේ රටේ අතිමහත් බහුතරයක් අසනීපයක දි බෙහෙත් හේත් කරන රජයේ වෛද්‍ය පහසුකම් හා වෛද්‍යවරු ගැන.“

දුවලා තුන් දෙනා දැන් ඔබ ගැන දුක්වෙනවා ඇති. අපි කතාව වෙනත් මානයකට යොමු කළෙමු.““දුවලා තුන් දෙනාම රට. එ් අයට එන්නත් බෑ; මුකුත් කරන්නවත් බෑ.. ඒ අය හැමදාම කතා කරලා අඬනවා. ලොකු දුව මට වකුගඩුවක් දෙන්න සූදානම් වෙලා හිටියෙ. ඒත් මේ ලෝක තත්ත්වය ලොකු අවුලක් කළා. ඇයට මේ රටට එන්න, ඇවිත් නිරෝධායනය වෙලා වෛද්‍ය පරීක්ෂණවලට ඉන්න, නැවත සෞඛ්‍යය සහතික සහිතව ඇයගේ රටට යන්න, ගිහින් නැවත පෙර ජීවිතයට හුරු වෙන්න වැනි කටයුතු හරිම සංකීර්ණයි. ගොඩාක් වෙලාවට ප්‍රායෝගික නෑ.“

වෛද්‍යවරු ඇගේ ශල්‍යකර්මය අගෝස්තු මාසයේ සැලසුම් කර ඇත.

“ඒ කාලය වනවිට වකුගඩුවක් සොයා ගත යුතුයි. එතකම් ඩයලසීස් කරලා ජීවත් වෙනවා. මා හිතනවා මට අගෝසතුවෙන් පසු ජීවත්වෙන්න පුළුවන් විදිහෙ ප්‍රදානයක් මේ රටේ පින්වත් මිනිසුන් අතින් සිද්ධ වේවි කියලා.“

ඇය බලාපොරොත්තු සහගතව කියන්නීය. ජීවත්වීම සඳහා කරන ඇන්ජලා ගේ සුබවාදී බලාපොරොත්තුව සඵල වනු සඳහා යහපතක් ප්‍රාර්ථනා කිරීමට එක්වෙමින් සංවාදය හමාර කළෙමු.

Comments