‘යහපාලන’ ආණ්ඩුව පාඩු පිට පාඩු කළ ලංකා ලුණු සංස්ථාව | සිළුමිණ

‘යහපාලන’ ආණ්ඩුව පාඩු පිට පාඩු කළ ලංකා ලුණු සංස්ථාව

මේ සුන්දර දිවයිනේ ලුණු හිගයක් නැතුව පැවැතුණේ ඇති තරමට රට වටේම මහ මුහුද පවත්නා නිසාය. මහ පොළොවෙන් උකහා ගත හැකි මෙවන් සම්පත් අප සතුව බොහෝමයක් තිබුණත් අපි ඒවායින් නිසි ප්‍රයෝජන අත්කර ගෙන ඇත්ද යන්න සැකයකි. රට වටේම මහ මුහුද තිබුණත් අපේ ලුණු පිටරටින් ගෙන්වන කතාව පසුගියදා කරලියට පැමිණියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ පිළිබඳ හාරා ඇවිස්සීමත් සමඟය. ලුණු නිශ්පාදනයට නොමිලයේ ලබා ගත හැකි ප්‍රධාන සම්පත අපට හිමි ව තිබුණද මේ වන විටත් බොහෝ දෙනා නොදන්නා පරිදි ලුණු සමාගම් දුව යන්නේ අධික පාඩු පිට පාඩු ලබමිණි.

 

‘ලක්ලුණු‘ නමින් වෙළෙඳ පොළට ලුණු නිකුත් කරන්නේ හම්බන්තොට පිහිටි ලංකා සෝල්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි. ISO හා SLS තත්ත්ව සහතක ලත් එකම ආයතනය වන මෙහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් සේවය කරති. මෙහි කොටස්වලින් සියයට 90 ක හිමිකාරත්වය ඇත්තේ සේවක භාරකාර අරමුදලටය. එම නිසා එය මහජනතාවටද අයත් ආයතනයක් වන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ලුණු ලේවායන් අතරින් විශාලතම ලුණු ලේවාය වන්නේද ලංකා සෝල්ට් ලිමිටඩ්ය. නමුත් පසුගිය කාලයේ මෙහි සිදුවීයැයි සඳහන් වන විවිධ අකටයුතුකම් හේතුවෙන් මෙය ලාබ ලබන තැනට පත් නොවී මහත් පාඩු ලබන තැනට පත්විය. එපමණක් නොව මෙහි පරිපාලනය බිඳ වැටුණි. මූල්‍යමය අතින්ද පරිහානියට පත්විය. එපමණක් නොව මේවායේ ගිණුම් විගණන වාර්තා පිළිබඳවද නොයෙක් ප්‍රශ්න මතුවිය. බොහෝ අය පවසන්නේ ඔවුන් බාල වර්ගයේ ලුණු වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවය.

පසුගියදා නිකුත් වූ වර්තාවන්ට අනුව ලංකා ලුණු පෞද්ගලික සමාගම ( ලංකා සෝල්ට් ප්‍රයිවට් ලිමිටඩ් ) 2016 දී රුපියල් කෝටි 70ක ලාබයක් ලබා ඇත. 2017 වසරේදී එහි ලාභය කෝටි 32 දක්වා අඩුවී ඇති අතර 2018 දී මේ සමාගම රුපියල් ලක්ෂ 28ක පාඩුවක් පෙන්වා තිබේ. 2019 වසරේදී එහි පාඩුවව එක්කෝටි අනූ එක් ලක්ෂයකි. රට වටේ ඇති තරම් සම්පත් තිබියදී 2018 වසරේදී මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා රුපියල් දහ අටකෝටි තිස් හත් ලක්ෂයක්ද 2019 වසරේදී රුපියල් දහනව කෝටි පන්ලක්ෂයක මුදලක්ද වැයකර ඇත. 2020 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා රුපියල් කෝටි අටක ලුණු මෙරටට ගෙන්වා ඇත.

ලුණු සංස්ථාව 1998 දී පෞද්ගලිකකරණයට සැලසුම් කර තිබියදී එදා මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමැතිවරයා ලෙස මැදිහත්ව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) යටතට පවරාගනු ලැබීය. පසුව සංස්ථාවේ ප්‍රාග්ධනයෙන් සියයට අනූවක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන්ද ඉතිරි සියයට දහය සේවකයන්ද හිමිකරගත් බව ලංකා ලුණු පෞද්ගලික සමාගම පසුව ඉතා ඉහළ ලාභ ලබන සමාගමක් බවට පත්විය. කෙසේ වෙතත් දැන් ඇතිවී ඇති තත්ත්වය ඉතා කණගාටුදායකය. ජනාධිපතිවරයාගේ අදහස සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යටතේ ඇති සමාගමක් මෙසේ පාඩු ලැබීම කිසිසේත් සිදු නොවිය යුතු බවයි.

ලංකා ලුණු පුද්ගලික සමාගමේ මේ වන විට ස්ථීර සේවකයින් 690 ක් හා අනියම් සේවකයින් 172 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බවට වාර්තා වෙයි. ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සිටින පිරිස් සමඟ සමස්තය 1100 දෙනෙකුට ආසන්නය. නමුත් මේ පිළිබඳ අදහස් දක්වන අය පවසන්නේ 500 ක පිරිසක් සමඟ මේ කාර්ය පහසුවෙන් සිදු කළ හැකි බවයි. මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විවිධ අය විසින් මේ ආයතනයේ නීති රෙගුලාසි නොතකමින් විවිධ අවස්ථා වල සේවකයින් ඇතුළත් කිරීමයි. මෙයින් සමරක් සිය කැමැත්තෙන්ම විශ්‍රාම ගොස් නැවතත් පැමිණි අය වන අතර අනෙක් පිරිස් විවිධ හිතවත්කම් උඩ ඇතුළත් කර ගත් අයයි. බොහෝ පිරිස් චෝදනා කරන්නේ මෙහි කිසිදු වෙහෙසක් නොගෙන වැටුප් ගන්නා පිරිස් විශාල ප්‍රමානයක් සේවය කරන බවයි. විටින් විට විවිධ තනතුරුවලට පත්කිරීම් හා ගොන් බලධාරින්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව ඇති අඩු දැනුම නිසා මේ ආයතනය දිනෙන් දින පිරිහි යන්නට හේතුවක් වී ඇති අතර එයින් ලාබ ඉපැයීමේ මාර්ග සියල්ල ඇහිරී ඇති බවයි.

මේ ආයතනයේ පාඩු ලැබීම් පිළිබඳව සඳහන් කරන අය පවසන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලුණු විකිණීම මේ පාඩුවට හේතු වී ඇති බවයි. විශේෂයෙන් ලුණු නිශ්පාදන මිලට වඩා අඩුවෙන් දෙන්නට සිදුව තිබෙන බව ඔවුන්ගේ චෝදනාවයි. 2015 වසරේ සිට මේ ආකාරයෙන් පුද්ගලික හිතවත්කම් මත මෙවැනි දේවල් සිදුව ඇති අතර මේ වන විට වැටුප් ගෙවීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයකටද ආයතනය මුහුණ දි සිටියි. කෙසේ වෙතත් රට වටේට මුහුද තිබුණත් ලුණු නිෂ්පාදන වියදමට වඩා පාඩු විඳින්නට සිදුව ඇත. සාමාන්‍යයෙන් ලුණු කිලෝ 1 ක් නිශ්පාදනයට රුපියල් 10 ක් වැය වන අතර එය පැකට් කිරිමට රුපියල් 18.50 ක මුදලක් වැයවේ. මෙය නියෝජිතයින්ට ලබා දෙන්නේ රුපියල් 28-30 ක් වැනි මුදලකටය. නමුත් නියෝජිතයෝ පාරිභෝගිකයාට එම ලුණු පැකට්ටුව විකුණන්නේ රුපියල් 60 ක් වැනි මුදලකටය. මේ නිසා ලාබ ලැබීමේ අවස්ථාව ලංකා පුද්ගලික ලුණු සමාගම වෙතින් ගිලිහි ගොස් ඇත.

මේ පිළිබඳව හඬ නඟන ‘ හම්බන්තොට අපි ‘ සංවිධානයේ සභාපති දිනුෂ්ක විරසිංහ පවසන්නේ මෙවන් අදහසකි.“අපි මේ පිළිබඳව දිගින් දිගටම පෙන්වා දුන්නා. ඒත් මේ වන විටත් සාධාරණ විසදුමක් ලැබුණේ නැහැ. හම්බන්තොට ලුණු ISO සහතිකය ලබා තියෙනවා. 2016 වසරේදි තමයි මෙහි ලොකුම වංචාව සිදුවුණේ. එදා හිටපු බලධාරින් පුත්තලම වෙළෙන්දන්ගෙන් ලුණු මෙට්රික් ටොන් 17524 ක් ගෙනැවිත් මේ ලුණුත් සමඟ මිශ්‍රකර පැකට් කරන්න උත්සාහ කළා. පුත්තලමේ තියෙන්නේ ඉස්සෝ කොටුවල හැදෙන ලුණු. මේවායේ ඉස්සන්ට දාන රසායනික තියෙනවා. අපි මේ ගැන හඬක් නැගුවාම මේ දේ නැවැත්වුවා. මේ සම්බන්ධයෙන් හම්බන්තොට ලේවායේ පර්යේෂණාගාරයෙන් වාර්තාවක් පවා නිකුත් වුණා. එහි සඳහන් වුණේ මේවා පරිභෝජනයට නුසුදුසු බව. 2017 විගණන වාර්තාවට අනුව මේ ආයතනයට එයින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 283 ක්. ඉන්පස්සේ මේ අය ‘බුන්දල සෝල්ටන්‘ නමින් ව්‍යාජ නමක් යොදා මෙසේ ගෙනා ලුණු නැවතත් පැකට් කර විකුණන්න හැදුවා. ‘බුන්දල සෝල්ටන්‘නමින් ආයතනයක් හෝ නැහැ. පසුව විමර්ශන කරද්දි මේවා මේ අය හැංගුවා. ඒ වගේම 2016 මෙහි විශාල වැලි ජාවාරමක් සිදුවුණා. මහ පරිමානයෙන් වැලි විකිණුවා. ඒ සියල්ල ඔප්පු කරන්න බැරිවුණේ මීට ආදාල ලේඛණ පවා මේ අය හැංගූ නිසා. නමුත් අදටත් මෙහි පස් කපා ඇති ආකාරය විමර්ෂණය කළහොත් මේ විනාශයේ තරම හොයා ගන්න පහසුයි.......“ ඒ ‘හම්බන්තොට අපි‘ සංවිධානයේ අදහසයි.

ආයතනය සිදුවූ මේ අකරතැබ්බයට පිළියම් යොදන්නට මේ වන විට බලධාරින්ට සිදුව ඇත. මින් ඉදිරියට ලුණු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවද 2015 ට පෙර මෙන් ලුණු නිෂ්පාදන අපනයන කරන තත්ත්වයට සමාගම පත්කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර පාඩු ලැබීම පිළිබඳ නිදහසට කරුණු වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපාය මාර්ග තමාට ඉදිරිපත් කරන ලෙසද සභාපතිට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අවධාරණය කොට ඇත. මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක් වූ එම ආයතනයේ සභාපති නිශාන්ත සදබරණ දැක්වූයේ මෙවන් අදහසකි.

“ දූෂණ පිළිබඳව දැන ගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා. ලංකා ලුණු සමාගමෙහි සභාපතිත්වය දරන මම පසුගිය දින 52 ආණ්ඩුවේදීත් සභාපති. අද මේ ලුණු සමාගම අධික පාඩු ලබන ආයතනයක්. ඒකට ගොඩක් හේතු තියෙනවා. ප්‍රධානම හේතුව තමයි සමාගමක් හැටියට ලියාපදිංචි කරපු මේ ලුණු සමාගමට පසුගිය යහපාලන කාලයේ සීමාවක් නැතිව බඳවාගත් සේවක සංඛ්‍යාව. ඒ විතරක් නෙමෙයි ලුණු හදන්න පාත්ති හදනව කියල මහා පරිමාණ වැලි ජාවරමක් කරල තියෙනව. අද ලෝකයේ දියුණු රටවල නවීන තාක්ෂණය උපයෝගී කරගෙනයි මේ කර්මාන්තය දියුණු කරල තියෙන්නෙ. ලුණු කැඩීම කරන්නෙත් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන්. අපි ඒ ගැනත් හිතන්න ඕනෙ. ලුණු නිෂ්පාදනයේදී හැදෙන අතුරු ඵලවලින් ආදායමක් ලබා ගන්නේ අල්ප වශයෙන්. උදාහරණ හැටියට අපි ලුණු හදද්දී ඉබේම හැදෙන ජිප්සම් ටිකෙන් අපේ රටේම plaster Paris නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම වුණොත් දැනට රට විශාල බරක් වෙලා තියෙන මේ ආයතනය රටට විශාල මුදලක් ඉතිරි කර දෙන්න ලේසියෙන්ම පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි අද ජ්‍යාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලන රික්තක ලුණු (Vacum salt) නිෂ්පාදනය ඉක්මනින්ම අපි ආරම්භ කළ යුතුයි. ඒකෙන් අපට විශාල විදේශ විනිමයක් ගෙන්වා ගත හැකියි.“ ලංකා පුද්ගලික ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ පවසන්නේය.

කෙසේ වෙතත් මෙසේ පාඩු ලබමින් පවතින ලංකා පුද්ගලික ලුණු සමාගමට ලාබ ඉපැයීමේ අවස්ථාව තවමත් ඇත්තේය. මේ සඳහා යායුතු ගමන් මාර්ගය පිළිබඳව මෙන්ම මෙම නිධානයෙන් රැකියා සුරක්ෂිත කර අරුණලු දකින්නට අදහස් ගොන්නක් ඔවුන්ට ඇත්තේය. මේ ලංකා පුද්ගලික ලුණු සමාගමේ සේවක අධ්‍යක්ෂ දිනුක චාමරය. ඔහු සිය අදහස් ජනාධිපතිවරයාටද පසුගියදා ඉදිරිපත් කළේය.

“ ලංකාව පුරාම තියෙන කෝප්- සිටී, ෆුඩ් සිටි මෙන්ම සමූපකාර වලට අතර මැදියන් නොමැතිව අපිට රුපියල් 50 ක මිලකට දෙන්න පුළුවන් නම් එක රැයකින් මේ ව්‍යාපාරය ගොඩ දාන්න පුළුවන්. අපි ලුණු විදේශ රටවලට අපනයනය කිරීමේ ක්‍රම හදුන්වා දී නැහැ. අපිට පුළුවන් නම් කරපිංචා, සූදුරු, එනසාල්, ගම්මිරිස් වැනි කුළුබඩු මිශ්‍රකර ලුණු සකස් කර විදේශ රටවලට යවන්න, හොඳ වෙළෙඳ පොළක් අපේ ලුණු වලට හිමි වෙනවා. ගොඩාක් රටවල් මෙවැනි ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම විවිධ රෝගවලට ගුණදායක ලෙස ලුණු සකස් කර විදේශ රටවලට යවන්න පුළුවන්. මුහුදු ප්‍රදේශවල මෙන්ම ලුණු පාත්ති වල තියෙන සුළං පරිසරය ඇදුම රෝගීන්ට ගොඩාක් හොඳයි.

අපේ ලේවායන් තියෙන බූන්දල, හම්බන්තොට හා පලටුපාන ප්‍රදේශවල අක්කර 2000 ක් තියෙනවා. මේවායේ නිවාඩු නිකේතන සකස් කර සංචාරකයින් ලබා දෙන්න හැකිනම් එයත් විශාල ආදායම් මාර්ගයක්. ඒ වගේම හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය ආසන්නයේ අපේ විකිණුම් මධ්‍යස්ථානයක් යොදන්න පුළුවන් නම් මේ ගමේ, රටේ සම්පතට වැඩි අරුතක් දිය හැකියි...“ ඒ සේවක අධ්‍යක්ෂ දිනුක චාමර ය. ඔහු පවසන්නේ පසුගිය පාලන සමයේ මෙහි සිදුවූ වංචා දූෂණ සම්බන්ධව අල්ලස් හා දුෂණ වංචා විමර්ෂන කොමිසමට 2019 වසරේද පැමිණිලි කර ඇති බවයි. මේ හේතුවෙන් ඔහුට මේ ආයතන රැක ගැනීමේ ක්‍රියාන්විතයේදි ජිවිත අවදානම් පවා ඇති වී රැකියාව පවා අහිමි වී ඇති බවයි.

සේයාරු - එම් ඉර්ෆාන් සකරියා

( හම්බන්තොට සමූහ )

Comments