හෝහපුටන්ගේ මුල්පෙළේ ඉලක්කය | සිළුමිණ

හෝහපුටන්ගේ මුල්පෙළේ ඉලක්කය

ශ්‍රි ලංකාව වැනි රටවල දේශපාලන බලය පැණි හැළියකට උපමා කළ හැකිය. අප එසේ කියන්නේ එබදු පැණි හැළියක් වටා ඇඹලයන්, කුහුඹුවන් සහ හෝහපුටන් එක්රොක් වීම සාමාන්‍ය සිද්ධියක් බැවිනි. එසේම එවැනි කුඩා සතුන් පැණි හැළියක් වෙත ඇදී එන්නේ ආවාට ගියාට නොවේ. ඔවුන්ගේ අරමුණ වන්නේ එම හැලියේ ඇති පැණි තමන්ගේ ආහාරයට ගැනීමය. එහි ඇති පැණි ටික කා දැමූ පසු තවත් එක් මොහොතක් නොරැඳී එම සතුන් ආපසු යෑමද අනිවාර්යයෙන් සිදු වන්නකි.

මෙරට කාලාන්තරයක් තිස්සේ පවතින දේශපාලන චර්යාවද එම ඇඹලයන්ගේ, කුහුඹුවන්ගේ සහ හෝහපුටන්ගේ ක්‍රියාවලියට බොහෝදුරට සමානය. පැණි හැළියේ ඇති පැණි ටික අවසන් වූ පසු නිසොල්මනේ ආපසු ගියත් බලය වටා ඒකරාශී වන දේශපාලන ඇඹලයන්, කුහුඹුවන් සහ හෝහපුටන් එම ස්ථානයෙන් එළවා දැමීම ලේසි පහසු කටයුත්තක් නොවේ.

මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ඇරඹුණු දා සිටත්, විධායක ජනාධිපතිධූරය හඳුන්වා දුන් දා සිටත් දේශපාලනය වටා භ්‍රමණය වන ඇඹලයන්, කුහුඹුවන් සහ හෝහපුටන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඔවුන් බොහෝ විට මෙරට දේශපාලන බල අධිකාරිය වටා ඒකරාශි වන්නේ ළෙන්ගතු මිතුරු මිතුරියන්ගේ වේශයෙනි. එසේම නොයෙකුත් චාටු කතා කියමින් අදාළ දේශපාලන බලවතාගේ හෝ බලවතියගේ ආකර්ෂණය දිනා ගන්නා ඒ පිරිස ඊළඟට කරන්නේ එම පුද්ගලයාගේ මොළය කුරුවල් කිරීමයි. නැතහොත් එම බලවතා හෝ බලවතිය තමන්ගේ අල්ලේ නැටවීමයි.

මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරම්භ වීමෙන් පසු බිහිවූ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන මහාමාත්‍ය ඩී. එස්. සේනානායකගේ සිට ඉකුත් විධායක ජනාධිපතිවරයා දක්වා වූ හැම රාජ්‍ය නායකයෙක්ම වටා මෙබදු පුද්ගලයන් සිටි බව ප්‍රකට කරුණකි. ඩී.එස් ගේ ආණ්ඩුවේ සිටි ඊළඟ ප්‍රබලයා වූ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරණායකට හිමි විය යුතු ස්ථානය ලැබීමට ඉඩ නොදී ඔහු එ.ජා.ප.යෙන් ඉවත්ව යන තැනට මග සලසනු ලැබුවේද එකල ඩී.එස් වටා සිටි මෙබඳු පුද්ගලයන්ය. අන්තිමේදි එ.ජා.ප යෙන් ඉවතට ගොස් ශ්‍රිලනිපය පිහිටුවා ගෙන 1956 දී ආණ්ඩු බලය පවා ලබා ගත් බණ්ඩාරනායකට තමන්ට අවශ්‍ය පරිදි සමබරව ආණ්ඩුව පවත්වා ගෙන යෑමට පවා ඔහු වටා සිටි ඊනියා හිතවතුන්ගෙන් ඉඩ ප්‍රස්ථාවක් නොලැබිණි. අන්තිමේදී තමන්ගේ හිතවතුන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තම ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා එතුමාට සිදු වුණි.

ඉන් අනතුරුව බිහි වූ රාජ්‍ය නායකයන් වන ආචාර්ය ඩබ්ලිව්. දහනායකට, සිරිමාවෝ බණ්ඩාරනායකට, ඩඩ්ලි සේනානායකට පමණක් නොව 1977 දී 5/6 ක පාර්ලිමේන්තු බලයක් ලබා ගත් මහා බලවතා වූ ජේ. ආර් ට පවා මේ ඇඹලයෝ විවිධ අයුරින් ලණු දුන්හ. වර්තමානයේ අහෝසි කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී ඇති විධායක ජනාධිපති ක්‍රමය පවා එකල කවුරුන් හෝ ජේ. ආර්. ට දී ඇති දිරච්ච ලණුවකි. ඔහු එදා එ.ජා.ප.යට වාසිදායක ලෙස දිස්ත්‍රික් සමානුපාතික මැතිවරණ ක්‍රමය මෙන්ම මනාප ඡන්ද ක්‍රමයද මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ තමා වටා සිටි බක පණ්ඩිතයෙක් විසින් දෙනු ලැබූ අදහසක් අනුවයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාද තමන් වටා සිටි මෙබදු ඊනියා උපදේශකයන් විසින් දෙන ලද දිරච්ච ලණු අනන්තවත් ගිල දමා තිබුණේය. ඔහු උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට ලොරි ගණන් ආයුධ හා මුදල් දී තිබුණේද එබදු වැරදි උපදේශයක් අනුවයි. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරටා තමන් වටා සිටි දෛවඥයන්ට කොතරම් මුළා වී සිටියාදැයි කිවහොත් ශ්‍රී ලංකාවේ නම “ෂ්‍රී ලංකාව” (Shri Lanka) යනුවෙන් වෙනස් කිරීමටද කටයුතු යොදා තිබුණේය.

ඔහුගේ ඇවෑමෙන් බලයට ආ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා රට තුළ ප්‍රබල වෙනසක් ඇති නොකළද හැරල්ඩ්ගේ හා විල්සන්ගේ පදයට නැටූ එතුමා ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය මුලින් පවත්වා එ.ජා.ප.යට බරපතළ හානියක් සිදු කළේය.

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය තුළද මෙවැනි ඊනියා උපදේශකවරුන්ගේ වෙසින් පැමිණි ඉහඳ පණුවන්ගෙන් හිගයක් නොතිබිණි.වෙනතක් තබා ඇය බලයට පත් වූ අලුත එනම් 1995 වසරේ කොටින් හා සාකච්ඡා කිරීමට යවන ලද දූත පිරිසට කිසිදු වගකිව යුතු දේශපාලඥයෙකු ඇතුළත් නොකෙරුණේද තම මිතුරු සමාජිය කෙරෙහි තිබූ විශ්වාසය නිසාය.පසු කාලයකදී කොටින්ගේ මාධ්‍ය ප්‍රකාශක භූමිකාවට පණ දුන් වසන්ත රාජා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් පත් කෙරුණේද චන්ද්‍රිකා මැතිනිය වටා සිටි ගජ මිතුරු සමාජයේ බලපෑමෙනි.

එතුමියගේ පාලන කාලය තුළ එ.ජා.පයේද සහයෝගයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනිමට ඕනෑතරම් හැකියාව තිබුණේය. එහෙත් එම අවස්ථාව වැළකී ගියේ තම ගජ මිතුරු සමාජයේ කේවට්ට උපදෙස් මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුත්තේ මගේ නිල කාලය අවසන් වීමෙන් පසුවයි.... කියමින් ඇය අමුතු කොන්දේසියක් පැනවූ බැවිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආරම්භයේ සිටම බක පණ්ඩිත උපදේශකවරුන්ගෙන් ගැලවිල්ලක් නොවීය. තම පක්ෂයේ නායකයාට මෙන්ම රාජ්‍ය නායකයාට එරෙහිව තරග කර ජනාධිපති ධුරයට පත්වී සතියක් හෝ දෙකක් වැනි කාලයක් තුළ හෙතෙම ශ්‍රි. ල. නි. ප නායකත්වය පිළිගන්නා ලද්දේද තමන් වට සිටි උපදේශකයන්ගේ කියුම් බස් අනුවයි. එතුමා නිතර කියූ තමන්ගේ නිර්පාක්ෂික භාවයද එම ක්‍රියාවත් සමඟ අහිමි කර ගත්තේය. 2015 ජනාධිපතිවරණයේදී මෙරට බහුතර ජනතාව මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය ද ඒ සමඟම අතුරුදන් වී ගියේය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන ආණ්ඩුවෙන් නොයෙකුත් වැරදි හා අඩුපාඩු සිදු වී තිබේ. මහ බැංකුවේ මගඩිය ඒ අතරින් එකකි. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම එවැනිම තවත් සිනා උපදවන සුළු සිද්ධියක් වන අතර හම්බන්තොට වරාය චීනයට බදු දීම වැනි තවත් අනුචිත ක්‍රියා කිහිපයක්ම යහපාලන ආණ්ඩුව යටතේ සිදු වී තිබේ. එහෙත් ඒ ගැන හිටපු ජනාධිපතිවරයා කියන්නේ ඒවා රනිල්ලාගේ වැඩ බවයි. විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යංශ වෙන් කරන බව කී යහපාලන ආණ්ඩුව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශය එකට ඇද ලක්ෂ්මන් කිරිඇල්ලට පවරද්දී ජනාධිපතිවරයා මුවින් නොබැන බලා සිටියේ තම ඊනියා උපදේශකයන් වෙතින් ලැබුනු බක පණ්ඩිත උපදෙස් අනුව විය හැකිය.

ඉහත සඳහන් කරුණු කාරණා දෙස බලන විට පැහැදිලි වන්නේ මෙරට සිටි බොහෝමයක් රාජ්‍ය නායකයන්ට තම ගජ මිතුරු සමාජයෙන් සහ බක පණ්ඩිත උපදේශකයන් නිසා අනවශ්‍ය ප්‍රශ්න හා බොහෝ කරදර ඇතිවන බවයි. අසන්නට ලැබෙන අන්දමට නම් 1948 සිට 2019 දක්වා මෙරට පහළ වු හැම රාජ්‍ය නායක නායිකාවකටම තම ගජ මිතුරන් හා බක පක්ඩිත උපදේශකවරුන්ගෙන් අපළ උපද්‍රව ඇති වී තිබෙන බවයි.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් දේශපාලන ක්ෂේත්‍රයට නවකයෙකි. මේ වන විට ඔහු එම තනතුරට පත්වී මාස අටකට වඩා කාලයක් ගතවී නැත. එහෙත් ඔහු එම සුළු කාලය ඇතුළත වැඩ පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ඔහුගේ හැකියාව වඩාත් කැපි පෙනුණේ කොරෝනා වසංගතයෙන් රට ගලවා ගත් ආකාරයෙනි. ඒ අනුව හෙතෙම තමන්ගේ වැඩ පෙන්වා ඇති වැඩකාරයෙකි. එහෙත් ඉහළ සාමාජයේ සිටින හෝහපුටන්ට එවැනි වැඩකාරයන්ව පෙනෙන්නට බැරිය.

Comments