සුව හමුව | සිළුමිණ

සුව හමුව

ප්‍රශ්නය - මම 21 හැවිරිදි සරසවි ශි‍ෂ්‍යයෙක්මි. මම කාලයක පටන් හිස්හොරිවලින් පීඩා විඳිමි. හිස්හොරි හිසකෙස් අතර තිබෙන විට මිතුරෝ උසුළු විසුළු කරති. කොතරම් හොඳින් ෂැම්පු දමා ස්නානය කළත් හිස්හොරි මතු වේ. සමහර දිනවල කමිසයේ පවා හිස්හොරි තිබේ. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත්තෙමි. ඔහු ලබා දෙන සබන්, ෂැම්පු ඇතුළු ඖෂධ වර්ගසඳහා වරකට රු. 10,000/= ක් වැනි මුදලක් වැය වේ. ‍මා වැනි සිසුවකුට එවැනි මුදලක් වැය කළ නොහැකි බැවින් ප්‍රතිකාර ගැනීමට ගියේ නැත. මා වැනි අඩු ආදායම්ලාභී අයට හිස්හොරි සුව කර ගැනීමට ක්‍රමයක් තිබේද?

අකුරැස්ස- සුපුන් ලක්ෂිත දහනායක

 

පිළිතුර - ඔබට දිය හැකි හොඳම විසඳුම වන්නේ රජයේ රෝහලක චර්ම රෝග සායනයකට යොමුවීමයි. කොරෝනා වසංගත හේතුවෙන් රෝහල්වල සායන අඩපණ වී තිබුණද දැන් සීමාසහිතව හෝ සායන නැවතත් අරඹා තිබේ.එබැවින් ඔබට ආසන්නයේ පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනයට සහභාගි වෙන්න.

 

ප්‍රශ්නය - මම 36 හැවිරිදි පුද්ගලික බස් රථ රියදුරෙක්මි. මගේ රැකියාවේ ස්වභාවය අනුව ස්නානය කරන්නේ රාත්‍රී කාලයේදී ය. පාන්දර 4.00ට නිවසින් පිටත්වන නිසා උදෑසන ස්නානය කළ නොහැකිය. දැන් වසර 4ක පමණ සිට හිසකෙස් ගැලවෙයි. මේ වන විට තට්ටයද පෑදී තිබේ. පීනස් ගතියක් හෝ සොටු දියර ගැලීමක් නැත. මට ඇති එකම ප්‍රශ්නය තට්ටය පෑදීමයි. බොහෝ දෙනෙකු පවසන්නේ රාත්‍රියේ ස්නානය කරන නිසා තට්ටය පෑදෙන බවය. එහි සත්‍යතාවක් තිබේද. මීට විසඳුමක් අපේක්ෂා කරමි

කැලණිය - චන්දන රුවන් කුමාර

 

පිළිතුර - රාත්‍රී කාලයේ ස්නානය කළ විට තට්ටය පෑදෙන්නේ නැති බව ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය. ඔබේ හිසකෙස් ගැලවී යාමට හේතු වශයෙන් හිස්කබලේ ඇති චර්මයේ තත්ත්වයක් හෝ ජානමය හේතුවක් බලපෑ හැකිය. එබැවින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. එහිදී වෛද්‍යවරයා විසින් තට්ටය පෑදීමට හේතුව සොයා බලනු ඇත. හිසකෙස් හැළීම නැවත්වීමට ප්‍රතිකාර තිබේ. එසේ නොමැති නම් හිසකෙස් රෝපණය කිරීමටද පුළුවන.

 

ප්‍රශ්නය - මගේ පියාගේ වයස අවු: 83කි. ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන රෝගියෙකි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර කරන නමුත් ගුණයක් නැත. පාකින්සන් රෝගය නිට්ටාවට සුව කළ නොහැකිද? පාකින්සන් රෝගියකු රැක බලා ගත යුතු විශේෂ ආකාරයක් තිබේදැයි පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

නාවලපිටිය - ප්‍රභාත් අසංක රණතුංග

 

පිළිතුර - පාකින්සන් රෝගය නිට්ටාවට සුව කළ නොහැකිය. එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. සමහරුන්ට ඇවිදීමට අපහසු වන අතර සමහරුන්ට වෙව්ළීම ඇතිවේ. එමෙන්ම සමහර කාලවලදී රෝගය පාලනය වී තිබී තවත් කාලයකට වැඩි විය හැකිය. පාකින්සන් රෝගය විටින් විට මෙන් ම රෝගියාගෙන් රෝගියාට වෙනස් වන බැවින් රෝගීන් රැක බලා ගැනීම ද රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගීන් රැක බලා ගැනීමේ විශේෂ ක්‍රමෝපායන් රෝගියාගේ අවශ්‍යතාව අනුව වෙනස් වේ. ඔබට හොඳම විසඳුම ලබා ගත හැක්කේ පියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙනි. නැතහොත් අන්තර්ජාලය හරහා තොරතුරු පිරික්සීමෙන් ද ඔබට අවශ්‍ය විස්තර ලබා ගත හැකිය.

 

ප්‍රශ්නය - මගේ දියණියගේ වයස අවු: 17කි. ඇයට මාසික ඔසප් වීමේදී ඉතා දරුණු අන්දමට වේදනාව ඇති වේ. සමහර දිනවල පාසල් ගමන පවා නවතා දමයි. වෛද්‍යවරයකු හමු වූ විට ස්කෑනින් පරීක්ෂණයක් කරන ලෙස කී බැවින් එය කළ අතර එහි කිසිදු දෝෂයක් නැති බව ඔහු පැවසීය. ඔසප් දිනවලදි ගැනීමට වේදනා නාශක ඖෂධ ලබා දුන් නිසා දියණිය ඒවා පාවිච්චි කරයි. එහෙත් වේදනා නාශක ඖෂධ නොමැති වූ විට පෙර පරිදි වේදනාව ඇති වේ. මෙය ඇගේ අධ්‍යාපනයට ද බාධාවකි. වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.

බල්ලපාන - රසිකා සෙව්වන්දි විජේතිලක

 

පිළිතුර - මෙය වර්තමානයේ බොහෝ තරුණියන් අතර දක්නට ලැබෙන පොදු ප්‍රශ්නයකි. ඔබ දියණියව පෙන්වූයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුට ද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට ද කියා සඳහන් කර නැත. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මන්ද ඔබේ දියණියගේ ප්‍රශ්නයට විසඳුම ලබා දිය හැකි සුදුසු ම පුද්ගලයා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වන බැවිනි.

Comments