සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

ජූලි 05 දින සිට ජූලි 11 දක්වා

මේෂ ලග්නය-දණහිස ආශ්‍රිත උවදුරු

සතිය ආරම්භයත් සමග චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 9, 10, 11, 12 යන ස්ථාන වල ගමන් කරන නිසා ඔබට යහපත උදා කරනු ඇත. රැකියා ආර්ථික දියුණුව හා නිරෝගී සුවය මෙන්ම පිටරටක සිට පැමිණි හෝ පිටරටක සිටින ඔබගේ ඥාති හිතවතකුගෙන් මූල්‍යමය පරිත්‍යාගයක් නිසා කිසියම් ව්‍යාපාරයකට වුවද සුබ වෙයි. ප්‍රවේශම් විය යුත්තේ දණහිස ආශ්‍රිත උවදුරු කරදර එළඹීමට ඇති ඉඩකඩ නිසා වුවද ප්‍රවේශම් වීමෙන් එම උවදුරුද අවම කරවා ගත හැකිය. සතිය මැද භාගයේ රැකියා ස්ථානගත සතුරු කරදරයක් නිසා කිසියම් පසුබෑමක් ඇති වුවද සතිය අවසානයේ සිට ඔබගේ දියුණුව අභිවෘද්ධිය සනාථ වනු ඇත.

 

වෘෂභ ලග්නය-තුනටියට අපල

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු මේ සතියේ ආරම්භයේ සිට 8, 9, 10, 11 යන ස්ථාන පසු කරමින් ගත වන කාලය තුළ සතිය ආරම්භයේ කිසියම් හදිසි අනතුරක්, හදිසි ධන හානියක් පෙන්වුවද සතිය මැද භාගයේ සිට ඒ සියල්ල අකාමකා කර දැමීමට ඔබට ශක්තිය උදා වනු ඇත. කිසියම් අයුරක තුනටිය ආශ්‍රිත උවදුරකටද ඔබට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇති නමුත් සෝදිසියන් කල්පනාවෙන් කටයුතු කළහොත් එම තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවනු ඇත. ඔබ අධ්‍යාත්මික වශයෙන් ඉදිරියට ගෙනයන සතියක් වන අතර ආගමික කටයුතු රැසකට සතිය ආරම්භයේදීම ඔබට යොමු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

 

මිථුන ලග්නය-යුගදිවි ගැටලු රැසක්

මිථුන ලග්නය හිමි ඔබට මෙම සතිය මැද වන විට තම ජීවිතයට බලපාන තදබල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. ඒ ඔබ කේන්ද්‍රයේ සඳු 7, 8, 9, 10 යන ස්ථානවල ගැවසෙමින් කිසියම් පීඩාවකට පත්කරන බැවිනි. කෙසේ වෙතත් අවිවාහක අයට මංගල යෝග උදාවන, විවාහ වී සිට විවිධ යුගදිවි ගැටලු රැසකට මුහුණ දී සිටියා නම් ඒ හැම ගැටලුවක්ම විසඳෙන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. කිසියම් අවදානම් සහගත තත්තවයක් පෙනෙන්නට තිබේ. එනම් ඔබ කිසියම් අයුරක ආදරයට යොමු වන අයෙක් නම් කිසියම් අපහාසයකට චෝදනාවකට වුවද මුහුණ දීමට සිදුවනු ඇත.

 

කටක ලග්නය-නිසි වේලාවට ආහාරපාන ගැනීම සුදුසුයි

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 6, 7, 8, 9 යන ස්ථානවල හැසිරෙන නිසා සතිය ආරම්භය යටිබඩ ආශ්‍රිත, වකුගඩු ආශ්‍රිත මෙන්ම ඔබ ස්ත්‍රියක් නම් ගර්භාෂ ආශ්‍රිත රෝග ඇති වුවත් සතිය මැද භාගයේ සිට ඒ සියල්ලෙන් නිදහස්ව සිත සුව පිණිස කටයුතු ඉටුකර ගැනීමට හැකිවනු ඇත. කෙසේ නමුදු මුත්‍රා ආපදා, නීතිය පිළිබඳ ගැටලු ආදියටද මුහුණ දීමට ඔබට සිදු වේ. උපරිම වතුර පානය කිරීම සුදුසුයි. නිසි වේලාවට ආහාරපාන ගැනීමද සුදුසු වෙයි. ඔබ අදහන ආගම කුමක් වුවත් මේ සතිය පුරාවට එබඳු ආගමික කටයුත්තකට යොමුව සිටීනම් අපල අවම කෙරේ.

 

සිංහ ලග්නය-හදිසි අනතුරු සතියකි

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 5, 6, 7, 8 යන ස්ථානවල හැසිරෙන නිසා සතිය ආරම්භයේ විශේෂයෙන් දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දියණියකගේ ඵලද විදේශ යෝග හා විවිධ අයුරින් වැඩිහිටි ඇප උපකාරද පෙන්වනු ඇත. මුත්‍රා ආපදා, දණහිසින් පහළ පාදයේ වළලුකරට ආපදා විය හැකි තත්ත්වයක්ද පෙන්වයි. උඩ නැගීම්, අධික වේගයෙන් වාහනවල ගමන් කිරීම් අවම කළ යුතු වෙයි. සතිය අවසානයේ කිසියම් සොර සතුරු උවදුරකට වුවද මුහුණ දීමට ඉඩ ඇති නිසා ඉතා කල්පනාකාරී අයුරින් කටයුතු කිරීම වැදගත් වෙයි.

 

කන්‍යා ලග්නය-සීතල ආහාරපානයෙන් වැළකී සිටින්න

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මේ සතියේ චන්ද්‍රයා 4, 5, 6, 7 යන ස්ථානවල හැසිරෙමින් ආර්ථික වාසි වාහන ලාභ, නිවාස ලාභ ආදියට හිමිකම් කියනු ඇත. රැකියාවේ පැවතී තිබූ ගැටලු රැසකට විසදුම් ලැබෙන අතර ආර්ථික වශයෙන්ද අතමිට සරුවන සතියකි. කෙසේ නමුදු පපුවේ සෙම ගතිය නිසා පීඩා විඳීමට සිදුවිය හැකි වුවද සීතල ආහාරපාන වලින් වැළකී රාත්‍රියේ ස්නානය කිරීම් වැනි දෙයින් වැළකී ප්‍රවේශම් වුවහොත් යහපත්ය.

 

තුලා ලග්නය-වැඩිහිටි පාර්ශ්වයේ විරෝධතා

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 3, 4, 5, 6 යන ස්ථානවල ගැවසෙමින් උසස් ප්‍රතිඵල ගෙන දුන්නද සතිය ආරම්භයේ කිසියම් උරහිස ආශ්‍රිත ආබාධයකට හේතු වෙයි. ඒ හැරෙන්නට කිසියම් උරුමයකට හිමිකම් කියන අතර ඉඩමක් නිවසක් හිමිවීමේ වාසනාවද ඇත. මැණික් ව්‍යාපාර, විසිතුරු මල් වගාව ආදියට ඉතා සුදුසු සතියකි. ඔබට පැවති නීති ගැටලුවක්, වැඩිහිටි පාර්ශවයේ විරෝධතාවයක් පැවතී තිබුණද සතිය මැද භාගය වන විට ඒ සඳහා සුදුසු විසඳුම් හිමි වේ.

 

වෘශ්චික ලග්නය-වාසි සහගත උරුමයක්

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 2, 3, 4, 5 යන ස්ථාන පසු කරමින් ගමන් කරන නිසා වෙනදාට වඩා සුබවාදී වෙයි. තම හිතවතුන් ඥාතීන් වෙතින් ලැබෙන සුවිශේෂී අනුග්‍රහය නිසා සමාජයේ ඉදිරියට යා හැකි, යන එන තැන්වල ප්‍රධානත්වය පිළිගැනීම ලැබෙන අතර තමා කරන කියන කටයුතු සාර්ථකත්වයට පත්වන බව පෙනේ. උගුරේ ඇතිවිය හැකි ආසාදනයක් නිසා මුලින් අපහසුතා විඳීමට සිදු වෙතත් කෙමෙන් අර්ථික වශයෙන් දියුණුව කරා යන ඔබේ ජීවිතයේ අමතක නොවන කිසියම් වාසි සහගත උරුමයකටද හේතු මතු කරයි. උත්සාහය උනන්දුව අවශ්‍ය වෙයි. එවිට ඔබ සමාජයේ කැපී පෙනෙන අයෙකු වෙයි.

 

ධනු ලග්නය-අන් අය විශ්වාස නොකරන්න

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 1, 2, 3, 4 යන ස්ථානවල ගැවසෙමින් ඉතා යහපත් සතියකට ඇරඹුම ගෙනෙයි. සිතේ සතුට අභිවෘද්ධිය සැලසෙන අතර තමා සැලසුම් කරගෙන සිටි ව්‍යාපාරයකට හා ආයෝජනයකට කටයුතු සැලසෙයි. දරුවන් බලාපොරොත්තු වන අයට දරු සම්පත්ද, පැවති ලෙඩ රෝග වලින් මිදී නිරෝගී සුවයෙන් කටයුතු කිරීමටද ඔබට වාසනාව උදාවෙයි. සතිය මැද භාගයේ ඔබ නිවසට එන අමුත්තකු නිසා ආර්ථික අලාභයකට මුහුණ දීමට සිදු වෙතත් කල්පනාකාරීව අන් අය ඕනෑවට වඩා විශ්වාස නොකර කටයුතු කිරීමෙන් එය වළක්වා ගත හැකිය.

 

මකර ලග්නය-හිසට තදබල අසුබයක්

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ ආරම්භයේ සිට 12, 1, 2, 3 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භය ජලාශ්‍රිත උවදුරුද සතිය අවසානයේ විවිධ පාරිසරික උවදුරු නිසා පීඩාවට පත්වන බවක්ද පෙනෙන්නට තිබේ. සෙම ගතිය නිසා පීඩා ගෙනෙන අතර හිසට තදබල අසුබ ගතියක්ද පෙනේ. ඇස් රෝග, වාත පිත සෙම ඇවිස්සීම තුළ විවිධ අසනීප වැළඳීමට ඉඩ ඇති නිසා සීතල ආහාරයෙන්, සෙම වඩන ආහාරයෙන් වැළකී මධ්‍යපල ආහාරපාන රැගෙන කටයුතු කළහොත් විය හැකි බොහෝ බාධා අවම කර ගැනීමටද පුළුවන.

 

කුම්භ ලග්නය-ව්‍යාපාරයකට අත ගැසීම සුබයි

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ සතිය ආරම්භයේ සිට චන්ද්‍රයා 11, 12, 1, 2 යන ස්ථානවල ගමන් කිරීම නිසා පාදයේ වළලුකරට අගුණයි. අමාශය, පිත්තාශය යන ස්ථානවල ආසාත්මිකතා එළඹෙන සුළුයි. කෙසේ වෙතත් ඔබට කිසිවෙකුගේ ඇප උපකාර, තමාට ලැබෙන්නට තිබූ මුදලක් යළි තමා අතට පත්වන බවක්ද පෙනෙන්නට තිබේ.

ව්‍යාපාරයකට අත ගැසීම සුබයි.

කිසියම් ආකාරයක රැකියා මට්ටමේ ප්‍රවර්ධනයක් නිසා සිතේ සතුට රජයන තත්ත්වයක්ද වෙයි. ලොතරැයි දිනුම් උරගා බැලීමක්ද සිදු කිරීමට අමතක නොකරන්න.

 

මීන ලග්නය-ජලාශ්‍රිත උවදුරු

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේදී 10, 11, 12, 1 යන ස්ථානවල සැරිසරමින් සතිය ආරම්භය ඔබට යහපත ගෙනදෙනු ඇත. ආර්ථික වාසි, ප්‍රධානීන්ගේ ඇප උපකාර ව්‍යාපාර ඵල ඇතිකරන සතියකි. යටපත් වූ උරුමයකට හිමිකම් කියයි.

වතුර අලෙවි කළද දියුණු විය හැක. නුහුරු නුපුරුදු ස්ථානවල ඇති ජලාශ, පිහිනුම් තටාග, වැව් අමුණු තුළින් අනතුරු ඇතිවිය හැක. අධික කේන්තිය, තරහ සිත තුළ ඇති කර මානසික තත්ත්වය අවුල් කිරීමට පවා චන්ද්‍රයාගේ බලපෑම ඉහළ නිසා කල්පනාකාරී වන්න.

Comments