සංස්කෘත භාෂාවෙන් ජ්‍යෙතිෂ්‍ය ඉගැන්වූ වරාගොඩ පේමරතන අනු නා හිමි | සිළුමිණ

සංස්කෘත භාෂාවෙන් ජ්‍යෙතිෂ්‍ය ඉගැන්වූ වරාගොඩ පේමරතන අනු නා හිමි

මෙරට ආගමික හා සමාජ සේවාවන් රැසකට නිහඬව දායකත්වය ලබා දුන් රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමි මහාචාර්ය වරාගොඩ පේමරතන නා හිමියන්ගේ අපවත් වීම නිමිත්තෙන් මේ ලිපිය පළ කෙරේ.

විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් විශ්‍රාම ලැබූ පසුව භික්ෂූන් වහන්සේ නමකට යළි වැඩම කර ශිෂ්‍යන්ට අධ්‍යාපනය ලබා දෙන ලෙස ඇරියුම් කරන්නේ අතවශ්‍යම භික්ෂූන් වහන්සේ නමකට පමණි. එවන් එක් භික්ෂුන් වහන්සේ නමකගේ අපවත්වීමක් අපට මේ සතියේදී අසන්නට ලැබුණි. ඒ මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමිපාණන් වහන්සේය.මාවනැල්ලේ උතුවම්කන්ද වේරගල පුරාණ විහාරය හා මංගලගම බෝධිමාලකාරාම විද්‍යාමංගල පිරිවෙනේ විහාරාධිපති ධුරය දැරූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය දැරූ මහාචාර්ය වරාගොඩ ශ්‍රී පේමරතන අනු නා හිමියෝ සසුනට මෙන්ම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ලබා දුන් මෙහෙය අපමණය. උන් වහන්සේගේ අපවත්වීම ශාසනයට සිදුවූ බලවත් අඩුපාඩුවක්ම වන්නේය.

1937 වසරේ ඔක්තෝබර් මස 29 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ වරාගොඩ දී උපත ලද මේ පින්වත් කුමරාගේ ගිහි නම වූයේ ගලකුඹුරේ ගෙදර පේමරත්නයි. පේමරත්න පැවිදි බිමට පත්වූයේ වයස අවුරුදු 16 සපිරුණු 1953 වසරේදීය. ඒ පෙබරවාරි මස 25 වැනිදා ය. පැවිදිවීමෙන් පසු ගම්පොළ එල්ලක්කල ශ්‍රී සුමංගල පිරිවෙනෙන් හා මාතලේ කයිකාවල සුදර්ශන පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ එම පිරිවෙන්හි කැපී පෙනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූහ. කිසිදු විටෙක ආචාර්ය හිමිවරුන්ගේ සිති නොරිදෙන ලෙසින් කටයුතු කළ උන් වහන්සේ සෙසු ශිෂ්‍ය හිමිවරුන් අතර කැපී පෙනුණේ නිහතමානීව නිරහංකාරම කටයුතු කළ ශිෂ්‍ය හිමිනමක් ලෙසිනි. එසේ අධ්‍යාපනය හැදෑරූ උන් වහන්සේ 1963 වසරේ ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබා ගත්හ. 1960 වසරේදී උපසම්පදා ශීලයෙහි පිහිට වූ උන් වහන්සේ 1961 වසරේ පේරාදෙණිය විශ්විවිද්‍යාලයට ඇතුළත්ව සංස්කෘත විෂයයට ගෞරව උපාධියක් ද සහිතව 1965 වසරේදී උපාධිය ලබා ගන්නා ලදී. එම වසරේදීම උන් වහන්සේ අධ්‍යාපනය ලැබූ එල්ල කළ පිරිවෙනේ පරිවේනාධිපති වශයෙන්ද පත් වූහ.

1967 වසරේ ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ උන් වහන්සේ එම ධුරය හොබවන අතරම 1968 වසරේදී මංගලගම බෝධිමාලකාරාම විද්‍යාමංගල පිරිවෙන ආරම්භ කළහ. තමන් වහන්සේ වෙනත් පිරිවෙනක ආචාර්ය ධුරය දරමින් වුවද එම පිරිවෙනේ සියලු අවශ්‍යතා සොයා බලමින් කටයුතු කළ උන් වහන්සේ 1968 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස පත්වීම් ලැබූහ. එතැන් පටන් දක්වාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරය ඉසිලූ උන් වහන්සේ 1972 වසරේ සිදු කළ විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ කටයුතු නිසා 1973 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූහ. ඒ අතරම උන් වහන්සේ තවත් සුවිශේෂී සේවාවක් සිදු කළහ. ඒ සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමකගෙන් සිදු නොවන්නකි. ඉන්දීය ගුවන් විදුලියේ සිංහල අංශයේ නිවේදකයන් වහන්සේ නමක් ලෙසින්ද උන් වහන්සේ කටයුතු කළහ.

පසුව 1984 වසරේදී බලගල්ල සරස්වතී විශ්වවිද්‍යාල පිඨයේ කථිකාචාර්ය ධුරයක් හිමි වූ උන් වහන්සේ යළිත් 1993 වසරේදී පේරාදෙණිය විශ්විවිද්‍යාලයට සම්බන්ධ වූහ. ඒ සම්භාව්‍ය භාෂා අංශයේය. ඒ අතර උන් බවහන්සේගේ භාෂා ඥානය හා ඇසූ පිරූ තැන් නිසාම 1999 වසරේදී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහෝපාධධයන් වහන්සේ ලෙස පත්වීම් ලැබූහ. වසර 3කට අධික කාලයක් එහි සේවාවන් කළ උන් වහන්සේ පසුව නැවතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම පැමිණ සම්භාව්‍ය භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ මාහචාර්ය ධුරය ලබා ගෙන එහි අංශාධිපති වහන්සේ ලෙස කටයුතකු කළහ. පේරාදෙණිය සම්භාව්‍ය භාෂා අංශයේ විශාල පිඹිදීමක් ඇති වූයේ උන් වහන්සේ අංශාධිපති ධුරය ඉසිලූ කාලයේදී බව මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුය.

2006 වසරේ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ධුරය හිමි වූ උන් වහන්සේ 2008 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත්තේ ගුණ නැණ බෙලෙන් පිරිපුන් විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කරමිනි. උන් වහන්සේ විසින් කළ සේවාවට උපහාර ලෙසින් රාමඤ්ඤ මහා නිකායෙන් උන් වහන්සේට ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව නාමයද පිරිනමන ලදී. පසුව එහි අනු නායක ධුරයට පත් උන් වහන්සේ කිසිදු විටෙක තනතුරු නාමවලින් උදම් වූයේ නැත. සරල බව චාම් දිවියම අගය කළ උන් වහන්සේගේ සේවාව යළි විශ්වවිද්‍යාලයට ලබා ගැන්ම අවශ්‍ය වූ නිසා උන් වහන්සේ යළිත් 2012 වසරේදී බාහිර මහාචාර්යවරයකු ලෙසින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා දෙන්නට වූහ.

ඇමරිකාව වැනි බටහිර රටවල් මෙන්ම ඉන්දියාව වැනි පෙරදිග රටවලද සංචාරය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ උන් වහන්සේ ලෝක බෞද්ධ සම්මේලනය හරහා සිදු කළ සේවාවද අපමණය. විශේෂයෙන්ම උන් වහන්සේ එම විදෙස් ගමන්වලදී මහායාන දහම ගැන උගත් කරුණු අපමණය. උන් වහන්සේගේ මේ ශාසන සමාජ සේවාව නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් උන් වහන්සේ බෞද්ධ උපදේශක සභාවටද පත් කරන ලදී.

ආදර්ශය හැම විටම උතුම් කොට සැලකූ උන් වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳව විශාල ඥානයක් සහිතව සිටි හිමි නමකි. නිහතමානීත්වය මෙන්ම නිරහංකාර බව නිරතුරුවම ජීවිතයේ සියලු කටයුතුවලින් පෙන්නුම් කළ උන් වහන්සේ රාමඤ්ඤ නිකායේ හිමිනමක් වුවද මල්වතු මහා විහාරයට නිරතුරුවම වැඩම කරමින් විවිධ කටයුතු ගැන සාකච්ඡා කළහ. සැම දෙනාගේ සිත් දිනාගැනිමේ මෙන්ම කිසිවකුගේ සිත් නොරිදවීමට කටයුතු කළ උන් වහන්සේ ඇතුළු සංස්කෘත භාෂා විශාරදයින් විසින් සංස්කෘත ගෞරව උපාධිධාරීන් 100කට අධික සිසු පිරිසක් බිහිවී කර ඇත. මෙවන් සමාජ හා ශාසනික සේවා රැසක් සිදු කළ උන් වහන්සේ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.!

 

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපති සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල අනු නා හිමි

Comments