වනක්කම් හෝ ආයිබෝවන් කියන්නටවත් නොලැබුණු මිත්‍රයා | Page 2 | සිළුමිණ

වනක්කම් හෝ ආයිබෝවන් කියන්නටවත් නොලැබුණු මිත්‍රයා

නළුවෙක් හා ගුවන් විදුලි ශිල්පියෙක් හැටියට ලාංකික රසික ප්‍රජාව අතර නමක් දිනා සිටි නඩරාජා සිවම් පහු ගිය 24දා කලා ලොවෙන් සදහටම සමුගත්තේය. කලා ක්ෂේත්‍රයේ සහෝදර ශිල්පීන් ඔහු ඇමතුවේ නඩා නමිනි. නඩාගෙ වියෝව ගැන මම දැනගත්තෙ සියලු ජනකොටස් අතර මිත්‍රත්වයේ පාලම තනන්න කැප වී සිටින අප මිත්‍ර හේමචන්ද්‍ර පතිරණ වත් පොතට ලියා තිබුණ සටහනකිනි.

නඩරාජා සිවම් මාද ඇතුළු සිංහල රසික සමූහයා අතර ජනකාන්ත තාරකාවක් බවට පත් වුණේ පුංචි තිරයෙන්ය කියලයි මගෙ නම් විශ්වාසය. මට මතකය නිවැරදි නම් ලංකාවේ පළවෙනි රූපවාහිනී නාට්‍යය හැටියට සැලකෙන්නෙ “ලා හිරු දහසක්”ය. ඒ මුල් ටෙලියෙන්ම මෙරට රූපවාහිනී රසිකයන් අතරට පිවිසෙන්න නඩාටත් වාසනාව ලැබුණි. සිංහල රසික කැලට කිසිදා අමතක නොවන චරිතයක් බවට නඩා පත් වුණේ සෝමවීර සේනානායකයන්ගෙ තිර රචනයකින් නිර්මාණය වුණ “යසෝරාවය” ටෙලි නාටකයෙන් බව කාටවත් අමතක වෙන්න විදිහක් නැත. සිංහල පවුලකින් විවාහයක් කර ගත් දෙමළ තරුණයකුගේ චරිතයට නඩා පණ පෙව්වේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනයාගෙ සිත්සතන් ප්‍රබෝධවත් කරමිනි. “යුග විලක්කුවත්” නඩාගේ රංගන කුසලතා ප්‍රකට කළ තවත් ටෙලි නාටකයකි.

නඩරාජා සිවම් නම් මේ අපූරු මිනිසා ගැන හේමචන්ද්‍ර මිතුරාගෙන් තවදුරටත් තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණේ ඔහු වෘත්තියෙන් ගුවන් විදුලි ශිල්පියෙක් බවයි. නඩා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබෙන්නෙ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙනි. නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක් වගේම ගුවන් විදුලි නාට්‍ය රචකයෙක් හා හඬ නළුවෙන් හැටියටත් ඔහු දෙමළ අසන්නන් අතර ජනප්‍රසාදය දිනා සිටි බවත් හේමචන්ද්‍රයන් මට විස්තර කළේය. “විකඩ තඩාගම්” නම් හාස්‍යෝත්පාදක නාට්‍ය මාලාව දෙමළ ප්‍රජාවගේ හදවත් පැහැර ගත්තේ ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් ප්‍රමුඛ ශිල්පීන් එදා සිංහල සමාජය අමානන්දයට පත් කළ “විනෝද සමයට” දෙවෙනි නොවන ආකාරයටය. ඊට අමතරව “සක්කරෙයි පන්දල්” කියල ගී රස වින්දන විශේෂාගංයකුත් ඔහු අතින් නිෂ්පාදනය වී තිබේ.

නඩා ගැන තවත් වටිනා තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් කෙනෙක් ඒ අතරතුර මගේ මතකයට ආවේය. ඔහු තමා තම්බිඅයියා දේවදාස්ය. 2009 අවුරුද්දෙ දේවදාසලයි අපියි එකතු වෙලා සිංහල දෙමළ ලේඛක එකමුතුව නමින් සංවිධානයකුත් හැඳුවෙමු. දේවත් ගුවන් විදුලි ශිල්පියෙකි. ඒ වගේම ලේඛකයෙකි. දේවට දුරකතන ඇමතුමක් දී නඩාගෙ විස්තර අහනකොට දැන්ගන්ඩ ලැබුණේ එයා ඒ වෙනකොටත් තිනකරන් පත්තරේට නඩරාජා සිවම් වෙනුවෙන් ලිපියක් ලියා හමාර බවය. නඩා දිගු කාලයක් පුරා කොළඹ ටොරින්ටන් තට්ටු නිවාසවල පදිංචිව සිටියත් ඔහුගේ මුල් යාපනය දක්වා දිවෙන බව දේවා පැවසුවේය. නඩාගේ ජීවන සහකාරිය බුවන ලෝජිනි නම් ගුවන් විදුලි ශිල්පිනිය බව දැනගන්න ලැබුණෙත් දේවාගෙනි.

නඩා සතු කලා කුසලතාව, ධාරිතාව තක්සේරු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවේ. “කාදල් කඩිදම්” දෙමළ චිත්‍රපටයේ වගේම “ආකාස කුසුම්” සිංහල චිත්‍රපටයේත් රඟපාමින් ඔහු ලාංකික සිනමාවටත් අගනා මෙහෙවරක් කළේය. දෙමළ වෙළඳ දැන්වීම් කලාව වර්ණවත් කිරීමට නඩාගෙ හඬ පෞරුෂය මගින් ලැබුණු දායකත්වය අපමණ බවත් මට අසන්න ලැබුණි. මේ සියලු හැකියාවන් අගයමින් “කලෛ සරසු” නම් සම්මානයෙන් පිදුම් ලබන්නට ඔහුට වාසනාව ලැබීම අපේ සිත්වලටත් ලොකු අස්වැසිල්ලකි.

“නඩරාජා සිවම් කියන්නෙ බොහොම සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලපු සුන්දර මනුස්සයෙකි. නඩාට තිබුණ හැකියාවන් හරියට මාකට් කළා නං ලොකු ධනපතියෙක් වෙන්ඩ තිබුණි. ඒත් එයා වාසි පැත්තට හෝයියා කියපු කලාකාරයෙක් නොවේ. අවුරුදු 40ක විතර කාලයක් නඩා ගුවන් විදුලියේ වැඩ කළේය. ඒ කාලෙ එයා ප්‍රසිද්ධ වෙලා හිටියෙ නාට්‍ය චක්‍රවර්ති හැටියටය. පස්සෙ නඩාට සූරිය එෆ්.එම්. එකේ උපදේසක තනතුරක් ලැබුණා. නඩා ඒ තනතුර පාවිච්චි කළේ නවකයන්ට අතහිත දෙන්ඩ. අවසාන කාලයේ ඔහු වැඩ කළේ නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට. නඩාගෙ කෙටි ජීවිතයෙන් සමාජයට උපරිම සේවයක් කරන්න මහන්සි ගත්ත බව ඇත්ත. ඒත් ඔහු අකාලයේ පර වුණු සුවඳ මලක් හැටියටයි මම දකින්නෙ. නඩාගේ අසිමිත හැකියාවන්ගෙන් දෙමළ සමාජය වගේම සමස්ත රටත් එතරම් වැඩක් ගත්ත බවනං මම විශ්වාස කරන්නෙ නැහැ.”තම්බිඅයියා දේවදාස්ගෙ ඒ වචන නඩරාජා සිවම් නමැති මානවහිතවාදී කලාකරුවා සම්බන්ධයෙන් විතරක් නොව මුදල් හා තානාන්තර හඹා නොයන සෙසු ලාංකික කලාකරුවන්ට අදාළවත් හෙළු ගැඹුරු සුසුමක්ය කියා මට හිතේ. ...මුණගැසී අතට අතදී වනක්කම් හෝ ආයිබොවන් හෝ කියන්නට ඔබටත්-මටත් අපේ දෛවය විසින් කිසි දා අවස්ථාවක් සලසා නොදීම ගැන හදවතින්ම කම්පා වෙමි. එසේ වුව ඔබ සතු අගනා මිනිස්කම තුළින් සුවහසක් රසික පර්ෂද අතර උත්පාදනය කළ මානව දහම සිහිනෙන් තැවරූ සඳුන් සුවඳක් ලෙසින් මා හදෙහිද තැවරී ඇති බව මිතුරු පවුරේ මෙසේ සටහන් කර තබමි.

 

Comments