ලංකාවේ ඩාවින්ට ගෞරව පිණිස නම් කළ වික්‍රමසිංහලාගේහාල් දණ්ඩා | සිළුමිණ

ලංකාවේ ඩාවින්ට ගෞරව පිණිස නම් කළ වික්‍රමසිංහලාගේහාල් දණ්ඩා

දිනෙත් දනුෂ්ක හා සුනෙත් කණිෂ්ක දෙසෝයුරන්ය. තරුණ සත්ත්වවේදීන් වූ මේ පර්යේක්ෂකයෝ දශකාසන්න කාලයක් තිස්සේ ලංකාවට ආවේණික වූ පඳුරු හාල්දණ්ඩා Boulenger's Bronzebback (Dendrelaphis bifrenalis) නැමැති සර්ප විශේෂය ගැන පරීක්ෂණ කරමින් සිටියහ. හාල්දණ්ඩන් අයත් Dendrelaphis ගණයටය. මේ ගණයට අයත් බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව ලෝකඩ පැහැවන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake" ලෙස හඳුන්වන්නේය.

පඳුරු හාල්දණ්ඩන් දිගු සිහින් සිරුරකට හිමිකම් කියයි. එය සුමට කොරල වලින් වැසී ඇත. කෂේරුකාවේ කොරළ පෙළ පාර්ශවිකව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය. පැහැදිලිව හිසෙන් වෙන් වී ඇති දිගැටි හිස පැතලි ස්වභාවයක් ගන්නේය. බොහෝ රුකවාසී සර්පයන්ගේ මෙන් හාල්දණ්ඩන්ටද හිසට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත. අන්තර් නාස් කොරළයේ සිට ඇස හරහා ගෙල දෙසට වන්නට කළු පැහැති රේඛාවක් හිසේ පාර්ශ්විකව පිහිටා ඇත. හිස පෘෂ්ඨීයව ලා කොළ හෝ ගොම කොළ පැහැයක් ගනී.

එහෙත් බොහෝ කාලයක් ස්වකීය අධ්‍යයනයන් කිරීමෙන් පසු මේ පර්යේක්ෂකයන් දෙපළ සොයා ගත්තේ පඳුරු හාල්දණ්ඩන් ලෙස සලකන මේ සර්පයන්ගේ එකිනෙකනට වෙනස් ගහණ දෙකක් සිටින බවය. ඒ සොයාගැනීම තෙක් මේ පඳුරු හාල්දණ්ඩන් ගහණ දෙක එකම ගහණයක් සේ සැලකනු ලැබ ඇති බවය. Mongabay වෙබ් අඩවියට ස්වකීය පරීක්ෂණ ගැන ප්‍රකාශයක් කළ දිනෙත් කියා තිබුණේ ඔවුන් නිරීක්ෂණය කළ ආකාරයට පොදුවේ හාල්දණ්ඩන් ලෙස සලකන ගහණය තුළ විශේෂ දෙකක් පවතින බවට සැක කළ බවය. එය තහවුරු කරගැනිම සඳහා පුළුල් පරීක්ෂණයක් මෙහෙයවූ බවය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කලාපයන් දෙකෙහිම පැතිරි ගිය සතුන් ගැන මේ පරීක්ෂකයෝ අධ්‍යයනය කළහ. එහිදී නිරීක්ෂණය වන්නේ මෙම විශේෂයේ සතුන් අතර රූප විද්‍යාත්මක සාධක අනුව වෙනස් ගහණ දෙකක් සිටින බවය. වියළි කලාපයේ හා තෙත් කලාපයේ දී හමුවන මේ සතුන්ගේ රූප විද්‍යාත්මක වෙනස්කම් පරීක්ෂකයන් මෙසේ පෙළ ගස්වා තිබිණි.

තෙත් කාලාපයෙන් හමුවන හාල්දණ්ඩාගේ ඇස විශාලය. ඇසේ සිට නාස්පුඩුවට ඇති දුර, ඇසේ විෂ්කම්භයට වඩා අඩු හෝ සමානය. ඇස හරහා දිවෙන කළු පැහැ ද්වීපාර්ශ්වික රේඛාව හිස කෙළවර වන තෙක් හෝ ගෙලෙහි මඳ දුරකින් අවසන් වනු පෙනුණි. ගෙල ප්‍රදේශයේ ඉතා අපැහැදිලි පාර්ශවික ඇල රේඛා සුළු ප්‍රමාණයක් පිහිටයි. නැතිනම් එවැනි ඇල රේඛා සම්පුර්ණයෙන්ම නැත. හොඹුව දෙසට වන්නට හිස පටු හා උල් ස්වභාවයක් ගනී.

ඒ ඔස්සේ සිදුකරන ලද පර්යේෂණයන්ට අනුව පඳුරු හාල්දණ්ඩා සැබවින්ම විශේෂ දෙකක් බව තහවුරු කරගැනීමට පර්යේෂකයන්ට හැකි විය. තෙත් කලාපයේ හමුවන හාල්දණ්ඩන් හමුවූයේ වනාන්තර ප්‍රදේශවල ගැඹුරු අඳුරු පඳුරු තුළය. ඔවුන්ගේ පැවැත්ම සන්සුන් විය. ඔවුන් මීටර 1000 තෙක් ඉහළ උන්නතාංශවලදී ද වාර්තා විය.

නමුත් වියළි කලාපයේ හමුවන විශේෂ ගස්වල ඉහළ අතු අග සිටියහ. ඔවුන් අතිශයින්ම ආක්‍රමණශීලී චර්යාවක් පෙන්නුවේය. රූප විද්‍යාත්මකව මෙන්ම චර්යාත්මකව ද තෙත් කලාපිකය සත්වයන්ගෙන් වෙනස් වූ මෙම හාල්දණ්ඩන් විශේෂය කිසි විටෙකත් මීටර් 300ට වඩා වැඩි උන්නතාංශවලින් හමුවූයේ නැත.

අනතුරුව මේ සත්තව ගහණ දෙකෙහිම ජාන විද්‍යාත්මක පෙළ ගැස්ම ඔවුුහු අධ්‍යයනයක කළහ. අවසාන වශයෙන් පඳුරු හාල්දණ්ඩන්ගේ ගහණයෙහි සැඟවී සිටි නව විශේෂයක් සොයා ගැනීමට පරීක්ෂකයෝ සමත් වූහ. එම නව සොයාගැනීම පිළිබඳ පර්යේෂණ වාර්තාව Taprobanika ජර්නලයේ පළ විය.

මේ නව සර්ප විශේෂය, ශ්‍රී ලංකාවේ සත්ව විද්‍යාව සඳහා නව විශේෂ රාශියක් එක් කළ, වඳවී ගියා යැයි සැලකු සතුන් නැවත සොයාගනිමින් උරග හා උභයජීවී විද්‍යාව වෙනුවෙන් ජීවිතය කැප කරමින් පරීක්ෂණ සිදු කරන, ලංකාවේ ඩාවින් ලෙස සම්භාවනාවට පත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ හා ඔහුගේ බිරිය නෙතූ වික්‍රමසිංහට ගෞරවයක් ලෙස නාමකරණය කරනු ලැබීය. ඒ අනුව තෙත් කලාපයෙන් හමුවූ , තෙත් කලාපයට පමණක් ආවේණික මෙම නව හාල්දණ්ඩන් විශේෂය වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා Wickramasinghes Bronzeback (Dendrelaphis wickrorum) ලෙස නම් කෙරිණි. ඊට සමාන අනෙක් විශේෂය Dendrelaphis bifrenalis ලෙස හඳුනා ගැනුණි.

පරිණාමිකව පඳුරු හාල්දණ්ඩාට (Dendrelaphis bifrenalis) ළඟම නෑකම් දක්වන වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා (Dendrelaphis wickrorum) ජීවත් වන්නේ තෙත් කලාපයේය. දිවාචර සතෙකි. විශාල අක්ෂි පරිණාමය වී ඇත්තේ අඳුරු බැවින් වැඩි තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව සිටින නිසා බව විශ්වාස කෙරේ ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම විශේෂය තෙත් කළාපයට සීමා වී ඉතා ඝන කැලෑ හා මඳ වශයෙන් ගස් වැල් ඇති ස්ථානවල මෙන්ම ගෙවතු ආශ්‍රිතවත් ජීවත් වෙති.

මේ සර්පයන් කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන් හා ගෙම්බන්, පඳුරු මැඩියන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා ඉතා අවධානයෙන් සිටින සර්පයෙකි. බිය වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා තමා විශාල සතෙක් ලෙස හඟවයි.

මේ අයුරින් අනතුරු ඇඟවීමේදී කොරල ඈත් වන හෙයින් අන්තර් කොරළ සම නිල් පැහැයෙන් දිස්වේ. ප්‍රජනනයේදී අණ්ඩජතාව දක්වන මොවුන් කොළරොඩු හා ගස්බෙන වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 15cm පමණය. වැඩුණු සතෙක් 90cm තරම් විශාලව වැඩේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි හේතුවෙන් ලංකාවට ආවේණික මේ දුර්ලභ සත්වයා වැනසී යමින් සිටී.

 

Comments