රටේ සම්පත් බිල්ලට දී ඇස්සට දත නියැවූ ‘යහ පාලකයෝ’ | සිළුමිණ

රටේ සම්පත් බිල්ලට දී ඇස්සට දත නියැවූ ‘යහ පාලකයෝ’

එප්පාවල පොස්‌පේට්‌ නිධිය ගැන කලින් කලට විවිධ කතා ගොඩනැගේ. ඒවා මතුවෙමින් වියැකෙමින් යන්නේ ප්‍රවෘත්තිමය වටිනාකමක් පමණක් එක් කරමිනි. එනිසාම එප්පාවල පොස්‌පේට්‌ නිධියේ ඉතිහාස කතාව විමසන්නට සිතුණේ එහි සුන්දර අසුන්දර බව ගැන විමසුමක් කරන්නටය. ඊට ප්‍රධානතම හේතුව වූයේ මේ වටිනා ඛණිජ නිධිය විජාතික කොම්පැණිවලට විකුණා මූල්‍ය ප්‍රතිලාභ අත් කර ගැනීමට අපේ රටේ ඇතැම් දේශපාලඥයන් කටයුතු කළ නිසාය.

1990 මුල් භාගයේ මෙම නිධිය මැක්‌මොරන් (Freeport MacMoran)සමාගමට විකිණීමට දේශපාලඥයින් කටයුතු කළේ එයින් මේ රටේ ආර්ථිකයට සිදුවන අනිසි ප්‍රතිඵල ගැන කිසිදු වගවිභාගයක් නැතිවය. ශ්‍රී ලංකාවේ පරිසර ආඥා පනත් සියල්ල උල්ලංඝණය කරමින් සිදු කොට තිබූ මෙම කටයුත්ත සඳහා පරිසර පනත පවා වෙනස්‌ කිරීමට එවකට පැවති රජය ක්‍රියා කළේය.

පොස්‌පේට්‌ නිධියෙන් ටොන් මිලියන 25 ක්‌ ඉතා සුළු ගෙවීමක්‌ කර පිටරටට පටවන්නට ඔවුන් එකඟ විය. නමුත් ඒ සඳහා ගෙවීමට එකඟ වූ හිමිකාර භාගය ඉතා සුළු අගයක්‌ විය. අදාළ කාල සීමාව තුළ පොස්‌පේට්‌ නිධිය මුළුමනින්ම විනාශ විය හැකි බව අවබෝධ කර ගත් මේ රටේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් සියලු දෙනා ඊට දැඩි ලෙස විරෝධය පෑවේය.

එහිදී ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ජාතික විද්‍යා පදනම, රසායන විද්‍යා ආයතනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය යන සියලු ආයතන මැක්‌මොරන් යෝජනාවට විරුද්ධව කරුණු කීවේය.

එසේ වුවත් එවක මේ රට පාලනය කළ නායක නායිකාවන් ඒවා තඹදොයිතුවකට මායිම් කළේ නැත. එකල මැක්‌මොරන් යෝජනාව ගැන පරීක්‌ෂා කිරීමට ආණ්‌ඩුව විසින් පත් කළ බී. සී. පෙරේරා කමිටුවෙ හිටියේ එම ආණ්‌ඩුවේම අන්තේවාසිකයින් පිරිසකි. පොස්පේට් නිධිය ගැන දශක ගණනාවක්‌ තිස්සේ පර්යේෂණ කළ කිසිදු විද්‍යාඥයකු ඒ කමිටුවේහි නොවීය.

මැක්‌මොරන් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 450 ක ආයෝජනයක්‌ සහිත මෙගා ව්‍යාපෘතියක්‌ විය. එවක සිටි දේශපාලඥයන් ඉන් තමන්ට ලැබෙන කොමිස්‌ මුදලට කෙළ හළමින් සිටියේය.

එවකට සිටි කර්මාන්ත ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙදී කියා සිටියේ එප්පාවල පොස්පේට් නිධිය රන් ආකරයක්‌ බවයි. එනමුත් ඒ රන් ආකරයෙන් ප්‍රතිලාභ ලබන්නට උත්සාහ ගත්තේ දේශපාලඥයන් මිස රටේ පොදු ජනතාව නම් නොවේ.

වසර 400කට අධික කාලයක්‌ මේ රටේ පොහොර අවශ්‍යතාව ඉටුකරගැනීමට හැකි මේ ජාතික සම්පත විජාතික සමාගම්වලට විකුණා අවුරුදු 25 ක්‌ තුළ එය ජාතියට අහිමි කිරීමට දේශපාලකයන් දැරූ එකී උත්සාහය එදා වැළැක්‌වූයේ එප්පාවල ගොවිජනතාවය. ඒ ඔවුන් විසින් මූලික අයිතිවාසිකම් කඩවන බව කියමින් ගොනු කළ නඩුව නිසාය. මෙම නඩුව පවරා තිබුණේ විත්තිකරුවන් (නඩුවේ අනෙක් පාර්ශ්වය) විසින් එප්පාවල පොස්‌පේට්‌ නිධිය ආශ්‍රිතව සිදු කරගෙන ගිය ව්‍යාපෘතියක් හේතුවෙන් ඔවුන්ගේ ඉඩම්, ජිවනෝපායන් හා ආගමික ස්ථාන අවදානමට ලක් ලක්වන බව කියාය.

මෙහි තීන්දුව 2000 වසරේ ලබා දුන් අතර එම තීන්දුව සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම, තිරසාර සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතිකව පිළිගත් මුල ධර්ම හා තොරතුරු දැනගැනීමට ඇති අයිතින් පිළිබඳ මුලධර්ම එකට සංයෝජනය කර යොදා ගන්නා ලදී.

මෙම තීන්දුවේදී නඩුව දැමු පුද්ගලයින්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමට ඉතා ආසන්න බව තීරණය වූ අතර, නඩුවේ විත්තිකරුවන්ට එප්පාවල පොස්‌පේට්‌ නිධිය සම්බන්ධ ගිවිසුම්වලට එළඹීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය නියෝග කරන ලදී.

සමහර දේශපාලඥයන්ගෙ උපදේශකවරු ලෙස කටයුතු කළ විද්‍යාඥයයින් පිරිසක් ක්‌ලෝරීන් සහ වෙනත් අපද්‍රව්‍ය පොස්‌පේට්‌ නිධියේ ඇති නිසා මෙයින් පොහොර නිෂ්පාදනය කිරීමට මෙරට දේශීය විද්‍යාත්මක දැනුම ප්‍රමාණවත් නොවන බව පවසා සිටියහ. 2002 වසරේ ලංකා පොස්‌පේට්‌ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත ඒ අභියෝගය බාරගෙන මේ නිධියෙන් තනි සුපර් පොස්‌පේට්‌ 

පොහොර ටොන් 20 ක්‌ එප්පාවල පොස්‌පේට්‌ කම්හලෙහිම නිපදවා පෙන්වීය. ඔහු පොස්‌පේට්‌ පොහොර පිළිබඳ ආචාර්ය උපාධියක්‌ සහිත විද්‍යාඥයකු විය. ඔහු විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන්ගේ සහාය ඇතිව නිපද වූ දේශීය පොහොර ගැන සිදු කළ පරීක්‌ෂණවලින් හෙළි වුයේ වී, බඩඉරිඟු වැනි බෝග සඳහා පිටරටින් ආනයනය කරන පොස්‌පේට්‌ පොහොරවලටත් වඩා හොඳ අස්‌වැන්නක්‌ මේ දේශීය පොස්‌පේට්‌ පොහොර භාවිතයෙන් ලබාගත හැකි බවය.

ඒ අනුව කර්මාන්ත ශාලාවගොඩනගා අදාළ කටයුතු ආරම්භ කිරීමට සිටියදී නැවතත් දේශපාලන ගහලයා ක්‍රියාත්මක විය. පොස්‌පේට්‌ නිධිය පිටින් විකුණා සාක්‌කු පුරවාගත නොහැකි ව වියරු වැටී සිටි ඔවුන් එවකට ලංකා පොස්‌පේට්‌ සමාගමේ සිටි සභාපතිවරයා එම තනතුරෙන් පහ කළේය. කර්මාන්ත ශාලාව හදන වැඩේ එතනම නතර විය.

ඉන්දීය රජයේ ආයතනයකින් එදා රුපියල් මිලියන 275 කට සාදා නිම කළ හැකිව තිබූ කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 1500 ක්‌ පමණ වැයවන තත්ත්වයට ඇද වැටිණි. ඇත්තෙන්ම එය විශාල මුදලක්‌ ලෙස පෙනී ගිය ද පොහොර සහනාධාරය ලබාදීම සඳහා ආණ්‌ඩුව වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 33 ට සාපේක්ෂව ඉතා සුළු අගයකි.

ලෝකයේ ප්‍රධාන පෙළේ පොස්පේට් නිධි දහයකට ආසන්න ප්‍රමාණයක් තිබුණත් දැනට ලෝකය පිළිගන්නා හොඳම පොස්පේට් නිධිය එප්පාවල පොස්පේට් නිධිය බව සඳහන් වේ. පොස්පේට් යොදාගෙන පොහොර නිෂ්පාදනය කරන අතර, එහිදී රසානික විෂ ද්‍රව්‍යයක්වන කැඩ්මියම් එහි අඩංගු ප්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කරයි.

උතුරු මැද පළාත තුළ වකුගඩු රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ කැඩ්මියම් රසායනයයි.

එහෙත් එප්පාවල පොස්පේට්වල කැඩ්මියම් රසායන ද්‍රව්‍යයේ ඇත්තේ දශම 005 ක ප්‍රමාණයකි. එම ප්‍රමාණය ඉතාම සෞඛ්‍යාරක්ෂිත අවම ප්‍රමාණයක් බවට පිළිගෙන ඇත. එවන් වටිනාකමක් ඇති පොස්පේට් නිධියකින් රජය හෝ මෙරට ජනතාව ප්‍රයෝජන ගන්නවාද? යන්න ගැටලුවක්ව පැවතිණි.

ඊට විසඳුම් දෙමින් කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශගේ මැදිහත් වීම යටතේ පසුගියදා හැකි විය. මෙතෙක් කලක් ලෝකයක් මවිත කළ මේ ඛණිජ නිධියෙන් ප්‍රයෝජන ගත්තේ අපවත් රජයවත් නොව රටේ පොහොර අධිකාරිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බහුජාතික සමාගම් ය.

නමුත් ලංකා පොස්පේට් සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්වීමත් සමඟ මෙහි ඉරණම වෙනස් වී තිබේ.

එය රටේම ගොවි ජනතාවගේ සතුටට හේතුවක් වනු නොඅනුමානය.

 

Comments