මේ පෙරහුරුව චිත්‍ර අඳින්නට නම් නොවේ | සිළුමිණ

මේ පෙරහුරුව චිත්‍ර අඳින්නට නම් නොවේ

පන්තියක් නොවන චිත්‍ර පන්තියෙන් අපූරු ෙපරහුරුවක්

 

කොවිඩ් 19 අපේ සමීපතම ගමන් සඟයා වී මාස 4කටත් වැඩි කාලයක් ගෙවී ඇත. මුහුණු වැස්ම ඇතුළෙන් සිනාසෙන්නේද ඔරවන්නේද නොදැන අපි විවිධ අභිනයන් පාන්නෙමු. කතා කරන ඇස්, සිනාසෙන ඇස් වෙනදා කියවා ගන්නා බොහෝ දෙනාට ඇස් දෙක විතරක් පෙනෙන විට පෙරදා කී ඒ සුන්දරත්වය එලෙසින්ම පෙනෙන්නේදැයි සිතුණේ මට විතරක් නොවනු නිසැකය. එහෙත් අපි එකිනෙකා හා වෙනදා සේම කොවිඩ් තිබියදී කොවිඩ් සමඟ වැඩ ආරම්භ කළ යුතුව තිබේ. මේ එවැන්නක් කළ අපූරු අවස්ථාවකි. තැන ‘පන්තියක් නොවන චිත්‍ර පන්තියයි‘. එහි ගුරුවරයකුම යැයි කියා නොගන්නා මඟ පෙන්වන්නා ශාන්ත කේ. හේරත් ය.

ගහකොළේ, වෙල් ඉපනැල්ලේ නිදහසේ සිතුවම් කළ පුංචි සිත්තරුන් ගෙදරට වී මාස ගණනකි. ඔවුහු නව තාක්ෂණය භාවිතයෙන් එකල්හි නිවෙසේ සිට නොයෙක් නිර්මාණ කළද, අත්දැකීම් බෙදා ගන්නට නොහැකිවීම අඩුවක් වන්නට ඇත.

එනිසාම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපඳිමින් මේ අපූරු පන්තිය අරඹන්නට පසුගියදා තීරණය කෙරුණි.

ඒ සඳහා පෙරහුරුවක් කරන්නට ශාන්ත කේ. හේරත් සම්මානලාභී අප සිතුවම් ශිල්පියා තීරණය කළේ, දරුවන්ටත් දෙමවුපියන්ටත් මනා දැනුම්වත් බවක් ලබාදීමේ අරමුණිනුයි. මේ සඳහා මහරගම සෞඛ්‍ය පරීක්ෂක, කොට්ටාව ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පිරිස, බෝගහවත්ත ග්‍රාම නිලධාරී හා මහරගම මහ ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දරුවන්ගේ අසීමාන්තික පරිකල්පනයට සීමා රහිත අවකාශයක් ලබා දෙන මේ පන්තියක් නොවන චිත්‍ර පන්තියට විවිධ වයස පරාසයන්හි දරුවෝ සහභාගී වෙති. ලොව පුරා අධ්‍යාපන විශේෂඥයන්ගේ අවධානයට පාත්‍ර වී ඇති මේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ ලංකාවේ දෙමවුපියන්ට ඇති දැනුම හා අවබෝධය අඩුය. දරුවන්ගේ අසීමාන්තික වින්දනයට පුළුල් අවකාශයක් සලසන මේ වැනි දුලබ අවස්ථා අගය කටයුතු වන්නේ ඒ නිසාය.

බලහත්කාරය වෙනුවට ආදරය හා සහයෝගය දරුවන් බොහෝ දුර ගෙනයන බව දෙමව්පියන් අවබෝධ කරගත යුතුම කාලයකට අපි පිළිපන්ව සිටිමු. එනිසාම දරුවන් මේ වැනි විශේෂිත කාලවකවානුවක කලාව වැනි මනස සුවපත් කරන ක්‍රියාදාමයක නිරත වීමේ වැදගත්කමද මේ පෙරහුරුවේදී අවධාරණය කෙරිණි.

මේ අපූරු පෙරහුරුවට සහභාගී වූ මහරගම සෞඛ්‍ය පරීක්ෂක කීර්ති තුඩුවගේ පැවසුවේ මේ ක්‍රියාදාමය සියල්ලන්ටම ආදර්ශයක් බවයි. දරුවන් පමණක් නොව; දෙමව්පියන්ද මේ ගැන දැනුවත් කිරීම ඉතාම අගය කටයුතු බවත්, මුළු සමාජයම මෙලෙස සිතන්නේ නම් ලොව කලඹන මේ වසංගතයෙන් මුළුමනින්ම මිදෙන්නට අපට අපහසු නැති බවත් ඔහු අවධාරණය කළේය.

කොවිඩ් 19 අපට ඉගැන්වූ පාඩම් අතර පරිසරය පිළිබඳ පාඩමද ඉදිරියෙන්ම තිබේ. මිනිසුන් කූඩු කර සතුන් මුදා හළ ඒ අපූරු පාඩම ගැන දරුවන් සවිඥානික වූ බැව් අප දුටුවේ ‘පන්තියක් නොවන චිත්‍ර පන්තියේ‘ දරුවන් ඇඳි විවිධ සිතුවම් මුහුණු පොතේ නිතර දුටු නිසාය.

දරුවන් නිදහසේ සිතන්නේ නම් කෙතරම් අපූර්ව සිතිවිලි ඔවුන් මනසට එන්නේ ද යන්නට කොරෝනා කාලය නිදසුනකි. මේ පෙරහුරුව දකිද්දී මට මතක් වූයේ ජපානයේ සොසාකු කොබයාෂි නම් අපූරු ගුරුවරයාය.

ඔහු සිය දියණියගේ අතින් අල්ලාගෙන ‘එන්න අපි සොබාදහමේ රිද්මය බලන්නට යමු‘ කියා ගස්කොළන් අතර ඇවිද යන අයුරු මා දෙනෙත ඉදිරිපිට මැවෙයි. ලොවක් වසඟ කළ ‘හරි පුදුම ඉස්කෝලේ‘ ලියූ ටෙට්සුකෝ කුරොයානගී මේ කතාව සිය කෘතියේ සඳහන් කරන්නේ සමස්ත ගුරුවරුන්ටම උපහාරයක් පුදමිනි.

ශාන්ත කේ. හේරත් නම් මේ ගුරුවරයාද දරුවන්ට මඟ පෙන්වන්නේ දකින දේට එහා ඇති පරිකල්පනීය ඉසව්ව ස්පර්ශ කරන්නටය. කොරෝනාව පවා නිර්මාණ උල්පතක් වූයේ එලෙසිනි. කොරෝනාව සමඟ අවදි වූ පරිකල්පනයට විධිමත් ඉඩක් ලබා ගැනීමට ශාන්ත කේ. හේරත් කළ උත්සාහය කොරෝනාව සමඟ වැඩ කරන්නේ කෙසේද යන්නට කදිම උදාහරණයකි.

Comments