මැතිවරණ නිරීක්ෂණයේ නොදත් ඇත්ත | සිළුමිණ

මැතිවරණ නිරීක්ෂණයේ නොදත් ඇත්ත

වසර 1931 දී මෙරටට සර්වජන ඡන්ද අයිතිය හිමි වූදා සිට මැතිවරණ ක්‍රමවත් ව පැවැත්වීම සඳහා නිශ්චිත ආයතනයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූයේ වසර 1947 දීය. එ් පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය මණ්ඩල (පළාත් පාලන) මැතිවරණ දෙපාර්තමේන්තුව වශයෙනි. එදා මෙදා තුර මැතිවරණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාව 73 කි. අප මේ වන විට සූදානමින් සිටින්නේ 74 වන මැතිවරණයටය. 1947 සිට කුප්‍රකට ජනමත විචාරණයත් සමඟ මේ දක්වා පවත්වා ඇති පාර්ලිමේන්තු මැතිවරණ සංඛ්‍යාව 16 කි. එළඹෙන අගෝස්තු 5වෙනිදාට පැවැත්වීමට නියමිතව ඇත්තේ 17වන පාර්ලිමේන්තු මැතිවරණයයි.

මැතිවරණය එක් දිනයක සිදුවන දෙයක් ලෙස පෙනී ගියද එය ලොව නිල හා නොනිල වශයෙන් ලොව විශාලතම ප්‍රවර්තන මෙහෙයුම වශයෙන් සැලකේ. මේ වෙනුවෙන් අධික වැය බරක් දරනු ලබන අතර මැතිවරණ කොමිසන් සභාව මෙවර මැතිවරණය වෙනුවෙන් අවම වශයෙන් බිලියන නවයක් එනම් මිලියන නවදාහක් මේ වෙනුවෙන් වැය කරයි.

අතීතයේ පටන් එනම් රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක වූ කාලසමයේදී පවා මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ සිදුවීම් වාර්තා වූ බව පෙනේ. එසේ වාර්තා වූ සමහර සිදුවීම් මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණ බවට හානි ගෙන දුන් බරපතළ සිදුවීම් වේ. එසේම මෙරටේ පැවති මැතිවරණ අතරින් වඩාත් සැලකිය යුතු මට්ටමේ බරපතළ සිදුවීම් වාර්තා වූ මැතිවරණ ද නැතුවා නොවේ. අදාළ වාර්තා පිරික්සීමේදී පෙනී යන්නේ, මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණ බව එමඟින් දැඩි ප්‍රශ්නාර්ථයකට ලක් කර ඇති බවය. එ් අතර ප්‍රධාන වන්නේ 1999 දී පැවති වයඹ පළාත් සභා ඡන්ද විමසීමය. එසේම 1982 පැවති ජනමත විචාරණය සහ 1981 දී පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම ද මේ අතර කැපී පෙනේ. මේවා සමාජයේ දැඩි කතාබහට ද ලක් විය. මීට අමතරව 2005 පැවති ජනාධිපතිවරණය මෙරටේ මැතිවරණ ඉතිහාසයට එක් වූයේ සමස්ත පළාතක් එනම් මැතිවරණ දිස්ත්‍රික් පහක පමණ ඡන්දදායකයන් ඉතා අවම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරන ලද මැතිවරණයක් ලෙසිනි.

මැතිවරණ සමය තුළ හා ඉන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රමයෙන් ඉහළයත්ම මැතිවරණ නිරීක්‍ෂණය සඳහා සිවිල් සමාජයේ පැවති උනන්දුවද වැඩි විය. 1969 පසුව පැවති ඡන්ද විමසීම්වලින් අනතුරුව දක්නට ලැබුණු විශේෂ ලක්‍ෂණයක් වූයේ පාලන බලය හිමි වූ දේශපාලන පක්‍ෂ විසින් තම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්ගේ නිවාස ඇතුළු දේපළවලට අලාභහානි කිරීම හා සංවිධානාත්මක පහරදීම් වර්ධනය වී යෑමය. මැතිවරණයක සුපිළිපන්න බවට හානිවන ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීමට සරිලන ක්‍රමවත් යාන්ත්‍රණයක් හෝ අත්දැකීමෙන් සපිරි කණ්ඩායමක් සිවිල් සමාජයෙන් මතු නොවීම මීට ප්‍රධාන හේතුවක් විය. එසේම 1982 පැවැති ජනමත විචාරණයේදී පෙනී ගිය දුර්වලතා හේතුවෙන් මෙවන් යාන්ත්‍රණයක් තිබීමේ වැදගත්කම වඩ වඩා දැනෙන්නට විය.

මේ සඳහා පෙරමුණ ගත්තේ ගරු තිස්ස බාලසූරිය පියනම, ආචාර්ය ගොඩ්ෆ්‍රි ගුණතිලක සහ චාල්ස් අබේසේකර ඇතුළු පිරිසකි. මීට සමගාමීව විමල් ප්‍රනාන්දු මහතා ද මැතිවරණ නිරීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත් කිරීමෙහිලා තත්පරව සිටියේය. පසුව මේ සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව “නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය” නමින් සංවිධානයක් පිහිටුවා ගත්තෝය. මෙම සංවිධානය 1988 පැවති ඡන්ද විමසීම නිරීක්‍ෂණය කළේය. එය මෙරට මැතිවරණ ඉතිහාසයේ සිවිල් සමාජ සංවිධානයක් මැතිවරණ නිරීක්‍ෂණයට සෘජුව ම දායකත්වය සැපයූ ප්‍රථම අවස්ථාව විය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (Paffrel) යනු එලෙස රටෙහි ජනතාව අගය කරනු ලැබූ විද්වත් හා ප්‍රබුද්ධ පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මැතිවරණ නිරීක්‍ෂණය සඳහා ගන්නා ලද සාමූහික උත්සාහයක ප්‍රතිඵලයකි.

සෑම මැතිවරණයකදීම පැෆ්රල් සංවිධානය පුර්ව මැතිවරණ කාලය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ කාලය යන කාලත්‍රය සඳහා නිරීක්ෂකයන් 6000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබේ. ඔවුන් සේවය කරන්නේ වැටුප් හෝ දීමනා සලකා නොවේ. මෙය ගෞරවණීය සේවයක් ලෙස සලකා ස්වෙච්ඡාවෙන් ය. එසේ ස්වෙච්ඡාවෙන් සේවය කළේ වුවද ඔවුන්ගේ මූලික වියදම් සඳහා මිලියන 40කට අධික මුදලක් වැය කිරීමට පැෆ්රල් සංවිධානයට සිදුවේ. වත්මන් කොරෝනා තත්ත්වය හමුවේ අතිරේක මුදලක් ඒ සඳහා ඔවුන්ට වැයවන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අප සමඟ පැවසීය. මේ අරමුදල් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාල, මානවහිමිකම් ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජර්මනිය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය ආදී රටවල් සහයෝගය ලබාදෙන බව හෙතෙම පැවසීය.

පැෆ්රල් සංවිධානයේ ඇරඹුමත් සමඟ පසුකාලීනව විමල් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් නිදහස් සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (MFFE) නම් වූ සංවිධානය ද මැතිවරණ නිරීක්ෂණයට මුල පිරුවේය. අනතුරුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මැතිවරණ නිරීක්‍ෂණය සඳහා ම පිහිටු වූ ආයතනයක් ලෙස වසර 1997 දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) පිහිටුවනු ලැබීය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) හා මානව හිමිකම් පිළිබඳ ප්‍රලේඛන මධ්‍යස්ථානය (INFORM) යන සංවිධාන තුන එ් සඳහා මූලික විය. මෙහිදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) තම නිරීක්‍ෂණ කටයුතු ඇරඹූ අවස්ථාවේ සිටම සෑම මැතිවරණයක් අවසන ඊට අදාළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ අංග සම්පුර්ණ වාර්තාවක් ප්‍රධාන භාෂ තුනෙන්ම ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු කරනු ලැබීය. එහි සුවිශේෂත්වය වන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යම් ක්‍රමවේදයක් ඔස්සේ වගු ගත කරමින් ඉදිරිපත් කිරීමය. ඒ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව පරිපූර්ණ වාර්තා ඉදිරිපත් කර එමඟින් ඔවුන් නම් කිරීම හා ලැජ්ජාවට පත් කිරීම (Nemin and Semin) මෙම සංවිධානයේ ආරම්භයේ පටන් පැවතෙන කාර්යයකි. එමඟින් එවැනි ක්‍රියාවන්වලට පෙලඹීම අවම කිරීම අපේක්ෂාව විය.

2015 පැවති මහ මැතිවරණයත් සමඟ ඊට පෙර පැවති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමේ රටාව කිසියම් වෙනසකට භාජනය විය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යන නමින් ප්‍රකට වූ භෞතික කාරණා යටපත් වී රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන මැදිහත් වීම්, රාජ්‍ය දේපල අවභාවිතය ඉහළ ගිය අතර සමාජ ජාල මාධ්‍ය ප්‍රබලව යොදාගැනීම දක්නට ලැබුණි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත වීමත් සමඟ මැතිවරණ ක්‍රියාවලියෙහි ඇති වූ වෙනස්කම් මේ සඳහා බලපෑවේය. ඒ අනුව මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යන නමින් භෞතිකව අප දුටු දේ 2015 අගෝස්තුවෙන් පසුව සම්පූර්ණ වෙනසකට භාජනය වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය.

පසුගිය දශක තුනක පමණ කාලය තුළ මෙරටේ පැවති සියලූ ජාතික මට්ටමේ මැතිවරණ ආශ්‍රිතව ඇති වූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ඉතා ක්‍රමවත් හා අංගසම්පූර්ණ දත්ත එකතුවක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සතුව පවතී. එහි ඩවාත් සුවිශේෂත්වය වන්නේ මෙරටේ ප්‍රථම වරට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තාකරණය ගූගල් සිතියමක් (https://www.google.com/maps/d/u/0/viewermid=1UfWZkKRs1m1ekaRe05YMF5lsPdY) හරහා ඉදිරිපත් කිරීම ද ඇතුළත්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාකරණය සඳහා සමාජ ජාලා මාධ්‍ය උපරිම ආකාරයෙන් උපයෝගී කර ගැනීමය. 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ සිට එය වඩාත් ක්‍රමවත්ව උපයෝගී කර ගන්නා ලද අතර, යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වූ සැණින් එය “ට්විටර්” මාධ්‍ය හරහා දැනුම් දීම ප්‍රථමවරට ඉතා සාර්ථකව අත්හදා බලන ලද්දේ ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)ය.

සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කාර්යය සිදු කිරීම සඳහා 5000කට අධික නිරීක්ෂකයන් පිරිසක් යෙදවිය යුතු අතර, මැතිවරණය පැවැත්වීමට දින නියම කර මාස තුනක පමණ කාලය පුරාවට මෙම නිරීක්ෂණ කටයුතු සිදු කළ යුතුය. එය කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව

පූර්ව මැතිවරණ අවදිය, මැතිවරණ දිනය හා පශ්චාත් මැතිවරණ අවදිය තුළ මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරයි. මේ සියලු දේ කළමනාකරණය කිරීම සඳහා අවම වශයෙන් ලක්ෂ 300ට අවම මුදලක් වැය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසයි.

සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ (CaFFE) වත්මන් විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ පවසා සිටියේ මැතිවරණ නිරීක්ෂණය ඔවුන්ගේ ප්‍රමුඛතම කාර්යය වන බවයි. 2008 පෙබරවාරි මාසයේ දී තම සංවිධානය ආරම්භ වූ දා පටන් මැතිවරණ නිරීක්ෂණය මඟින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කිසියම් සහයක් සැලසීම කැෆේ සංවිධානයේ අරමුණ විය.

පැෆරල් ආයතනය සතුව දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයන්, දිස්ත්‍රික්ක 26 (අම්පාර සිංහල ප්‍රදේශය හා මුස්ලිම් ප්‍රදේශය) ම අාවරණය කරන නිරීක්ෂකයන් හා මැතිවරණ දිනයේ කටයුතු කරන නිරීක්ෂකයන් ලෙස 6000 පමණ ප්‍රමාණයක් ලංකාව පුරාම විසිරී සිටිති. මේ සඳහා අවශ්‍ය මිලියන 30ක පමණ මුදල් සොයා ගන්නේ මෙවැනි ක්‍රියාවන් සඳහා ආධාර සපයන විවිධ රටවල ස්ථාපිත ආයතන හා රාජ්‍ය නොවන සංවිධානවලිනි. කැෆේ වැනි ආයතන ක්‍රියා කරන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමක වරදාන වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බව ඈ ප්‍රකාශ කළාය.

 

Comments