බුද්ධ ශාසනයේ මෙන්ම ලාංකීය බුදු දහමට ජීවය දුන් ඇසළ පුන් පොහොය | සිළුමිණ

බුද්ධ ශාසනයේ මෙන්ම ලාංකීය බුදු දහමට ජීවය දුන් ඇසළ පුන් පොහොය

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපති සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල අනු නා හිමි
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපති සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල අනු නා හිමි

ලෝවැසියන් සසර දුකෙන් මුදවා ගනු පිණිස බෝසතාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් චුතව මහමායා දේවියගේ කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පොහෝ දිනය මේ මස 4 වැනිදාය. ඇසළ පුන් පොහෝ දිනය බෞද්ධයන්ට වඩාත් වැදගත් පුන් පොහෝයන් 3න් එක් පුන් පොහෝ දිනයකි. ඒ සඳහා හේතු ගණනාවක් ගෙන හැර දැක්වීමට පුළුවන.

සිදුහත් කුමරුන් ගිහි ගෙයින් නික්මීම හෙවත් අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේද, රාහුල කුමරුන් උපත ලැබුවේද ඇසළ පුන් පොහෝ දිනකය.

සිදුහත් තවුසාණන් බුදු බවට පත්ව ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙසින් බරණැස ඉසිපතනාරාමයේදී පළමු ධර්ම දේශනය පවත්වන ලද්දේද ඇසළ පුන් ‍පොහෝ දිනකය. සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වන බවට අනාවැකි පළ කළ කොණ්ඩඤ්ඤ බමුණා සෝවාන් ඵලයට පත් වූයේද මේ පොහෝ දිනයේදීම වීම තවත් වැදගත් සිදුවීමකි. එසේම බරණැස ඉසිපතනරාමයේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ පළමු වස් විසීම ආරම්භ කිරීම සිදු කෙරුණේද ඇසළ පුන් පොහොයේ ආරම්භයත් සමඟිනි.

මීට අමතරව දේශීය වශයෙන් බෞද්ධාගමික කරුණු රැසක් නිසාද අපට ඇසළ පුන් පොහෝ දිනය බෙහෙවින් වැදගත්කමක් උසුලයි.

 

මෙරට බුදු දහම ස්ථාපිත කිරීම

 

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව අරිට්ඨ කුමරු ඇතුළු රාජකීයයන් 15 දෙනකු පැවිදිව මෙරට බුදු දහම ස්ථාපිත කෙළේද ඇසළ පුන් පොහෝ දිනක වීම ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් අපට බෙහෙවින් වැදගත් වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව මෙරටට වැඩම කරවන ලද්දේද, ඇසළ පුන් පොහෝ දිනක වීම නිසා ද ඇසළ පුර පසොළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට වැදගත් වේ. දළඳා වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව දළඳා පෙරහර පැවැත්වීම ආරම්භ කරන ලද්දේද ඇසළ පුන් පොහෝ දිනකදීය. එදා ඇරැඹි මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද දක්වා අඛණ්ඩව පවත්වනු ලැබේ. එමෙන්ම දුටුගැමුණු මහ රජු විසින් තම රාජ්‍ය කාලයම භික්ෂූන් වහන්සේට වස් සමාදන් වීමට අවශ්‍ය පහසුකම් සලසන ලද අතර එසේ මුල පුරන ලද්දේද ඇසළ පුන් පොහෝ දිනකදීය.එසේම දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහ සෑ රඳුන්ට මුල්ගල තබන ලද්දේද ඇසළ පුන් පොහෝ දිනක බවද ඉතිහාසයේ දැක්වේ. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා විසින් ඇසළ පුන් පොහෝ දින මුල් කර ගනිමින් මෙරට බෞද්ධ පුනරුදයක් ඇති කළ බව අපට පැහැදිලිය. එම නිසා ඇසළ පුන් පොහෝ දින අනෙක් ආගමික කටයුතු සිදු කරන අතරම දුටුගැමුණු රජතුමාගේ එම ශාසනික සේවාවන්ද සිහි කිරීම බෞද්ධයන් ලෙසින් අප කළ යුතුම කාර්යයක් වන්නේය.

 

මහනුවර යුගයේ උපසම්පදාව

 

වර්තමාන සම්බුද්ධ ශාසනයට මං පෙත් විවර කිරීම අතින්ද අපට ඇසළ පොහොය වැදගත් වන්නේ, පරසතුරු උවදුරු නිසා අභාවයට ගිය මෙරට පැවිදි උපසම්පදාව මහනුවර යුගයේදී ඇසළ සමයේ ආරම්භ කළ නිසාය.

මහනුවර යුගයේදී මෙරටදී උපසම්පදාව ලද එකදු භික්ෂූන් වහන්සේ නමක් හෝ සොයා ගැන්මට නොහැකි විය.

මේ නිසා වැලිවිට ශ්‍රී සරණංකර නා හිමියන් විසින් මෙරටට බෞද්ධ ථෙරවාදී උපසම්පදාව ලබා ගනු පිණිස සියම් රටේ (තායිලන්තයේ) අයෝධ්‍යා දේශයට දූත පිරිස් යවා මෙරට උපසම්පදාව සහිත පිරිසිදු ථෙරවාදී බුදු දහම ස්ථාපිත කරන ලද්දේද ඇසළ පුන් පොහෝ දිනකය. උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සියම් රටින් මෙරටට රැගෙන ආ උපසම්පදාව සහිත බුදු දහම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් මෙරට ස්ථාපිත කරන ලද්දේද ඇසළ පුන් පොහෝ දිනක් වන 1753 වසරේ ජූලි මස 15 වැනිදාය. එදින පළමුව උපසම්පදාව ලැබුවේ කොබ්බෑකඩුවේ නා හිමියන් වන අතර දෙවනුව උපසම්පදාව ලැබුවේ වැලිවිට ශ්‍රී සරණකංර නා හිමියන්ය. රුවන්ගමුවේ නා හිමියන්, තිබ්බටුවාවේ නාහිමියන් හා බුද්ධරක්ඛිත නාහිමියන් ද මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් උපසම්පදාව ලැබූ අතර අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් නාවින්නේ නා හිමියෝද උපසම්පදාව ලැබූහ. උපසම්පදාවෙන් අනතුරුව මේ උපසම්පදා භික්ෂූන් හය නමට වස් විසීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ආරාධනා කළ අතර එයද ඇසළ පොහෝ දිනම සිදු කර තිබේ. ඒ අනුව 1753 වසරේ එම භික්ෂූන් වහන්සේ දිගු කාලයකට පසුව මෙරට වස් සමාදන් වීම අරඹන ලදි.

 

කඨින පින්කම්

 

එදා සිට අද දක්වාම පවත්වනු ලබන කඨින පින්කම්හි ආරම්භක පින්කම් සිදු කෙරෙන්නේ ද ඇසළ පුන් පොහොයේ ආරම්භයත් සමඟිනි.

මේ ලෙසින් අතීතයේ සිට බුද්ධ ශාසනයේ මෙන්ම මෙරට බෞද්ධ හා සංස්කෘතික වශයෙන් අපට ඉතාම වැදගත් පොහෝ දිනයක් ලෙසින් ඇසළ පුන් පොහෝ දිනය සැමරිය යුතු බව පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම ඇසළ පුන් පොහෝ දින ඇති මේ වැදගත්කම නිසාම මෙරට ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකෙන පෙරහර කිහිපයක්ම ඇසළ පෙරහර නමින් පවත්වනු ලැබේ. මහනුවර ‍ඓතිහාසික දළඳා පෙරහර මංගල්‍යය මෙන්ම කතරගම පෙරහරද ඇසළ මාසය මුල් කරගෙන පවත්වනු ලබන අතර දිස්ත්‍රික් වශයෙන් ප්‍රධාන පෙරහර කිහිපයක්ද ප්‍රාදේශීය වශයෙන් ඇසළ පෙරහරද පවත්වනු ලැබේ. ඒ සියලු පෙරහර පෙන්වා දෙන්නේ ඇසළ පුන් පොහෝ දිනයේ ඇති ඓතිහාසික වැදගත්කමයි. පසුගිය වෙසක් හා පොසොන් පුන් පොහෝ දින වල ආගමික වතාවත් නිසි ලෙසින් සිදු කරන්නට බෞද්ධයන්ට හැකියාව නොලැබුණු අතර මෙවර ඇසළ පුන් පොහෝ දිනයේ වුවද වෙනදා මෙන් ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වී ආගමික කටයුතුවල නියැළීම නොකළ යුතුය.

එසේම මේ වසරේ වස් විසීම සම්බන්ධයෙන්ද යම් ආකාරයක වෙනස්කමක් කරන්නට භික්ෂූන් වහන්සේට සිදුව ඇත. එසේ කරන්නට සිදුව ඇත්තේ මේ වසරේ වප් පුන් පෝය දෙකක් යෙදී තිබීම නිසා ය. එම හේතුව නිසා මෙවර වස් වැසීම සිදු කෙරෙන්නේ ජූලි මසට යෙදෙන ඇසළ පුන් පොහෝ දින නොවන අතර නිකිණි පුන් පොහෝ දින (අගෝස්තු 03) වීම විශේෂත්වයකි.

 

මෙවර වස් වැසීම නිකිණි පොහොයෙන්

 

සිංහල මාස ක්‍රමය අනුව (චන්ද්‍ර මාස) වස් වැසීම කළ යුතුව ඇත්තේ අගෝස්තු මස 3 වැනිදාට යෙදෙන පොහෝ දින වීම මෙහි විශේෂත්වයයි. එවැනි ආකාරයට දින වෙනස්වීම ඉතාම කලාතුරකින් සිදු වන්නක් වන අතර බෞද්ධයන් වශයෙන් ඇසළ පින්කම් එසේත් නැත්නම් වස් පින්කම් ආරම්භ කිරීම කළ යුතු වුවත් මේ අවස්ථාවේදී බෞද්ධ වත් පිළිවෙත් සේම සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීම ඉතාම අවශ්‍ය බව පෙන්වා දිය යුතුමය.

මෙවර සීල සමාදාන කටයුතු පවා කළ යුත්තේ බෞද්ධ වත් පිළිවෙත් වලට පළමුව පෙර කී පරිදි සෞඛ්‍යාරක්ෂාවට මුල් තැනක් ලබා දීමෙනි. මාස 3ක් පමණ විහාරස්ථාන ඇසුරු කරගෙන පවත්වනු ලබන ඇසළ පින්කම් ජනතාව එක් රැස් කිරීම අවම වන ලෙසින් පැවැත්වීම ඉතාම වටිනා බව මෙහිදී පෙන්වා දිය යුත්තේ මෙවර ඇසළ පෙරහර පවා මහජන ප්‍රදර්ශනයකින් තොරව සංස්කෘතික අංග පමණක් ඉස්මතු කරමින් සිදු කරන නිසාය.

බුදු රජාණන් වහන්සේගේ ජීවමාන සමයේ විශාලා මහනුවර ඇති වූ රෝග බිය මෙන් මෙවර ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය මේ වන විට අපේ රටද ආක්‍රමණය කර ඇති අතර එය සහමුලින් තුරන්ව ගොස් ඇතැයි කිසිවිටක නොසිතිය යුතුය. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවෙන් අපට ඉතා ඉක්මනින් මේ වසංගතය පැතිර ඒමට බොහෝ හැකියාවන් තිබේ.

මේ වන වට ඉන්දියාවේ දිනකට දහස් ගණන් රෝගීන් වාර්තා වන අතර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන යාත්‍රා මඟින් ඉතා පහසුවෙන් අප රටටද මේ වසංගතය යළි පැමිණීමට ඕනෑතරම් ඉඩකඩ ඇත. එම නිසා අප සියලු දෙනා අවධානය පළමුව යොමු කළ යුත්තේ කොරෝනා මර්දනය පිණිස රජයට, ආරක්ෂක අංශවලට මෙන්ම සෞඛ්‍ය අංශවලට සහාය දීමෙන් හා ඔවුන් විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිමෙනි. අපට ආගමක් දහමක් අදහන්නට සංස්කෘතියක් තබා ගන්නට පළමුව රටක් තිබිය යුතුය. එසේම අප නිරෝගීව සිටිය යුතුය. එසේ නිරෝගීව සිටිය හැක්කේ අදාළ උපදෙස් අනුව කටයුතු කළහොත් පමණි.

මෙරටින් තුරන්ව ගිය උපසම්පදාව පවා යළි මෙරටට ගෙන ඒමට හැකියාව ලැබුණේ සුදුසු පරිදි කටයුතු කළ නිසාය. අප අද දිනයේද කළ යුත්තේ ඒ අනුව සිතා බලා කටයුතු කිරීමය.

ඇසළ පුන් පොහෝ දින වැදගත්කම පෙන්වා දෙමින් අපට මේ අවස්ථාවේ යම් යම් නිර්මාණ කළ හැකිය. එහෙත් කිසිදු විටක ජනතා ඒකරාශියක් ඇති නොකළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ දහම වන්නේ පළමුව තමා දහමෙහි පිහිටා කටයුතු කළ යුතු බවයි. ඒ අනුව අප මේ අවස්ථාවේදී කළ යුත්තේ ඇසළ පුන් පොහෝ දින වැදගත්කම මාධ්‍ය මඟින් දැනගෙන ඒ අනුව කටයුතු කිරීමයි. හැකි උපරිම ලෙසින් සිල් සමාදන් වීම් පවා වෙසක් හා පොසොන් පොහෝ දිනවල මෙන්ම නිවාසවල සිට සිදු කළ හැකිනම් එය වඩාත් අගය කළ යුතුය.

 

Comments