ප්‍රේමය නිසා සියල්ල අහිමි වූ ස්කොට්ලන්ත පටාචාරාවක් | Page 2 | සිළුමිණ

ප්‍රේමය නිසා සියල්ල අහිමි වූ ස්කොට්ලන්ත පටාචාරාවක්

වර්ෂ 2017 මැයි මස 30 දාය. අහුංගල්ල පොලිස් වසමේ මාකුඹුර අමරමෝලි මාවතේ පදිංචිව සිටි දේමුණි ප්‍රියංජන සොයිසා නැමැත්තෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ මිද්දරමුල්ල වෙලේ පන්සල අසලය. මොහු වෘත්තියෙන් සංචාරක මඟ පෙන්වන්නෙකි; විසිහය හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහු විවාහ දෙකක් කරගත් පුද්ගලයෙක් වූයේය. එක් බිරියක් මෙරට 21 හැවිරිදි තරුණියකි. ප්‍රියංජන නැමැත්තා වයස අවුරුදු 13 දී මෙම දැරිවිය රැගෙන විත් වයස සම්පූර්ණ වූ පසු විවාහ කරගෙන තිබිණි. ඒ කාලය අතරතුර ඔහුට වඩා අවුරදු 33 වයසින් වියපත් ස්කොට්ලන්ත ජාතික කාන්තාවක් හා විවාපත් වී සිටියේය. මේ විදේශික කාන්තාව ලවා සුඛෝපභෝගී නිවසක් ඉදිකරගෙන, ඇය විසින් රැගෙන දුන් නවීන වාහනය සහිතව ඔහු ජීවත් වූ ආකාරය අනුව බොහෝ දේ අනාවරණය විය.

ඝාතනය වූ ප්‍රියංජන සොයිසාගේ ස්කොට්ලන්ත ජාතික බිරිය වූ ඩෑන් පිල්බර්ස්, තමන්ට වූ අශිෂ්ට මානුෂික ව්‍යසනය පිළිබඳ ලෝකය හමුවේ කතා කරන්නට වූ නිසාය. මුලින්ම ඇය තමන් රැවටී සිටීම පිළිබඳවත්, සියලු වත්කම් අහිමිව ලංකාවේ හුදකලා වීම පිළිබඳවත් විදෙස් මාධ්‍යවලට කතා කළාය. අනතුරුව යන්තමින් ජීවිතය බේරාගෙන සිය මවු රටට පිවිස සිටින ඇය තමන්ට වංචා කළ පවුම් ලක්ෂයකට අධික මුදල ලබා ගැනීමට ස්කොට්ලන්ත නීතිවේදීන් හා එක්ව දැන් සටන් වදිමින් සිටින්නීය.

ඇය පසුගිය අඟහරුවාදා ඇයගේ කතාව යළිත් ‘ද සන්‘ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලෝකයට කීවාය. ද සන් වාර්තා කළේ මේ ශ්‍රී ලාංකිකයා විසින් තමන්ට වංචා කළ පවුම් ලක්ෂයකට අධික මුදල ලබා ගැනීමට ඩෑන් පිල්බර්ස් මේ වනවිට නීතිමය කටයුතු සම්පාදනය කරමින් සිටින බවය. ඩේලි රෙකෝඩ් පුවත්පතද ස්කොට්ලන්ත නීතිඥයකුගේ සහාය ඇතිව ඇය සිය වත්කම් ලබාගැනීමට කරන අරගලය ගැන වාර්තා කර තිබුණේය.

දැන් මේ ගැහැනිය 61 වැනි වියේ පසුවන්නීය. තමන් විසින් ජීවිත කාලය පුරාම හරි හම්බ කළ ඉතුරුම් ප්‍රමාණය සිය සැමියා වෙනුවෙන් වියදම් කිරීමෙන් පසු ඇය යළි සිය රටට පැමිණ ඇත්තේ ජිවිතය පමණක් ඉතිරි කරගෙනය. ඇය පවසන පරිදි සියල්ල අහිමි වූ ඇය මව් රටේ ගෙවන්නේ දුක්ඛිත දිවියකි. ඇයට මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් 362ක් වන ඇයගේ විශ්‍රාම වැටුප පමණි. ඇය සිය වංචාකාරී සැමියා සමග ගෙවූ විවාහය දිවිය වෙනුවෙන් වැය කළ මුදලින් අඩක් ලැබුණත් ඇය දැන් ගතකරන දිවයේ දුෂ්කරතා මගහැරිය නොහැකි බව පවසා තිබුනේ වේදනාවෙනි.

“ඔහු හෝටල් සේවකයෙක්; රියදුරෙක්. මට ඔහුව මුලින්ම හමුවන්නේ ලංකාවට පැමිණි කෙටි නිවාඩුවකදී මීට අවුරුදු 8කට පෙර. ඒ වනවිට මගේ වයස අවුරුදු 53 කි. ඔහුට වයස අවුරදු 20යි. ඔහු මුලින් හරිම ආචාරශීලී කෙනෙක් වුණා. මම හිතුවෙ ඔහු කදිම තරුණයෙක් කියලා. එය බොහොම ප්‍රීතිමත් හමුවීමක්. ඔහු මගෙන් මුලින්ම ජංගම දුරකථන අංකය හා ලිපිනය ඉල්ලුවා. මම ඒ ගැන කිසිවක් හිතුවෙ නෑ. ඒවා ඔහුට ලබා දුන්නා. අපි අතරෙ ඇති වයස් පරතරය ගැන මට හිතුණෙ නෑ. නිවාඩුව නිමා වෙලා මම මගෙ රටට ආවා.මම නැවත පැමිණි දා සිට ඔහු මට කතා කරන්න උත්සාහ කළා. ඔහුගෙ ඉංග්‍රිසි භාෂාව හැසිරවීම හොඳ නෑ. කෙසේ වෙතත් ඔහු මට ලිපි කීපයක් ලිව්වා. 2012 ජනවාරි සිට අපි එකිනෙකාට කෙටි පණිවිඩ යැව්වා. පසුව දුරකථනයෙන් සංවාදයක යෙදුණා. ඔහු නිතරම අපි අතර සිදුවිය යුතු විවාහය ගැන සඳහන් කළා. ඇත්තටම මේ යෝජනාව ඉදිරියෙ මම ටිකක් පසුබට වුණා."

“මම කවාදවත් විවාහ වෙලා සිටියෙ නෑ, මේ පෙලඹවීම එක්ක මා සිටියේ ප්‍රේමණීය ලෝකයක. මගේ පවුලෙ අය, ඥාතීන් මිත්‍රයන් එපා කියද්දි මම ඔහු වෙනුවෙන් ඔහු සමග විවාහ වෙන්නට ලංකාවට වෙත පැමිණීමට තීරණය කළා. ඔහු මාව දැකීමෙන් බෙහෙවින්ම සතුටට පත් වුණා. පසු දිනම විවාහ ගිවිස ගැනීම පිළිබඳව ඔහු කියන්න වුණා. මම පැමිණියේ වෙනත් රටක සිට. මම විවාහය ලියාපදිංචි වෙනකොට රෙජිස්ට්‍රා කාර්යාලයේ දී අන්තර්ජාලයෙන් මගේ මිතුරන් හා සම්බන්ධ වුණා. ඇය ඒ අතීතය සිහිපත් කළාය.

“ ඔබ දන්නව ද‍? මට ඒ මෙහොතෙ ලොකු කම්පනයක් ඇති වුණා. ඔහු මගෙන් ඉල්ලා සිටියා ඉදිරියට ගිහින් විවාහ ගිවිස ගැනීමේ වාක්‍යය ඛණ්ඩ කියන්න කියලා. විවාහයෙන් පස්සේ මම බලාපොරොත්තු උනේ මගේ සැමියා එක්ක ආදරෙන් පිරුණු සාමකාමී ජීවිතයක්. “ ඇය කීවාය.

ඒ වෙනුවෙන් ඩෑන් සඳහා ස්කොට්ලන්තයේ පිහිටි සිය මහල් නිවාසය පවුම් එක්ලක්ෂ පන් දහසකට විකිණුවාය. ඇය මෙතෙක් එඩින්බරෝ නගර සභාවේ පාරිභෝගික සේවා සහකාරවරියක් ලෙස කරමින් සිටි රැකියාවෙන් විශ්‍රාම ගත්තාය.

“නිදන කාමර තුනකින් යුතු නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මම ලබා දුන්නා. ඔහුගේ ත්‍රීවිල් රථය වෙනුවට මිනි බස් රථයක් අරන් දුන්නා. ගෙදරට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ ගත්තාය. ඒත් වැඩි කල් නොගොස් පවුලේ සියලු නඩත්තු කටයුතු සඳහා වියදම් කිරීම මට බාර වුණා.“

“ටික දවසකින් මං ළඟ තිබුණු මුදල් සියල්ල ක්ෂය වුණා. ජීවත් වීමට ඉතිරි වූයේ මාසයකට පවුම් 363ක විශ්‍රාම වැටුප විතරයි. මේ අතර ඔහුට මං ගැන තිබූ උන්නදුව මුළුමනින්ම නැති වුණා. ඔහු මා සමඟ ගත කළාට වඩා වැඩි කාලයක් ඔහුගේ මවගේ නිවසේ ගත කළා. නැතිනම් තම මිතුරන් එක් රාත්‍රියේ එළියට ගොස් නැවත නිවසට ආවෙ නෑ. සියල්ල අසාර්ථක බව තේරුණා. අපි මුදල් පිළිබඳව වාද කිරීමට බොහෝ කාලයක් ගත කළා. මට මුල්ම හැඟීම ආවා ඔහු මට වංචා කළ බවට. මේ අතරේ වර්ෂ 2016 දි ඇය වැලන්ටයින් දින කාඩ්පතක් මට හමු වුණා. එය කාන්තාවක් ‘මගේ සැමියාට‘ ලෙස සටහන් කර ඔහුට එවූ එකක්. ඒ විමසූ විට ඔහු කීවේ මිතුරකුගේ විහිලුවක් කියලයි.

පස්සේ මගෙ සියලුම හීන බිඳ වැටුණු මහා අප්‍රසන්න ආරංචිය ආවා. ඔහු මා සමග විවාහ වී සිටියදී ම වෙනත් දේශීය කාන්තාවක් හා විවාහ වෙලා.“

ඇය දැන් සිය ඥාති මිත්‍රයින් උපන් රට අහිමි, ජිවත් වීමට තිබූ සියලු බලාපොරොත්තු වංචා කරන ලද අසරණ ගැහැනියකි. වර්ෂ 2017 වනවිට ඩෑන් පිල්බර්ස් හිටියේ තමන්ට සිදුවුණු මහා ව්‍යසනය පිළිබඳ උපන් කම්පනයෙනි. සැමියා ප්‍රියංජන මැරයන් විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ මේ අතරය.

දැන් ඇයගේ සැමියා මරා දමා ඇත. ඇය ලංකාවේ අතරමං වූවාය. ඒ වනවිට නිවස තිබුණේ සැමියාගේ නමිනි. විදේශිකයකුට ශ්‍රී ලංකාවේ නිවසක් තිබීම දුෂ්කර බව ඇයට පවසා ඇති ඇගේ සැමියා එම දේපල ඔහුගේ නමින් තබා ගත්තේය. නිවසට අමතරව ඇය සිය සැමියා වෙනුවෙන් ඩොලර් 31000 වැය කර මිල දී ගත රථය ද තිබුණේ ඔහුගේ නමටය. ඩෑන්ට දැනෙන ආකාරයට ඒ වනවිට ඩෑන්ගේ ජීවිතය ද තිබුණේ අනතුරකය. ඇය විශ්‍රාමික පොලිස් ප්‍රධානියෙක් හා අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් මිතුරන් කිහිප දෙනෙකුගේ උපකාරයෙන් ලංකාවෙන් හොර රහසේ පිට වුණාය.

“මේ වනවිට මගේ සැමියාගේ සොයුරන් හා ඔවුන්ගේ භාර්යාවන්, දරුවන් සමඟ කිසිම කුලියක් නොගෙවා බලහත්කාරයෙන් මගෙ නිවසේ ජීවත් වෙනවා. එය මොන තරම් වැරදි ද? මේ වනවිට ඇයගේ එකම බලාපොරොත්තුව ස්කොට්ලන්ත නීතිඥයා හරහා ඇයගේ වත්කම්වලින් යම් ප්‍රමාණයක් හෝ නැවත ලබා ගැනීමය.

" මම දන්නවා මෙය සංකීර්ණ බව. නමුත් මට බැංකු වාර්තා මගින් නිවෙස සඳහා ගෙවූ මුදල් මෙන්ම තවත් බොහෝ වියදම් මට පෙන්විය හැකියි“ අවසාන වශයෙන් ඩෑන් පිල්බර්ස් කියන්නී මෙසේය.

“මගේ මිතුරන් හා පවුලේ සියලු දෙනා කිව්වා මට මේ පියවර ගන්න එපා කියලා. ඒත් මම හිතුවා ඔහු මට ආදරෙයි කියලා. ඇත්තටම මම ඔහුට ආදරය කළා. ඔබ ආදරය කරන විට ඔබ මෝඩ දේවල් කරනවා. ඔබ ලංකාවට යනවා නම් මට වෙච්චි දේ ගැන කල්පනා කරන්න. ඔවුන් අතිශයින් දුප්පත්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යුරෝපීය කාන්තාවන් විවාහ කර ගැනීමට බලා ඉන්නවා. මන්ද ඔවුන් අප සියල්ලන්ම ඉතා ධනවත් යැයි සිතන බැවින්. මා ධනවත් කෙනෙක් නොවෙයි. නමුත් ඔවුන්ගේ ඉදිරියේ මම ධනවත් කෙනෙක් වුණා... ”

Comments