නිවෙස් නැති මිනිස්සු කබලෙන් ලිපට දැමූ ‘යහපාලනේ’ නිවාස යෝජනා ක්‍රම | Page 2 | සිළුමිණ

නිවෙස් නැති මිනිස්සු කබලෙන් ලිපට දැමූ ‘යහපාලනේ’ නිවාස යෝජනා ක්‍රම

සාදා නිම නොකළ නිවාස

‘යහපාලන‘ රජය ඉකුත් කාලය පුරා දිස්ත්‍රික්කයක් පාසා නිවාස හා ඉදිකිරීම් නිවාස යෝජනා ක්‍රම රාශියක් ආරම්භ කර ඇතත් ඉන් විවෘත කර ඇත්තේ අතළොස්සකි. ඉන් යෝජනා ක්‍රම රාශියක්ම මේ වන විට වල් බිහි වී කැලෑවට අත්හැර දමා ඇත. ගමින් ගමට ගෙවල් හදනවා කියා සජිත් කර ඇත්තේ කටින් බතල කොළ හිටවීමකි.

අම්පාර දිස්ත්‍රික්කය පුරා ද මෙසේ නිවාස යෝජනා ක්‍රම 125 ක් පමණ ආරම්භ කර ඇති අතර ඉන් විවෘත කර ඇත්තේ නිවාස යෝජනා ක්‍රම 25 ක් පමණි. ඉතිරි නිවාස යෝජනා ක්‍රම 100 ක් මාස ගණනාවක් තිස්සේ අතහැර දමා ඇත. ගම්මානය සඳහා ඉඩම් මැන වෙන්කර දුන්පසු නිවාසලාභියා විසින් තම වියදමින් නිලධාරීන් දෙන සැලැස්ම අනුව අත්තිවාරම් දමා ජනෙල් මට්ටම දක්වා නිවස ඉදිකර ගත යුතු ය. මේ සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය වේ. දුප්පත් නිවාසලාභියා බිරිය ගේ කණකර පවා උකස් කර පොලියටද ණයක් ලබාගෙන නිවස ඉදිකිරීම ආරම්භ කළද ණය මුදලේ මුල් වාරිකය ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂයක මුදලකි. එයද ලැබෙන්නේ මාස කීපයකට පසුවය. ඉන් ණය ගෙවූ පසු ඉතිරිවන දෙයක් නැත.

අම්පාර දිස්ත්‍රීක්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිගුරාණ ඉදිකිරීම් ආරම්භ කර ඇති ඉලුක්පිටිය ගම - I සහ ඉලුක්පිටිය ගම - II යන නිවාස යෝජනා ක්‍රම දෙකටද අද අත්වී තිබෙන්නේ ශෝචනීය ඉරණමකි. නිවාස යෝජනා ක්‍රම දෙකේ නිවාස ඒකක 31 බැගින් නිවාස ඒකක 62 ක් ඉදි කිරීමට මුල්ගල් තබා උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලදී. ඒ 2018 වර්ශයේ අග භාගයේ දීය. නමුත් මේ වන විට එහි නිවාස වල වහල ගසා ඇත්තේ 11 ක පමණි. මෙවැනි තත්ත්වයක් යටතේ නිවාස සංවර්ධන අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් මෙම නිවාසලාභින් වෙනුවෙන් ලබා දී ඇති ණය මුදල් හා ඊට 8% ක පොලිය සමඟ ජනවාරි මාසයේ සිට හිග මුදල් ගෙවන ලෙස දන්වා ලිපි එවා ඇත.

මේ අනුව රුපියල් ලක්ෂයක් පමණ ණය ලබා ගෙන ඇති නිවාස ලාභියකුගෙන් රුපියල් 11700/- ක හිඟ මුදලක්ද රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ ලබා ගත් නිවාස ලාභියෙකුගෙන් රුපියල් 37200/- ක හිඟ මුදලක්ද වශයෙන් 2020 ජූනි 30 ට පමණ පෙර ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් ඇප කරුවන්ගෙන් අය කරගන්නා බවත් දන්වා ඇත. මෙම හිතුවක්කාර නිලධාරීන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ද මෙසේම අරුම පුදුම ලිපියක් යවමින් ' තමන් ඉල්ලුම් කර ලබා ගත් ණය මුදල වන රුපියල් 500000/- ය වෙනුවෙන් පොලිය සමග වාරික මුදල රුපියල් 5310/- ක් ගෙවන ලෙස දන්වා එවූ බවද නිවාසලාභීහු පවසති. ඒ වන විට නිවාසලාභීන්ගෙන් වැඩි දෙනෙකු ලබා ගෙන සිටියේ ණය මුදලින් රුපියල් ලක්ෂයක කොටසක් පමණි.

මේ පිළිබඳව ඉලුක්පිටිය ගම නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලාභියකු මෙන්ම නිවාස සමිතියේ භාණ්ඩාගාරික එල්.ඒ.බී.ජෝතිපාල මෙසේ අදහස් දක්වන ලදී. - ''මට මේ ඉඩම ලැබුණේ ඉඩම් කච්චේරිය පරීක්ෂණයකින්. මුලින්ම නිවාස අධිකාරියේ මහත්වරු ඇවිල්ලා අපිට රැස්වීමක් තිබ්බා. ඒකෙදි කිව්වා අපි ඔයාලට රුපියල් ලක්ෂ පහක ණයක් දෙනවා. ඒක දෙන්නේ හතරකින්. පළමුවෙන් ඔයාලා, ඔයාලාගේ සල්ලි වලින් අත්තිවාරම් දාලා ජනෙල් මට්ටම දක්වා ගේ ඉදි කරන්න ඕන. පසුව අපි ලක්ෂයක් දෙනවා. ඒ දුන්නට පස්සේ ගේ වහල මට්ටම දක්වා බදින්න ඕන; වැසිකිළිය බදින්න ඕන. ඊට පස්සේ තමයි අපි ලක්ෂ දෙක හමාරක් දෙන්නේ.

ඒ මුදලින් ජනෙල් දොරවල් දාන්න ඕනෙ; කපරාරු කරන්න ඕනේ. ඊට පස්සේ රුපියල් ලක්ෂයක් දෙනවා. ඒකෙන් වහල ගහන්නත් ඕනේ. ඉතිරි රුපියල් පනස්දහස දෙන්නේ තීන්ත ගාලා ගේ වැඩ සම්පූර්ණ කරන්න කියලා. අපිට නිවසක අවශ්‍යතාව තදින් බලපා තිබුණ නිසා මම ගෙදර තිබුණ රත්තරන් බඩු ටික උකස් කරලා ගේ හැදුවා. මම මේසන් බාස් කෙනෙක්. ඒ නිසා මට පුළුවන් වුණා ගේ වැඩටික කර ගන්න. නමුත් මට දැන් ලැබිලා තියෙන්නේ වාරික දෙකකදී රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් පමණයි. ඉතිරි මුදල් ලැබුණේ නැහැ.

මට මේ ගේ මේ තත්ත්වයට ගොඩ නගන්න රුපියල් අටලක්ෂ හැත්තෑපන්දහසක් වියදම් වුණා. බාස් කුලිය නැතුව. ඉතිරි වැඩ කරන්නත් තව රුපියල් ලක්ෂ දෙකක් විතර ඕනේ. නමුත් මගේ ණය මුදල වූ රුපියල් ලක්ෂ පහ නොදි ගේ වැඩත් සම්පූර්ණ නොකර තිබිය දී නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මට දැන් එක පාරටම රුපියල් 37000 ක් ගෙවන්න කියලා ලියුම් එවලා තියෙනවා. මේ නිලධාරීන් මාස 08 ක් පමණ නිදාගෙන ඉදලා, මැතිවරණයක් පවත්වන්න නියම වී තිබෙන මේ වෙලාවේ හිතාමතාම මිනිස්සු කුලප්පු කරවන්න තමයි මෙහෙම කරන්නේ. අපි මේ මුදල් ගෙවන්නේ නැහැ. මේ මිනිස්සුන්ට ඉතිරි ණය මුදල් දීලා මේ සියලු මුදල් හදවලා මිනිස්සු පදිංචි කරවලා මෙම නිවාස යෝජනා ක්‍රම උත්සවශ්‍රීයෙන් විවෘත කරාට පස්සේ තමයි අපි ණය ගෙවන්නේ. ‘

මෙම නිවාස යෝජනා ක්‍රමයේ දී අපට හමු වූ සෝමසිරි ජයසූරිය මෙසේ අදහස් දැක්වීය. මගේ දුවගේ නමට තමයි ගේ ලැබුණේ. මේ ඉඩම සකස් කරන්නත් අපෙන් රුපියල් 6000/- ක් ගත්තා. අපිට දේශපාලනයක් වැඩක් නැහැ. මේ රජයේ නිවාස ඇමති ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතකුමාගේ අවධානය මෙම නිවාස යෝජනා ක්‍රම ගැන යොමු විය යුතුයි. දේශපාලනය ගැන නොසිතා වගකිව යුතු මැති ඇමතිවරුවරු ඉදිරිපත් වෙලා මේ නිවාස සංකීර්ණය ගොඩනගන්න උදව් කළ යුතුයි. ඒකට මුලින්ම නිවාසලාභීන් රැස් කරවලා උපදෙස් දීලා ඔවුන්ට හිග ණය මුදල් ලබා දිය යුතුයි.

ඉලුක්පිටිය නිවාස සමිතියේ ලේකම් සන්ද්‍යාකුමාරි මේ ගැන මෙසේ පැවසීය. 'මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මහත්තයා එදිනෙදා රියදුරු වැඩ කරනවා. අපට ඉඩම් කච්චේරියෙන් තේරිලා නිවසක් හදා ගන්න අවස්ථාවක් ලැබුණා. අතේ ඉතිරිකර ගෙන තිබූ මුදල්වලින් අත්තිවාරම් දමා ජනෙල් මට්ටමට බැඳ ගත්තා. රුපියල් ලක්ෂයක ණය මුදලක් ලැබුණා. නමුත් ඉතිරි වාරික මුදල් ලැබුණේ නැහැ. දැන් මාස 08 ක් විතර වෙනවා. ඉතිරි වැඩටික කරගන්න විදිහක් නැහැ.

දැන් ලියුම් එවලා තියෙනවා ගත්ත මුදල් රුපියල් ලක්ෂයේ ණය මුදලට හිග වාරික සමග රුපියල් 11700/- ක් ගෙවන්න කියලා. අපි කියන්නේ ගෙවල් හදාගන්න අපිට සල්ලි දෙන්න. ගෙවල් හදාගෙන පදිංචි වුණාට පස්සේ ණය වාරික හරියට ගෙවන්නම් කියලා.

බුද්ධික කුමාර මේ ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළේය. මෙහි නිවාස ලාභීන්ට මුලින්ම උපදෙස් දුන්න විදියට නෙවෙයි වැඩ කටයුතු සිදු වුණේ. ඒ අය මුලින් කිව්වේ ණය මුදල ඔක්කොම දීලා මේ ගම්මානය විවෘත කරලා අවුරුද්දක් ඉකුත් වුණාමයි ණය වාරික අය කරන්නේ කියලා. නමුත් දැන් ගෙවල් හැදිලත් නැහැ; ණය මුදල් දීලත් නැහැ.

ඒ වුණාට ණය වාරික හිග මුදලුත් එක්ක ඉල්ලනවා. දැන් මගේ ගේ කොහොම හරි ණය වෙලා වහලෙත් ගහල ඉවරයි. මේ අය කියනවා ඉස්සර වෙලා ගේ පිටත කපරාරු කරන්න කියලා. එසේ නොකර ඇතුළ කපරාරු කළොත් ඉතිරි මුදල් දෙන්නේ නැහැ කියලා. අපි හදන්නේ ගේ ඇතුළෙන් කපරාරු කරගෙන බිමට සිමෙන්ති දාලා දොරවල් දෙක හදාගෙන පදිංචි වෙන්න. මේ නිලධාරීන් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ; ණය දෙන්නෙත් නැහැ.

මෙහි සඳහන් වන්නේ එක් නිවාස යෝජනා ක්‍රමයක අඩුපාඩු ගැන පමණි. මෙසේ වල් බිහිවන අතරමැද වැඩ ඇණහිට ඇති නිවාස යෝජනා ක්‍රම රාශියක් ඇත. මේ විනාශ වන්නේ මහජන මුදල්ය. ඉකුත් යහපාලන රජයේ කාලයේ නිවාස ඇමතිවරයාට සහ එහි නිලධාරීන්ට අවශ්‍යතාව තිබුණේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීමට විනා ඒවා අවසන් කරන්නට උවමනාවක් තිබූ බවක් පෙනෙන්ට නොතිබිණ.

අප මේ පිළිබඳ අම්පාර නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු ආර්.එම්. සුභසිංහගෙන් කරුණු විමසා සිටි අතර ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

''පසුගිය කාල වකවානුව තුළ රටේ පැවැත්වූ ජනාධිපති මැතිවරණ ආණ්ඩු පෙරළිය, මහ මැතිවරණය හා කොරෝනා තත්ත්වය මේ ආදී තත්ත්වයන් තුළ මේ නිවාස යෝජනා ක්‍රම '' අවිච්ඡේද ව්‍යාපෘති '' බවට පත්වුණා. මේවායේ අඩුපාඩු රාශියක් තිබුණ බව පිළිගන්නවා. මේ පිළිබඳ මේ වන විට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා උපදෙස් දීලා තියෙනවා මෙම නිවාස යෝජනා ක්‍රම පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කරලා නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ආදී කරුණු ඇතුළත් කොට සම්පූර්ණ වාර්තාවක් දෙන ලෙසට.

අපි දැනටමත් ඒක පිළියෙල කරමින් ඉන්නවා. යථා කාලයේ දී නිවාසලාභීන්ට හිග ණය මුදල් ලබා දී නැවත ඉදි කිරීම් ආරම්භ කිරීමට පියවර ගන්නවා. මෙතෙක් ගෙවා ඇති ණය මුදලට අදාළව ණය වාරිකය එකතු කර ගැනීම සදහා ලිපි යැවූ බවත් පිළි ගන්නවා. එමගින් අපි නිවාස ලාභින් අපහසුතාවට පත් කිරීම හා ඔවුන්ට නීති මගින් කටයුතු කිරීම හෝ බලාපොරොත්තු වන්නේ නැහැ.

ඉන් අපි බලාපොරොත්තු වුණේ නිවාසලාභීන් තුළ උනන්දුවක් ඇති කිරීම සහ එමගින් උනන්දුවක් ඇති නිවාසලාභීන් හඳුනාගෙන හිඟ ණය වාරික ලබා දී කඩිනමින් නිවාස ඉදි කිරීමට පොලඹ වන්නයි.

ගම්වාසීන් පවසන්නේ ඔවුන් ඉතා උනන්දුවෙන් තමන්ට ලැබුණ නිවාස තනා ගැනීමට උත්සාහ ගත්තත් නිවාස අධිකාරිය පැත්තෙන් ලැබිය යුතු පහසුකම් කලට වේලාවට නොලැබුණු නිසා මෙම නිවාස යෝජනා ක්‍රම වල් බිහි වීමට ඉවහල් වූ බවයි.

 

Comments