නිල්වලා ගඟේ කිඹුලන්ගෙ අලුත්ම බිල්ල | සිළුමිණ

නිල්වලා ගඟේ කිඹුලන්ගෙ අලුත්ම බිල්ල

1. අතුල ජීවත්වූ නිවස 2. අතුල සොයා මෙහෙයුම් සිදුකළ අයුරු

 

මාතර අභිමානයේ සංකේතයක් වන නිල්වලා ගඟ මාතරට ගෙන එන්නේ අලංකාරයකි; ආශිර්වාදයකි. අතීත සන්දේශ කාව්‍ය වූ තිසර, පරෙවි, කෝකිල සන්දේශවල නිල්වලා ගඟ ගැන ලියූ වර්ණනා ඇත්තේ ඉතිහාස උරුමය ද කියාපාමිනි. මතුපිටින් ඉතා නිසල බවක් පෙන්වන නිලවලා ගඟ අභ්‍යයන්තරයෙන් වේගයෙන් ගලා බසින්නේ එහි ගුප්ත බව මනා ලෙස පෙනවමිනි. ඒ පිළිබඳ දන්නෙ ගඟ ගැන අධ්‍යයනය කළ අය පමණි.

සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් ආරම්භවී කිලෝමිටර් 81ක දුරක් ගමන්කොට මාතර තොටමුණෙන් මුහුදට වැටෙන ගඟේ මතුපිට සුන්දර බවත් අභ්‍යන්තරයේ චණ්ඩ බවත් පරයා බිහිසුණු බව ප්‍රකට කර ඇත්තේ එහි සැරිසරනා මිනීමරු කිඹුලන් ය. ඈත අතීතයේ සිට මේ දක්වා කිඹුලන් ඩැහැගත් මිනිස් ජීවිත ප්‍රමාණය සියයකට අධිකය. එම බිහිසුනු බවේ අලුත්ම කිඹුල් බිල්ල ඉකුත් 01 දින වාර්තාවූයේ හක්මණ පාරේ තිහගොඩ මාගල්ලාගොඩ පොම්පාගාරය අසලිනි. එම හද සසල කරන සිදුවීම මෙසේ විය.

ඒ ඉකුත් ජූලි පළවෙනිදාය. වේලාව රාත්‍රී නවයයි තිහට පමණ විය. කොම්පඤ්ඤ වීදිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් කොස්තාපල්වරයකු වූ අතුල වඩනම්බි යාළුවන් දෙදෙනෙකු සමග මාගල්ලාගොඩ පාලම අසලට පැමිණියේ සතුටුසාමීචියේ යෙදෙන්නටය. අතුල සමග මෙලෙස එක්ව සිටියේ විල්සන් හා ගැමුණු යන මිතුරන් දෙදෙනාය. මධුවිත පානය කරමින් සල්ලාපයේ යෙදෙන අතර විල්සන්ගේ ජංගම දුරකතනය ගඟට වැටුණේ නොසිතූ ලෙසය. වහා ගැමුණු හා විල්සන් ගඟට බැස දුරකතනය සෙවූවත් එය නොලැඹුණ හෙයින් නැවත ගොඩට පැමිණියේ හිස් අතිනි.

අතුල විසින් විල්සන් ගෙදරට හැරදමා නිවසට ද ගොස් නැවත ගැමුණු සිටි තැනට පැමිණි පසු ගඟට වැටුණු ජංගම දුරකථනයේ එළිය විහිදෙමින් තිබී ඇත්තේ මාරයා තමා වෙත එනලෙස අතුලට ලබාදී ඇති සංඥාවක් මෙනි.

“පවු බං විල්සන් අයියගෙ ෆෝන් එක අපි අරන්දෙමුඑලෙස කියූ අතුල ගඟට බැස එහි තිබූ ජංගම දුරකථනය ගෙන ගැමුණු අතට දී ගොඩට එන්නට සූදානම්වද්දී දිය සෙවළ බැඳි කොන්ක්‍රීට් බැම්ම ලිස්සා අතුල යළි ගඟට ඇදී ගියේ මරුවාගේ තවත් උපක්‍රමයක ප්‍රතිඵලයක් ලෙන වන්නට ඇත. ඒ සමඟ ගැමුණු කෑගසා කීවේ “අතුල අයියෙ ඔතනින් එන්න එපා. ටිකක් එහායි ගල්ගෙඩිය ඇති එතැනින් එන්න” කියාය. ඒ අනුව අතුලට පීනා එන්නට හැකි වූයේ මඳ දුරක් පමණි. පීනාගෙන ආ අතුල එකවර හිටගන්තා සේ කෙලින් විය. ඒ සමඟ ගැමුණු විමසා ඇත්තේ “අතුල අයියෙ මොකද?” කියාය. ඒ සමඟ අතුල පවසා ඇත්තේ” මල්ලි මගේ කකුලෙන් කිඹුලා අදිනවා” යනුවෙනි.ඒ අතුලගේ අන්තිම වචනය විය. ක්ෂණයකින් අතුල දිය යටට අදී ගියේ ගැමුණු බලා සිටියදීය. ඒ වන විට වේලාව රාත්‍රී දහය පමණ විය. තමා සමඟ සතුට විඳි මිතුරා තම ඇස් ඉදිරිපිටදීම කිඹුලා රැගෙන ගිය බිහිසුණු අත්දැකීම කේ. පී. ගැමුණු මෙලෙස විස්තර කළේය.

“අතුල අයියයි මමයි විල්සන් අයියයි මෙතන කතා කරමින් සිටියදී විල්සන් අයියගෙ ෆෝන්එක පල්ලෙහාට වැටුණා. විල්සන් අයියයි මමයි ගිහින් බැලුවා. තිබුණේ නෑ. පස්සේ අතුල අයියා විල්සන් අයියා ගෙදර ගිහින්දාලා නැවත ආවා. උඩ ඉඳන් බලන් ඉන්නවිට පෝන් එකේ ලයිට් එක වැටිලා තිබුණා, “පව් බං විල්සන් අය්යගෙ ෆෝන් එක අරන්දෙමු” කියා ඇවිත් බැස්සා. පස්සෙ ෆෝන් එක අරන් දී අතුල අයියා උඩට එන්න ආවා. එකපාරටම ලිස්සලා වැටුණා. ඒ වැටුණු පාරට අඩි පහක් විතර දුරට ගියා. ඊට පස්සෙ මම කීවා ඔතනින් උඩට එන්න එපා එහා පැත්තෙන් ගොඩට එන්න; එතැන තියෙන ගල්ගෙඩිය අල්ලගෙන ගොඩට එන්න කියා. ඒ ගමන එයා චුට්ටක් දුර පීනාගෙන එන අතරෙ එක පාරටම කෙලින්වුණා. මම ඇහුවා අතුල අයියේ මොකද කියා. ගැමුණු මල්ලී කිඹුලා කකුලෙන් අදිනවා කීවා; එහෙමම යට ගියා. එතකොට දහයට විතර ඇති”

අතුල ගඟ දියේ නොපෙනී යාමත් සමග ගැමුණු අවට යාළුවන්ට, නිවැසියන්ට, පොම්පාගාරයේ සිටි අයට මෙන්ම පොලීසියට ද මේ සිදුවීම කඩිනමින් දන්වා අතුල සොයාගන්න උත්සාහ කළ ද ඉන් පලක් වූයේ නැත.‍

මෙලෙස ගඟ පතුලේ අතුරුදන්ව ඇත්තේ තිහගොඩ බණ්ඩත්තර වෙදගේ වත්ත පදිංචිව සිටි පනස්හතර හැවිරිදි අතුල වඩනම්බි නැමැති සිව් දරු පියෙකි. ඔහු කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති අතර අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම යාම සදහා අවශ්‍ය ලියකියවිලි ද බාර දී තිබු බව ද වාර්තා විය.

1986 වර්ෂයේ පොලීසියට බැඳී රට පුරා පොලීසි ගණනවකම සේවය කර ඇති අතුල වඩනම්බි තිස් අවුරුදු යුද සමයේ වවුන්නියා ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදී ත්‍රස්තවා ප්‍රහාරයකට ලක්වුව ද ඉන් ජීවිතය බොරගත් අයෙකි. 1995 මාර්තු මස 30 දින රේණුකා දමයන්ති සමඟ විවාහවී ඇති ඇති වඩනම්බි; හර්ෂණී වාසනා, චාමිනී ලක්ෂිකා, සඳුනි මල්ෂානි යන දියණියන් තිදෙනාගේ සහ දහය හැවිරිදි ලක්ෂිත පුතුගේ ආදරණීය පියාණන්ය. දරුවන් මෙන්ම බිරිඳ රේණුකා දමයන්ති ද අතුලගේ වෙන්ව යාමෙන් දරාගත නොහැකි වේදනාවකින් පසුවෙති.

“මහත්තයා අන්තිමට වැඩකළේ කොම්පඤ්ඤවීදිය පොලීසියේ. නිවාඩු ඇවිත් මාස පහක්විතර ගෙදර හිටියා. ඒ අතරෙ ලෙඩ වෙලා ආඳපාන ඉස්පිරිතාලෙ සතියක් දෙකක් විතර හිටියා. පසුගිය දවස්වල තව ඔපරේෂන් එකක් තිබිලා නැවැත්තුවා. කැස්සක් ඇවිල්ල තමයි ඔපරේෂන් එක නැවැත්තුවේ. නැවත කරන්න මේ මාසෙට තමයි දින අරන් තිබුණේ” අතුලගේ බිරිඳ රේණුකා දමයන්ති හැඬුකඳුළින් පැවසූවා ය.

සිදුවීම සැලවීමත් සමග ප්‍රදේශවාසීන් දෙවැනිදා අලුයම් කාලයේ සිට සිදුවීම වු ස්ථානයට වැල නොකැඩී පැමිණ සිටියේ තම ඥාතියාගේ, හිතවතාගේ මෙන්ම මිතුරාගේ සිරුර හෝ දැකගැනීමේ අටියෙනි. ප්‍රදේශවාසී දිරිය තරුණයින් ගඟට බැස අතුල අයියාගේ සිරුර සොය ගං පතුල සිසාරා සොයා බැලූව ද මහන්සිය මිස අන් ප්‍රතිඵලයක් ඇතිවූයේ නැත. පසුව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්, තිහගොඩ හා මාතර පොලීසි වල නිලධාරීන් පැමිණ නාවික හමුදාවේද සහාය ලබාගෙන අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගැනීම සදහා සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර ඔහුගේ සිරුර ඔහු ගඟට වැටුණු තැන සිට කි.මී 1ක් පමණ දුරින් තිබූ කෙටෙල ගාලක පැටලී තිබී ජූලි 03 සිකුරාදා උදෑසන තිහගොඩ පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

පොලිස් කොස්තාපල් අතුල වඩනම්බි වසර තිස් හතරක්පුරා උපයා සපයාගත් මුදලින් මහත් පරිශ්‍රමයක් යොදා ගොඩනැගූ නව නිවසට ගෙවැදීම සඳහා ලබන අටවැනිදාට නැකැත් යොදාගෙන තිබී ඇත්තේ මහත් බලාපොරොත්තු ද සමඟය. බිරිඳ හා දරුවන් තුළ ඇතිව තිබූ නව නිවසට ගෙවැදීමේ හීන බලාපොරොත්තු ද අතුලගේ හදිසි වියෝවත් සමග බිඳීගොස් ඇත්තේ දුක තවත් තීව්‍රකරමිනි.

මාතර කොට්ඨාසය භාර වැඩබලන පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත තිහගොඩ පොලීසියේ ස්ථානාධිපති යූ.එම්.අමරසිරි හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති චින්තක දහනායක ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

 

Comments