නිමාවක් නැති අලි මිනිස් ගැටුම | සිළුමිණ

නිමාවක් නැති අලි මිනිස් ගැටුම

වනාන්තර වල වාසය කළ යුතු වන අලීන් ගම්වැදි සිදු කෙරෙන අලාභ හානි මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇත. විටින් විට වන අලින් ගම් වැදි බවභෝග විනාශ කරමින් මිනිස් ජිවිත බිලි ගනිමින් සිදු කෙරෙන හානි වාර්තා වුව ද එම වන අලින් යළි ගම්වලටම යන ස්ථිරසාර ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වග කිව යුතු අංශ මේ දක්වා නිසි වැඩ පිලිවෙලක් සකසා ඇතියි මේ දක්වා වාර්තා වී නැත.

පුත්තලම දිසාවේ ගම්මාන ගණනාවකට ද මෙලෙස වන අලි ගම්වැදි සිදු කෙරෙන විනාශයන් දැන් දිගින් දිගටම වාර්තා වෙමින් පවති. ඒ අතරින් මහ කුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ජනතාව ගත වු වසර පහකට වැඩි කාලයක පටන් වන අලි ගම්වැදී සිදු කෙරෙන වගා හානි මෙන්ම මිනිස් ජිවිත බිලි ගත් බවත් විටින් විට වාර්තාවී ඇත. මෙම ගැටලුව විසදා දෙන මෙන් එම ගැටලුවට මුහුණ දී සිටින ජනතාව පාලකයන්ගෙන් මෙන්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇතත් ඊට නිසි විසඳුම් නම් තමන්ට ලබා දුන් බව කිසි ආකාරයකින් පැවැසිය නොහැකි බව ද ඒ ප්‍රදේශවාසි ජනතාව පෙන්වා දෙති.

මේ වන විට මෙම වන අලි ගම්වදින ගම්මාන ලෙසින් හඳුනාගෙන ඇත්තේ වල්පාළුව කට්ටා කඩුව මහකුඹුක්කඩවල පුනවිටිය මොහොරිය මයිලවැව කවයන්කුලම කාකුපඩියාව යන ගම්මානයි. එම ප්‍රදේශය තුළ සිදු කළ සංචාරයක දි ගම්වැදුන වන අලි විසින් ගම්වාසීනට කර ඇති හානි කවරේදැයි නිරික්ෂණය කළ හැකි විය. මේ දිනවල මෙම ප්‍රදේශය පුරා වන අලි පරදවමින් සැරිසරන මැතිවරණ අපේක්ෂකයන් සිය මනාප ගොඩ විශාල කර ගැනීමට වෙහෙසෙන බව දැක ගත හැකිවූ නමුත් ඒ කිසිවකු හෝ තමන් මුහුණ දී සිටින මෙම අලි තර්ජන ගැන නොවිමසීම කණගාටුදායක බවත් ගම්වාසීහු පෙන්වා දුන්හ.

ආඩිගම තැපැල් ස්ථානාධිපති එල්. සුමංගල ලියනගේ මෙම වල් අලි තර්ජනයන් සම්බන්ධයෙන් මෙසේ කීය.‘මම ආඩිගම පදිංචිව සිටියත් මගේ කුඹුරු තියෙන්නේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මේ දිනවල යායේ මුළු ගොයම කිරි වැදි ගෙන එන්නේ. මේ යායට රාත්‍රි කාලයේ දි කඩා පාත් වන වල් අලි රංචු මෙම කිරි වදිමින් පවතින ගොයම විනාශ කරනවා. උදේට කුඹුරට ගිහින් බැලු විට කියන්න බැරි දුකක් ඇති වන්නේ. වල් අලි කුඹුරුවලට ඇවිත් යකා නටලා පාගලා ගොයම උලා කාලා විනාශ කරලා. මෙයින් බේරීම පිණිස අපි දැන් සෑම කුඹුරු යායකටම වයර් ඇදලා රැය පහන් වන තුරු විදුලි බුබුළු දල්වලා තියෙනවා. ඒ එළිය ඇති නිසා අලි නොඑතැයි ඇති සැකයෙන්. එහෙත් වන අලි දැන් එළියට පුරුදු වෙලා. කට කීවත් පලක් වී නැහැ. හිටපු මන්ත්‍රි වරයකුගෙන් ඉල්ලා සිටියා; මෙම ගැටලුව විසදා දෙන්න කියලා. එයා කියනවා මගේ මන්ත්‍රීකම දැන් නැහැනේ; මාව යළිත් පත් කරන්න දිනු පසු විසඳුමක් ලබා දෙන්නම් කියලා. මේ තමයි එයාලගේ තත්ත්වය. පසුගිය කාලයේ දි මහකුමුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල් අලින් ගෙන් එල්ල වන තර්ජන අවම කරන්න වනජිවි කාර්යාලයක් ආරම්භ කළා. අලි ගම්වැදුණ විට එම කාර්යාලයට දැන්වූ විට ඒ නිලධාරින්ට ගම්වලට එන්න වාහන පහසුකම් සපයා නැහැ. ඉතින් එයාලා කොහොමද විසදුම් දෙන්නේ‘

කට්ටකඩුවේ පදිංචි බී.එම්.හේරත් බණ්ඩා වන අලි ගැටලුව පිළිබඳව මෙසේ කීය.‘මගේ ශරීරය හොඳටම දුර්වලයි මහත්තයෝ. ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්. මට දියවැඩියාව. රාත්‍රි කාලයේ දි වැඩි පුර මුත්‍රා කරන්න වෙනවා. ඒ නිසා නිතර නිතර නිවසින් පිටතට යන්න වෙනවා. එහෙත් රාත්‍රී කාලයේ දි ගම් වදින වන අලි නිසා දැන් නිවසින් පිටතට යන්න බයයි. වන අලි ගෙවල් වටේ රාත්‍රී කාලයේ දි කැරකෙනවා. මේ බලන්න මගේ වත්තේ සිටුවා තියෙන අඹ ගස් වලට අලි කරල ඇති දේ . වන අලි මොන හානියක් කළත් අපි රෑට ගෙයින් එළියට නම් යන්නේ නැහැ. අපි ජිවිත වලට ආදරෙයිනේ‘

පාඩියාගම පදිංචි ඒ.එච්.එම්.දයාරත්න වන අලි ගැන මෙසේ සදහන් කළේය .‘මේ දිනවල වන අලි කුඹුරු රැක ගන්න අපි රාත්‍රි කාලයේ දි කුඹුරුවල පැල් හදා ගෙන පැල් රකිනවා. අලි ආවාම අපි පැළ තුළ ඉද ගෙන හු කියනවා රතිඤ්ඤා දානවා. දැන් අලි මේවට බය නැහැ. අපි රැය පහන් වනතුරු නොනිදා පැල් රකිනවා. දවල්ට කුඹුරවල ගොයමට සාත්තු කරනවා. අපි රෑට පැල් වල ඉන්නෙත් බයෙන්. මොකද අපි ගෙවල් වලින් බැහැරව ඉන්නා විට අලි ගම් වැදි අපේ ගෙවල් වලට හානි කළ හැකියිනේ. ඇයි ආණ්ඩුවට මේ වන අලි ප්‍රශ්නය විසදන්න වැඩක් කරන්න බැරි. කුඹුරු ආලෝකවත් කරන නිසා විදුලි බිලත් වැඩිවි ඇත. අලි වෙඩි ටිකක් හරි අපට ලබා දෙනවා නම් වැදගත්‘

ආඩිගම පදිංචි කේ.එච්.එම්.ජයතිස්ස මෙම වන අලි ගැටලුව සම්බන්ධයෙන් සිය අත්දැකීම මෙසේ හෙළි කළේය.වන අලි කුඹුරුවලට ඇවිත් කරන හානි ගැන අපි වගකිව යුතු අංශ වෙත ගිහින් පැමිණිළි කළාට පලක් නැහැ. ඒ මහත්තයලා එන්නේ දවස් මත අටකට පසුවයි. ඒ එන අවස්ථාවේ දි වගා හානිය නිසි ලෙසින් දකින්න බැහැ.ඒ නිසා ඒ මහත්තුරු කියනවා ඔයාලා කියන තරම් හැනියක් නැහැනේ කියලා.එතැනදීත් අපයි වැරදිකරුවන් වන්නේ. අපි කිවා අපට නොදුන්නට කමක් නැහැ අපිට හිමි වගා හානි මුදල කොරෝනා අරමුදලට දෙන්න කියලා. හිතක් පපුවක් නැති මහත්වරුන්. අපියි දන්නේ මේ දුක මහත්තුරු දන්නේ නැහැ ඒවා‘

පාඩියාමඩුව ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්. එම්.ජයරත්න තම ගම් පියසේ වල් අලින් ගම් වැදි සිදු කරන හානි සම්බන්ධයෙන් මෙසේ කීය .‘මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වන අලි ප්‍රශ්නයට මැදිවී සිටින්නේ අද ඊයේ සිට නොවේ. ගතවු වසර පහක පමණ කාලයක් පටන් මේ ප්‍රශ්නයට අප මුහුණ දෙනවා. වගාවක් කර ගන්න අමාරුයි. ගම් වදින අලි අප වගාකර ඇති බවභෝග විනාශ කරනවා. ඒ විතරක් නොවෙයි මේ වන විට නිවාස ගණනාවක් වන අලි කඩා බිද දමලා. ජීවිත දහයකට වැඩිය අලි බිලි අරන්. අඩු ගණනේ අලි වැටක් හරි දාලා ගම ආරක්ෂා කරනවා නම් අලි විපත් වලින් අපට හානි අවම කර ගන්න පුළුවන්.මේ ප්‍රශ්නයට පැලැස්තර අලවලා බැහැ. ස්ථිර විසදුමක් ලබා දිය යුතුයි.

වන ජිවි දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එරංග ගමගේගෙන් මෙම වල් අලි ප්‍රශ්නය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඔහු මෙසේ කීවේය. වන අලි ගම්වැදී සිදු කරන හානි මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇත. මෙම ගැටලුව අවසන් කරන්න ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. විශේෂයෙන්ම වන අලි ජීවත් වු ප්‍රදේශ එළි පෙහෙළි කර දැන් ජනාවාස ඉදි කරනවා. එවිට අලින්ව පලවා හරිනවා. අලි ප්‍රිය කරන ආහාර ඇති ප්‍රදේශ අත්හැර යන්න අලි කැමැති නැහැ.

ඒ නිසා එම සතුන් තමන්ට හුරු පරුදු ප්‍රදේශ වලට නිරන්තරයෙන්ම ඇදී එනවා. වාර්මාර්ග වන සංරක්ෂණ ගොවිජන සේවා පුත්තලම වාරි ගම්පුබුදුව ව්‍යාපාරය එකතුව මෙම වල් අලි සම්බන්ධයෙන් නිශ්චිත වැඩ පිළිවෙලක් සකස් කිරිමේ වැඩ සටහනකට අපේ අවධානය යොමුවී ඇත. පසුගිය කාලයේ අපි අලින් විවිධ රක්ෂිත වලට පලවා හැරියා. එවිට ඒ ආසන්නයේ ජනතාව ඊට විරෝධය පළ කළා. අලි සඳහා ස්ථානයක් හදලා එහි අලි කොටු කර තැබිය යුතුයි. එම ස්ථානයෙහි අලින්ට සුදුසු ආහාර වර්ග වගා කර තිබිය යුතුයි. මෙම ප්‍රශ්නයට අපි කඩිනමින් අවශ්‍ය විසදුම් ලබා නොදුනහොත් ජනතාව අතර අප අපකීර්තියට ලක් වනවා‘.

 

Comments