දුරකතන සෙල්ලම ලෙල්ලමක් වී ජීවිතයක් අහිමි වෙයි | සිළුමිණ

දුරකතන සෙල්ලම ලෙල්ලමක් වී ජීවිතයක් අහිමි වෙයි

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි යන කියමනක් තිබේ. එය සිහි වුයේ අපේ ඇත්තන්ගෙ ඇතැම් ක්‍රියා කලාප දකින විටය. අද ලෝකය ගමන් ගන්නේ තාක්ෂණයත් සමඟය. කොරෝනා නිසා සියල්ල ඇණහිටි කාලයේ ජංගම දුරකථනය අපට නැතිව බැරි මෙවලමක් විය. එය එසේ වුවද රැයක් දවාලක් කාලයක් වෙලාවක් නැතිව දුරකථනයේ රැඳී සිටිමින් ගේම් ගසමින් කාලය කා දමන්නෝද; බොහෝ වැඩ අතපසු කරගන්නෝ ද වෙති. ඇතැමුන්ට ජංගමය සමඟ රැදෙන විට කෑමක් බීමක් ගැන පමණක් නොව ලෙඩ දුක් ගැනද දැනෙන්නේ නැත. මේ කියන්නට යන සිදුවීමේ ඇත්ත නැත්ත කියන්නට දන්නේ ඔවුන් ම පමණි. පැය ගණක් දුරකථනය සමඟ සිටි, අවසානයේ මොළයේ නහරයක් පුපුරා යෑම නිසා මිය ගිය අයෙකුගේ මරණයක් පිළිබඳ පසුගියදා දැන ගන්නට ලැබිණි.

මේ පුවත සෙවීමට කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ ක්‍රිස්ටි පෙරේරා මාවතට ගියෙමු. වෙනදාට ජනාකීර්ණ ඒ පෙදෙස දැන් පාළුය. මඟතොටක් ගැන හෝ කෙනෙකු ගැන ඇසීමටවත් කෙනෙක් කෙනෙකුට ළං නොවන තරම්ය. අවසානයේ ත්‍රීරෝද රථ ගාලක සිටි තරුණයකුගෙන් අප තොරතුරු විමසීමු. “සතියකට විතර කලින් ඔය ඉස්සරහා තියෙන ප්ලැට් එකේ අවුරුදු තිස් ගණනක කෙනෙක් මැරුණා.“ අප ඉදිරියෙන් පෙනෙන මහල් නිවාස සංකිර්ණයට ගියෙමු. ඒ දෙසට එමින් සිටි කාන්තාවකගෙන් යළිත් විමසීමු. අන්න අර ගෙදර. ඇය අපට පෙන්නුවේ මහල් නිවාස සංකීර්ණයක හතරවැනි තට්ටුවයි. අපි එහි ගියෙමු. මියගිය තරුණයාගේ මව, පියා, බිරිඳ, සිඟිති දියණිය ඇතුළු තවත් කිහිප දෙනෙකුම එහි විය. එයා එදා ගෙදර ආවා. අපි එළියේ ටිකක් ඇවිද්දා. සුරේන් අපට හරිම ආදරෙයි. එයා මත්පැන් දුම්වැටි පාවිච්චි කරන්නේ නෑ. එයා ෆෝන් එක බල බලා හිටියා. ඉන් පස්සේ කෑම කෑවා; දරුවා නිදි කෙරුවා. “ සිය සැමියා අවසන් හෝරා කිහිපය ගෙවාදැමු ආකාරය ගැන දර්ශිකා කියන්නට වූයේ හැඬු කඳුළෙනි. ඇගේ සොයුරිය විසින් ඇය අස්වසන්නට වූවාය. එහෙත් ඇගේ කඳුළු වල නිමාවක් නැත. සිඟිති දියණිය හඬන අම්මා දෙස බලා සිටියේ කඳුළු පුරවා ගත් දෑසිනි.

සිය ජංගම දුරකතනයේ ක්‍රීඩාවේ යෙදී සිටියදී මොළයේ නහරයක් පිපීරුමෙන් මිය ගියේ යැයි කියන තිස් තුන් හැවිරිදි ජයරාමන් සුරේන්ද්‍රන් නැමැති අයකුගේ මරණය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක ඉරේෂා දේශානි ඉදිරියේ සාක්ෂි දෙමින් මිය ගිය තැනැත්තාගේ බිරිඳ පවසා ඇත්තේ ඔහු රාත්‍රි නවයේ සිට දුරකථනයේ රැඳී සිටිය බවය. ඈ දුන් සාක්ෂියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. “මා දන්නා පමණින් ඔහුට ගැස්ට්‍රයිටිස් රෝගය හැර වෙනත් රෝගයක් තිබුණේ නැහැ. රාත්‍රි නවයට පමණ ඔහු ජංගම දුරකථනයෙන් ගේම් එකක් සෙල්ලම් කරමින් සිටින අයුරු මම දුටුවා. මම ඔහුට කිව්වා ඕක නතර කරලා නිදාගන්න එන්න කියලා. ඒත් ඔහු ආවේ නැහැ. ෆෝන් එකෙන් ගේම් ක්‍රීඩාව කරන ගමන්ම ඔහු කීවා මටත් දරුවටත් කාමරයට ගිහින් නිදාගන්න කියලා. මම දරුවා සමඟ නිදා ගැනීමට ගියා. පාන්දර දෙකට පමණ මට නාන කාමරය පැත්තෙන් ශබ්දයක් ඇසුණු නිසා මම නාන කාමරයට ගොස් දොර ඇර බැලුවා. එවිට මගේ ස්වාමි පුරුෂයා නාන කාමරයේ මූනින් අතට වැටී සිටිනවා දුටුවා. ඒ මොහොතේම මම 1990 ගිලන් රථ සේවයට කතා කර ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පැවසුවා“ මරණය සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය මලින්ද සිල්වා පවසන්නේ මොළයේ නහරයක් පිපිරීම නිසා මේ මරණය සිදු වී ඇති බවය.

අවසානයේ සුරේන්ද්‍රන්ගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණ වාර්තාව ලබා දෙමින් හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි කියා සිටියේ මියගිය අය එදින රාත්‍රි 9 සිට අලුයම දෙක දක්වා එක දිගට පැය පහක පමණ කාලයක් ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීම නිසා රුධිර පීඩනය අධික ලෙස ඉහළ යාමෙන් මොළයේ නහරයක් පිපිරී මෙම මරණය සිදුවී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇති බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුරේන්ද්‍රන්ගේ පවුලේ අයගෙන් විමසීමේදි ඔවුන් පවසන්නේ සිද්ධිය වූ දා සුරේන්ද්‍රන් එක දිගට ජංගම දුරකථනය පාවිච්චි නොකළ බවය.

Comments