ගිනි අවි සහ ගිනිකෙළිකාරයන්ට මෙදා පොටේ වැඩ වරදී | සිළුමිණ

ගිනි අවි සහ ගිනිකෙළිකාරයන්ට මෙදා පොටේ වැඩ වරදී

අත්අඩංගුවට පත් මුදල් ප්‍රමාණයක් සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති සහ  වැටලීමට එක්වූ නිලධාරිහු
අත්අඩංගුවට පත් මුදල් ප්‍රමාණයක් සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති සහ වැටලීමට එක්වූ නිලධාරිහු

සුගිය අට වැනිදා මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු රැස්වීමක් පැවැත්විණි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේද සහභාගිත්වයෙන් පැවැති එම රැස්වීමේදී බොහෝ දෙනෙකුගෙන් එල්ල වූ චෝදනාවක් වූයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දෙතුන් දෙනෙක් සිදුකරන ජාවාරම් පිළිබඳවයි. එම නිසා ඇමැතිවරයාද මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ්ට පැවැසුවේ කෙසේ හෝ මිනුවන්ගොඩින් මත්කුඩු අතුගා දමන ලෙසටයි.

 

ස්ථානාධිපතිවරයා විසින් මේ පිළිබඳව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුවත් කෙරිණි. ඒ අනුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය මත ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරගේද මෙහෙයවීමෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරිහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට සූක්ෂ්ම මෙහෙයුමක් දියත් කළහ.

එම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමටම 1973 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවේ ආරම්භ වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඉතිහාසයේ සිදුවූ විශාලම අවමානය ගෙන ආ නිලධාරින් කිහිප දෙනෙක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වන මෙහෙයුමක් වේ යැයි කිසිවකුත් නොසිතන්නට ඇත. එහෙත් මේ වන විට බොහෝ දේ හෙළි වෙමින් තිබේ.

මිනුවන්ගොඩ පොලිසියේ තිබෙන අත්අඩංගුවට පත් වාහනවලින් කිහිපයක්

ඒ අනුව එම මෙහෙයුම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් හා බැඳුණු 17 දෙනෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. ඒ අතර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 5ක් සමඟ අත්අඩංගුවට පත් 47 හැවිරිදි චමින්ද දයා ප්‍රියංක මල්ලවාරච්චි හෙවත් ටයිල් චමින්ද පිළිබඳව පොලිස් නිලධාරින්ගේ දැඩි අවධානයක් යොමු විණි. මන්ද ඔහු කොන්ත්‍රාත්කරුවකු ලෙස පෙනී සිටියත් මහා පරිමාණයෙන් මුදල් උපයන ආකාරය පිළිබඳව ජනතාවගෙන්ද බොහෝ තොරතුරු ඒ වන විටත් පොලිසියට හෙළි වෙමින් තිබූ නිසාවෙනි.

අත්අඩංගුවට පත්වූ සැණින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ටයිල් චමින්දගේ ජංගම දුරකථනය පරීක්ෂාවේදී ඊෂි කෑෂ් මඟින් ලැබි තිබූ රුපියල් 7500, 15000, 22500 ආදී මුදල් පිළිබඳව දැඩි අවධානයක් යොමු විණි. ඒ එම ගණන් හිලව් මත්කුඩු මිල ගණන් හා සැසඳීමේදි යම් සබඳතාවක් තිබූ හෙයිනි.

අනතුරුව මිනුවන්ගොඩ යටියන පිහිටි ඔහුගේ නිවෙස පරීක්ෂාවේදී හමුවූ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය බැංකු කීපයක ගිණුම්හි පොත් පරීක්ෂාවේදී මසකට රුපියල් ලක්ෂ 370, 420 ආදි විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති බවක් පෙනිණි. රට වටේම ස්ථානවලින් වසර දෙකහමාරක පමණ කලෙක සිට එලෙස ගනුදෙනු සිදුවී තිබූ බව තව තවත් විමර්ශනවලදී හෙළි විණි. ඒ අතර ටයිල් චමින්දගේ මෝටර් රථයේ සඟවා තිබී ජීව උණ්ඩ හතරක්ද නිවෙසේ සඟවා තිබියදී ගිනි අවි දෙකක්ද සොයා ගැනිණි. තවද ඔහුගේ අනියම් සබඳතාවක් ගැනද හෙළි විණි. ඒ දුරකථන වෙළෙඳසලක කාන්තාවක් පිළිබඳවයි. එසේම ටයිල් චමින්ද වෙනුවෙන් දිනකට නීතිඥයන්ද හතර පස්දෙනෙක් මිනුවන්ගොඩ පොලිසියටද ආව ගියේ ඔහු පිළිබඳව තව තවත් පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු කරමිනි.

ටයිල් චමින්ද පිළිබඳව පුළුල් විමර්ශනයක් සඳහා මුලින් අධිකරණයෙන් දින හතක රැඳවුම් නියෝගයක් ගැනීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාගෙන් දින 90ක රැඳවුම් නියෝගයක්ද ලබාගත් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පිළිබඳ විමර්ශන සඳහා උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) සහායද පැතීය.

ඒ අනුව එම විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසියට නාකොටික්හි මෑත කාලයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම් රැසක්ම අනාවරණය කරගත් එම කාර්යාංශයේ උසස් පොලිස් නිලධාරින්ගේ විශ්වාසය දිනාගත් නිලධාරියෙක් වූ උපපොලිස් පරීක්ෂක උදාර චතුරංග පැමිණියේය. විශේෂත්වය ඔහුද මිනුවන්ගොඩම පදිංචිකරුවෙකි. එදින උපපොලිස් පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනවලදී විශාල ලෙස බැංකු ගිණුම්හි මුදල්ද හුවමාරු වී තිබූ ටයිල් චමින්ද එතරම් වැදගත් මත් ජාවාරම්කාරයෙක් නොවන බවට ඒත්තු ගන්වමින් එම විමර්ශන වෙනත් දිශාවන්ට හැරවීමට උත්සාහ ගෙන තිබිණි. ඒ අතරේ ටයිල් චමින්දගේ බිරිය, දරුවන් සහ සමීපතමයන්ද අතුරුදන්ව සිටියේය.

ඒ අතරේ මෙකී පුළුල් විමර්ශනය සඳහා මිනුවන්ගොඩ පොලිසියේ සහායට නැවතත් නාකොටික්හි වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාරගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක්ද එක්වූහ. චමින්දගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී තමා සමඟ මෙකී ජාවාරම්හි නිරත වූ ගෝලයන් දෙදෙනක් ගැන හෙළි විණි. ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපෝච්චාරණය කළේ චමින්දගේ තවත් යහළුවෙක් වන මිනුවන්ගොඩ යටියන පදිංචි එරික්ගේ නිවෙසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් චමින්ද අත්අඩංගුවට පත් දිනම කළු පැහැති වෑන් රථයකින් පැමිණ පිරිසක් රැගෙන ගිය බවයි. පසුව එරික්ද අත්අඩංගුවට ගැනිණි. ඒත් සමඟ මුලින් ටයිල් චමින්දගේ විමර්ශනයට එක්වූ නාකොටික් උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් සිදුකළ මත් ජාවාරම්හි සුල-මුල එකින් එක අනාවරණයේ වූයේ එරික් විසින් හෙළි කළ බොහෝ කරුණු කාරණාත් සමඟිනි.

අනතුරුව පසුගිය 27 වැනිදා නාකොටික් බාරයේ රඳවා සිටි උප පොලිස් පරීක්ෂක උදාර, සැරයන්වරුන් වන ධනුෂ්ක, වීරසිංහ සහ කොස්තාපල් රත්නායක යන සිවුදෙනා පිළිබඳ විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි. එහි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ විමර්ශනයේදී නාකොටික් නිලධාරින් සිවුදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිණි. ඒත් සමඟ සාජන් වීරසිංහගේ ඥාති සහෝදරයෙක් වන කරන්දෙණියේ පදිංචි අයෙක්ද අත්අඩංගුවට ගත්තෙ වාහන දෙකක්ද සමඟිනි. මේ වන විට මිනුවන්ගොඩ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ටයිල් චමින්දගේ සහ නාකොටික් උපපොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ, වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙසේ තිබී නවලක්ෂ හතළිස්දහසක මුදලක් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත්, සැටලයිට් දුරකථන, පිහියක්ද සොයා ගැනිණි. ඊට අමතරව නවීන පන්නයට වෙනස් කළ ජීප් රථයක්, කාර් රථයක් ලොරියක් ඇතුළු වාහන අටක්ද පොලිස් බාරයට ගැනිණි.

තවද අත්අඩංගුට පත් මහව දළදාගම පදිංචි පොලිස් සැරයන්වරයාගේ නිවෙසේ පිටුපස වළ දමා තිබියදී රුපියල් තුන්කෝටි එකොළොස් ලක්ෂ හතළිස්හත්දහසක මුදලක්ද සොයා ගැනීමට සීඅයිඩි නිලධාරිහු සමත් වූහ. එසේම මෙකී පිරිස විසින් මිලදී ගෙන තිබූ අක්කර දහයක පමණ ඉඩම් ප්‍රමාණයක් ගැනද අනාවරණය විණි.

මෑත කාලයේ නාකොටික්හි අත්අඩංගුවට පත් මහා පරිමාණ හෙරොයින් තොග වන 2018 දෙසැම්බර් 05 වැනිදා බේරුවල මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් කිලෝග්‍රෑම් 231, සහ එම මාසයේම 31 වැනිදා දෙහිවලදී අත්අඩංගුවට පත් කිලෝග්‍රෑම් 278, 2019

පිටිපනදී අත්අඩංගුවට පත් ගිනිඅවි තොගය

ජනවාරි මාසයේ ඇමෙරිකන් ජාතිකයන් සමඟ කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් කිලෝග්‍රෑම් 100 සහ කොරෝනා වසංගතයට පෙර අල කන්ටේනරයක අල ගෙඩි සේ ව්‍යාජ ලෙස නිර්මාණය කොට එවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 99ක තොගයද අත්අඩංගුවට ගත්තෙ උපපොලිස් පරීක්ෂකවරයා ප්‍රමුඛ මෙකී කණ්ඩායම විසිනි. එම නිසා මේ කණ්ඩායම පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශ ඉහළ නිලධාරින් දැඩි විශ්වාසයකින් පසුවී සිටි බවකි. එහෙත් එම විශ්වාසයෙන් මෙකී පිරිස අයුතු ප්‍රයෝජන ගෙන සිදුකළ ජාවාරම් නිසාවෙන් මේ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සෙසු නිලධාරීන්ද දැඩි අපහසුතාවකට පත්ව සිටින බවට වාර්තා වේ. මේ වන විට නාකොටික්හි නඩු භාණ්ඩ ගබඩාවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සීල් තබා ඇත. අත්අඩංගුවට පත් සාජන්වරුන් දෙදෙනාගෙන් අයෙක් එම ගබඩාව බාරව සිටි අයෙකි. කොරෝනා වසංගතය නිසා රටම අකර්මණ්‍යව තිබියදී නාකොටික්හි සෙසු කණ්ඩායම් නිවෙස්වලටම කොටු සිටියත් මෙකී කණ්ඩායම රාජකාරියේ නිරත වී තිබුණේය. එහිදී මොවුන් විසින් මැයි 15 වැනිදා වැලිසර, නුගේවත්ත ප්‍රදේශයේදී සහල් උරවල බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 225ක ප්‍රමාණයක් පුද්ගලයන් සිවුදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව මාධ්‍යයටද හෙළි කළේය.

එහෙත් මේ වන විට අනාවරණය වන්නෙ එම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේ සිට පැමිණි බෝට්ටුවකින් මහ මුහුද මැදට ගොස් ගොඩබිමට ගෙන්වා ඇත්තේද මෙකී නිලධාරීන් බවයි. අනතුරුව ඔවුහු එම මත්කුඩු බළපිටිය ප්‍රදේශයේ හෝටලයකදී සහල් උරවලට පැකට් කර බෙදාහැරීමට සූදානම් කර ඇති බවකි. කෙසේ හෝ මේ වන විට කරළියට පැමිණ සිටින මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක් යැයි පැවසෙන ගිහාන් ෆොන්සේකා නමැත්තාට එම හෙරොයින් තොගයෙන් කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් විකුණා ඔහු කී ස්ථානවලට ප්‍රවාහනය කරමින් බෙදාහැර ඇත්තෙද මෙකී නිලධාරින් විසින්ම බවටත් හෙළි වේ. ඒ අනුව ගිහාන්ගේ සමීපතමයෙක් වන මත්ද්‍රව්‍ය විකිණුම්කරුවෙක් වන ටයිල් චමින්දටද ගිහාන්ගේ කීම අනුව මේ නිලධාරින් මත්කුඩු ගෙනැවිත් දී ඇත. ඒ අත්අඩංගුවට ගැනුණු ටයිල් චමින්දගේ යහළුවාගේ නිවෙසටයි.

එලෙස ඔවුහු මත්ද්‍රව්‍ය රටපුරා බෙදාහැරීමට යොදාගෙන ඇත්තෙද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ගේ වැටලීම් සඳහා කුලී පදනම මත සාජන් වීරසිංහගේ ඥාති සහෝදරයා විසින් යොදවා තිබූ සුඛෝපභෝගි වෑන් රථයයි. එම රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තෙ එම ඥාති සහෝදරයායි.

අත්අඩංගුවේ පසුවන අයගෙන් හෙළි වූ ඔවුන්ගේ කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයෙක්ද මෙකී ජාවාරමට සම්බන්ධ වී ඇති බවකි. එම නිලධාරියා මීට දින කීපයකට පෙර නිවාඩු මත මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක නිරතව සිටි. ඒ අතරේ අත්අඩංගුවට පත් සිවුදෙනාගේ පාපොච්චාරණ අනුව තවත් නාකොටික් නිලධාරිහු 12 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුහු නාකොටික්හි නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය පන්නා ජාවාරම්කරුවන්ට විකුණා ඇති බවට සැක කෙරේ.

මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට චෝදනා එල්ල වෙද්දී එහි උසස් නිලධාරින්ට ස්ථානමාරු ලබාදීමට කටයුතු කෙරිණි. ඒ අනුව එහි ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති කේ. අපේන්සු මහතාත් අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය දී තිබිණි.

මේ අතර මත් ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය මැඬලීමට සිටින ජාවාරම්කරුවන්ද නීතියේ රැහැනට කොටු වෙද්දී දකුණේ අපරාධ ක්‍රියා අතුගා දැමීමේ අටියෙන් පොලිස් විශේෂ කාර්ය බළකායද සූක්ෂ්ම මෙහෙයුම් රැසක් රටපුරා සිදුකරමින් සිටී. එවැනි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙරට පාතාල අපරාධකාරයන් සන්තකයේ තිබී එක් ස්ථානයකදී මෙතෙක් සොයාගත් විශාලතම ගිනිඅවි තොගය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි විණි. ඒ, ටී 56 ගිනිඅවි 11ක් සහ ටී 81 ගිනිඅවියකි.

පසුගිය 29 වැනිදා හෝමාගම මොරගහහේන පාරේ පිටිපන පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක පහත මාලයේ තිබූ එම ගිනිඅවි තොගය සොයා ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්ය.

එම වැටලීමට පාදක වූයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරියකුට ලැබුණු තොරතුරකි. එම තොරතුර පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා දැනුවත් කෙරිණි. අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු මෙහෙයවීම මත සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ උපදෙස් මත සිදු කළ විමර්ශනයේදී 45 හැවිරිදි මඩපාතගේ කපිල කුමාර හෙවත් පොට්ට කපිල නමැත්තා අත්අඩංගුවට ගැනිණි. ඒ, මීගොඩ, ඉංගම්මාරුව ප්‍රදේශයේදීයි.

පිටිපන අයෙක් වන පොට්ට කපිලගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙකී ගිනිඅවි තොගය සඟවා තිබූ ස්ථානය පිළිබඳ හෙළි විණි. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පනාගොඩ යුද හමුදා කඳවුරට ආසන්නයේ පිහිටි විදුලි උපකරණ ඇතුළු මහා පරිමාණයෙන් සීට්ටු බඩු සපයන එම වෙළෙඳසලේ බිම් මහලේ තිබී ගිනිඅවි තොගය සොයා ගැනිණි. එම ගිනිඅවි පිළිබඳව යම් අනාවරණයක් කරගැනීමට නොහැකි වන ලෙස එහි අංකද මකා දමා තිබිණි. පොට්ට කපිලගෙන් වැඩිදුරටත් අනාවරණය වූයේ එම ගිනිඅවි දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ගගන නමැත්තාගේ මෙහෙයවීම මත එම ස්ථානයට ගෙනැවිත් සඟවා තැබූ බවයි. ඒ, මීට මාසයකට පමණ පෙරදීය. එම ගිනිඅවි තොගය එම ස්ථානයට ගෙන ආවේ ද ඔහු බව හෙළි විණි.

ගගන චින්තක යනු කොස්ගොඩ තාරකගේ සමීපතම ගෝලයෙකි. කිරිවත්තුඩුවේ පදිංචිකරුවෙක් වන ඔහු මිනීමැරුමකට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී. කොළඹ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවුණු හෙයින් තාරකට මේ වන විට කිසිසේත්ම පිටස්තරයන් සමඟ දුරකථන ඔස්සේ සබඳතා පැවැත්විය නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ, බූස්ස බන්ධනාගාර රැඳවියන්ට දුරකථන භාවිත කළ නොහැකි වන ලෙස ‘ජැමර්‘ සවිකර ඇති හෙයිනි. තාරකගේ සබඳතා බිඳ වැටි ඇති හෙයින් පොට්ට කපිල ඇතුළු පිරිස අතරමංව සිටි බවකි. එම නිසා මෙකී ගිනිඅවි තොගය ගගනගේ කීම මත පිටිපන ගොඩනැඟිල්ලේ සඟවා තැබිණි. එම ගොඩනැඟිල්ල හිමි කෞෂල්‍ය නමැත්තාද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන සිදු කරමින් සිටී.

පසුගිය පළමු වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් විසින් දුන් තොරතුරකට අනුව හෝමාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න ප්‍රමුඛ නිලධාරින් සිදුකළ වැටලීමකදී මෙකී ගිනිඅවි තොගය හා බැඳුණු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි විණි. ඒ, පිටිපනම, සිල්වන්හස්ට් වත්තෙ 4 වන පටුමගෙහි සිදුකළ සෝදිසියකදී එහි නිවෙසක පඩිපෙළ යට රහස් කුටියක සඟවා තිබියදීයි. නිලධාරිහු වැටලීම සිදුකරන මොහොතේ එම නිවෙසේ සිටියේ 32 හැවිරිදි නුවනි විවේකා නමැති කාන්තාවකි. මේ වන විට අනාවරණය වන්නෙ එම කාන්තාව ගිනි අවි සඟවා තිබූ ගොඩනැඟිල්ලෙ හිමිකරුගේ අනියම් බිරිය බවයි. ඔහු විසින් මෙකී කාන්තාව එම නිවසේ නවතා මේ ජාවාරම්වලට සම්බන්ධ කරගෙන ඇති බව සැල වේ.

මේ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව දැනට එල්ලවී තිබෙන සැකය නම් පසුගිය කාලයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් දකුණේ අපරාධකාරයන්ට ලැබුණු ගිනිඅවි හෝ නැතිනම් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලින් මෙරටට එන හෙරොයින් තොග සමඟ මෙකී ගිනිඅවි මෙරට අපරාධකාරයන්ට ලැබෙන්නට ඇති බවයි. පසුගිය ජනවාරි 30 වැනිදා බණ්ඩාරගමදී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 192ක ප්‍රමාණය සමඟද මයික්‍රෝ වර්ගයේ නවීනතම ගිනි අවි 10ක් එම ජාවාරම්කරුවන් සන්තකයේ තිබී සොයා ගැනිණි.

මෙදා අත්අඩංගුවට පත් ගිනිඅවි සමඟ තවත් ගිනිඅවි හතක් තිබී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති අතර අතුරුගිරිය නිවෙසක තිබී ඉන් එක් ගිනි අවියක් ද සොයා ගැනිණි. ඉතිරි ඒවා සොයා පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකය දිගින් දිගට මෙහෙයුම් සිදුකරයි.

 

ඡායාරූප - එම්. පී. කුමාර

(කොටදෙනියාව සමූහ)

Comments