කොළඹ ක්‍රමයේ ඉතිහාසය මුද්දරයෙන් සමරමු | සිළුමිණ

කොළඹ ක්‍රමයේ ඉතිහාසය මුද්දරයෙන් සමරමු

'කොළඹ ක්‍රමය' යනු අපට ආධාර ලබාදෙන ක්‍රමයක්‌ බව දන්නෝ අල්පය. 1949 වසරේ ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍ය සමුළුවේදී එවකට ලංකාවේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා, දකුණු සහ අග්නිදිග ආසියා රටවල් සඳහා ආධාර ලබාගැනීමේ වැඩසටහනක් පිළිබඳව අදහසක් යෝජනා කරන ලදී. අදහස වඩාත් සවිස්තරව සාකච්ඡා කරන ලද්දේ 1950 පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදීය. 1951දී මේ යෝජනාව මල්ඵල ගැන්වී අප රටට ප්‍රතිලාභ රැසක් හිමිකර දුන් 'කොළඹ ක්‍රමය'ට 2020 වසරේ ජූලි 1 දිනට වසර 69ක් සම්පුර්ණ වේ. එනිසා මෙවර කියවන මුද්දර වෙන්වන්නේ 'කොළඹ ක්‍රමය' මුද්දරයෙන් කියැවීම වෙනුවෙනි.

1950 ජනවාරි 9 දින කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවේ මුලසුන උසුලන ලද්දේ අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතායි. ඉන්දීය නියෝජිත පිරිස මෙහෙයවන ලද්දේ අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු මහතායි. මහා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් අර්නස්‌ට්‌ බෙවන් මහතා මෙන්ම ඊට ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයෝද සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා 'ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන සඳහා කොළඹ සැලැස්ම' (The Colombo Plan for Cooperative Economic and Social Development in Asia and the Pacific) පිළිබඳව අදහස්ද දැක්වීය.

ශ්‍රී ලංකාවේ මෙම යෝජනාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් හා ඒකාබද්ධව සමුළුවට ඉදිරිපත් වූ අතර, එම මූලික යෝජනාව 1950 ජනවාරි මස 12 දින ඒකඡන්දයෙන් අනුමත විය. ආධාර සැපයීම සඳහා සොයාබැලීම පිළිබඳව උපදේශක කමිටුවක්ද එහිදී පත්කරන ලදී. 1950 වසරේ මැයි 10 වැනිදා එම කමිටුව මුල් වරට ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවරදී රැස්වූ අතර, ඒ සඳහා ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, ආර්. ජී. සේනානායක ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී විය. 1950 වසරේ සැප්තැම්බර් මාසයේ දී නැවතත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් අමාත්‍යවරුන් ලන්ඩන් නුවරදී හමුවී තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 'කොළඹ ක්‍රමය' වැඩසටහන ස්ථාපනය කරනු ලැබීය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව යන රටවල් හත එහි මුල්ම සාමාජිකයෝ වූහ. 'කොළඹ ක්‍රමය' 1951 වසරේ ජූලි 1 වැනිදා සිට ක්‍රියාවට නංවනු ලැබීය.

1965 වන විට, දකුණු හා අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ද අමෙරිකා එක්සත් ජනපදයද කොළඹ ක්‍රමය වැඩසටහනට එක්වූහ. එමඟින් අප්‍රිකානු රටවල් කීපයකටද සංවර්ධනය සඳහා විශේෂඥ ආධාර ලැබුණි. 1977 සිට මෙම වැඩසටහන 'ආසියා පැසිපික් රටවල ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක්‍රමය' (Colombo Plan for Cooperative Economic Development in South and Southeast Asia ) යනුවෙන් හැඳින්විණි. 'කොළඹ ක්‍රමය' කාර්යාංශය සහ 'කොළඹ ක්‍රමය මණ්ඩලය' යන සංවිධාන දෙකම කොළඹ පිහිටුවා තිබුණි.

'කොළඹ ක්‍රමය' ආරම්භවී මුල් සය අවුරුදු කාලසීමාව තුළදී සිදු කෙරුණු සංවර්ධන යෝජනා ක්‍රමවල මුළු වටිනාකම පවුම් මිලියන 102 (රුපියල් මිලියන 1359)කි. එම මුදල් වෙන්කරනු ලැබුවේ ලංකාවේ ගමනාගමනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහාය. 'කොළඹ ක්‍රමය' නිසා අපට හිමිවූ ප්‍රතිලාභ අතුරින් කෘෂිකාර්මික කටයුතු පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කිරීම, හිඟුරාණ සීනි කම්හල ආරම්භවීම, ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමයේ ආරම්භය සිදුවීම හා ජනපදවාසීන්ගේ යටිතල පහසුකම් නැංවීමත් මහජන සෞඛ්‍ය සේවා පුළුල් කිරීමත් සිදුවිය. තවද, 1950 වසරේදී මහ බැංකුව ආරම්භ වූයේද කොළඹ ක්‍රමයේ අතුරු ඵලයක් ලෙසිනි. 1962 දී 'කොළඹ ක්‍රමය' සැලැස්ම යටතේ කැනේඩියානු රජයේ ආධාර ඇතිව කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් සහ කැනේඩියානු ඩීසල් දුම්රිය එන්ජින් මෙරට භාවිතයද ආරම්භ විය.

'කොළඹ ක්‍රමය' සමරනු වස් එහි 20 වැනි සංවත්සරය උදෙසා 1971 දෙසැම්බර් 28 දිනද, 40 වැනි සංවත්සරය උදෙසා 1991 ජුලි 1 දිනද, එහි 50 වැනි සංවත්සරය උදෙසා 2001 ජුලි 2 දිනද නව සමරු මුද්දර නිකුත් කර තිබේ.

නිදහසින් අනතුරුව, රජයේ ප්‍රතිපත්ති මාලාවෙහි දේශීය කෘෂිකාර්මික සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවුණි. 1950දී ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීමත් සමඟින් දේශීය කර්මාන්ත අංශයටද නව පනක් ලැබුණි. මෙකල හඳුන්වා දුන් ප්‍රධාන සංවර්ධන වැඩසටහන් දෙකක් වන 1951-1957 සය අවුරුදු සංවර්ධන සැලසුමද, 1954-1959 සිව් අවුරුදු ආයෝජන වැඩසටහනද මඟින් කෘෂිකර්මාන්තයට හා වෙනත් කර්මාන්තවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වැඩි අවධානයක් යොමු විය. පෞද්ගලික අංශයද සංවර්ධන ක්‍රියාදාමයෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි රජයේ අපේක්ෂාව විය. ලංකාවේ සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ලබාගැනීම සහ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රදර්ශනාත්මක ප්‍රචාරණයක් ලබාගැනීම සඳහා එතෙක් නොවූ ආකාරයේ ජාත්‍යන්තර සැණකෙළියක් සංවිධානය කෙරිණි. එය 'කොළඹ ක්‍රමයේ ප්‍රදර්ශනය' ලෙස ලොවපුරා ප්‍රචාරණය කෙරිණි. සිය ලෝක සවාරිය අතරවාරයේ ලංකාවට පැමිණ මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට බ්‍රිතානයේ කිරුල හිමි එළිසබෙත් කුමරිය සූදානමින් සිටීම නිසා ජාත්‍යන්තර අවධානය නිබඳවම ඊට හිමි විය.

කොළඹ නගර ශාලාව (Town Hall) ඉදිරිපිට මංසන්ධියේ තිබෙන ස්මාරකය ඔබ දැක ඇතුවාට සැක නැත. එදා වික්ටෝරියා මහ රැජිනගේ නාමයෙන් හැඳින්වුණු වර්තමානයේ 'විහාර මහා දේවි උද්‍යානය' යැයි නැවත නම් කරන ලද ස්ථානයේ අබියස මෙම ස්මාරකය පිහිටුවා තිබෙන්නේ 'කොළඹ ක්‍රමය' ප්‍රදර්ශනය පැවැත්වුණේ එම උද්‍යානය තුළ වීම නිසාය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දු, උර්දු මෙන්ම තවත් භාෂා දෙකකින් එම පුවරුවේ මෙසේ සටහන් කර ඇත:

“මේ ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තැන්පත් අතිගරු ඩී. ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1950 ජනවාරි මාසයේදී කොළඹ ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශීය ඇමැතිවරුන්ගේ ඉදිරියට පත් දකුණු හා අග්නිදිග ආසියාවේ ආර්ථීක හා සාමාජික සංවර්ධනය සඳහා ඇතිවූ කොළඹ ක්‍රමය සම්බන්ධයෙනි.

සංවිධාන මණ්ඩලය: මුදල් ඇමැති - ගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා; මංමාවත් හා කර්මාන්ත ඇමැති - ගරු සර් ජෝන් කොතලාවල මැතිතුමා; ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති - සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා"

1952 පෙබරවාරි 23 දින ලංකාවේ ආණ්ඩුකාර සෝල්බරිසාමි විසින් විවෘත කළ ප්‍රදර්ශනයට එහි ආරම්භක සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, ලාඕසය, මාලදිවයින, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා වියට්නාමය යනාදී රටවල ප්‍රදර්ශන කුටිවලින්ද සමන්විත අති දැවැන්ත සැණකෙළියක් බවට පත්විය.

විවිධ රටවල් අතර ඇති ආර්ථික තත්ත්වය හා සංස්කෘතිය පිළිඹිබු කෙරෙන කොළඹ ප්‍රදර්ශනය යනුවෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වූ මේ ජාත්‍යන්තර මහා ප්‍රදර්ශනය විවෘත කිරීමට සැලසුම් කර තිබු අයුරින් එළිසබෙත් කුමරියට ලංකාවට පැමිණීමට නොහැකි වූයේ සිය පියාණන්වූ හය වන ජොර්ජ් රජු 1952 පෙබරවාරියේදී ස්වර්ගස්ත වූ බැවින් කුමරියට සිය සංචාරය නතර කර බ්‍රිතාන්‍යය බලා ආපසු පිටත් වීමට සිදුවූ නිසාය. එම සංචාරයේදී කුමරියක ලෙසින් රටින් පිටවූ එතුමිය නැවතත් සිය මව් රටට පැමිණියේ අනාගත රැජිනක ලෙසිනි.

'කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය' නිමිති කොට ගෙන තැපැල් දෙපාර්තමේන්තුව මඟින් වටිනාකම් ශත 5 හා ශත 15 බැගින් වූ නව තැපැල් මුද්දර දෙකක් 1952 පෙබරවාරි 23 වෙනිදා නිකුත් කරන ලදී. මුද්දරයේ දෙපසින් 1931-1952 වර්ෂද, මධ්‍යයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය කරන සෙංකෝලයද, කෘෂිකර්මාන්ත හා කාර්මික සංවර්ධනයේ සිතුවමින්ද මුද්දර සකසා තිබුණි. 1931 වර්ෂයෙන් නිරූපණය කරනුයේ අපට සර්වජන ඡන්ද බලය හිමි වීමයි.

 

Comments