කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගත යුතු හේතු මෙන්න | සිළුමිණ

කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගත යුතු හේතු මෙන්න

තුන් මසක නිවාඩුවකින් පසුව හෙට පාසල් විවෘත කෙරේ. කාර්යාල සහ කඩ සාප්පු ද විවෘත වී සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කර ඇත. රට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මාර්තු මාසයේ මැද සතියේ සිට ක්‍රියාත්මක වූ නීති රීති ළිහිල් වී ඇත. සමහරුන් විනෝද චාරිකා යෑමට පවා සූදානම් වන්නේ දීර්ඝ කාලයක් නිවසට කොටු වී හුදෙකලාව සිට, ලැබූ නිදහස භුක්ති විඳීමටය.

 

එහෙත් කොරෝනා හෙවත් කෝවිඩ් 19 වයිරසය අපේ රටින් තුරන් වී නැති බව අප අමතක නොකළ යුතුය. අප්‍රේල් 30 වැනිදායින් පසුව සමාජය තුළින් කොරෝනා ආසාදිතයකු හමු නොවූවද විදේශයන් හි සිට මෙරටට පැමිණෙන අයගෙන් සහ හමුදා සාමාජිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් හමුවන බැවින් අපේ රටෙන් කොරෝනා වයිරසය දුරු වී ඇති බව නොසිතිය යුතුය. ඇතැමුන් කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ගැන සඳහන් කරන්නේ එබැවිනි.

“කො‍රෝනා 2 වැනි රැල්ලක් මතු වෙන්න ඉස්සෙල්ලා 1 වැනි රැල්ලක් ඇති වෙන්න ඕනෑනේ. තවමත් අපේ රටේ කොරෝනා 1 වැනි රැල්ල ආවේ නැහැ. එහෙන් මෙහෙන් කොරෝනා ආසාදිතයන් හමු වුණ බව ඇත්ත. ඒත් ඒක රැල්ලක් නොවෙයි. ඇමෙරික‍ාවෙ, ඉන්දියාවෙ, ඉතාලියෙ මතු වුණේ රැල්ලක්. ඇත්තටම අපේ රටේ කොරෝනා රැල්ලක් මතු වෙන්න ඉස්සෙල්ලා එය සාර්ථකව මර්දනය කළා.” යනුවෙන් පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න ය.

ප්‍රථමයෙන් වසංගතයක් ඇති වීම සහ එය රැල්ලක් බවට පත් වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එබැවිනි.

කොරෝනා පමණක් නොව පැපොල, සරම්ප, කම්මුල්ගාය, ඇතැම් උණ වර්ග ඇතුළු ලෙඩරෝග රැසක් ඇතිවන්නේ වයිරසයක් මඟිනි. බැක්ටීරියාව ජීවියකු වුවත් වයිරසය ජීවියකු නොවේ. වයිරසය ජීවත් වන්නේ සෛලයකට ඇතුළු වීමෙනි. සෛල තුළ ජීවත් වන වයිරසය විනාශ කිරීමට ඖෂධ දුන් විට සෛල ද විනාශ වේ. වයිරස් මඟින් ඇතිවන ලෙඩ රෝගවලට ඖෂධ සොයා ගැනීම අසීරු වී තිබෙන්නේ එමනිසාය.

වයිරස් රෝග සුවපත් වන්නේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමඟ සටන් වැදීමෙනි. මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කෙනකුට වයිරසය සාර්ථකව මැඬ පැවැත්විය හැකිය. ප්‍රතිශක්තිය අඩු තැනැත්තාට වයිරසය සමඟ ඔට්ටු වීමට නොහැකිව මරණයට පත්වේ. කොරෝනාවල තත්ත්වයද එසේමය.

“වසංගතයක් ඇති වීම, පැතිරීම සහ නැතිවීම කියලා අවස්ථා 3කට බෙදන්න පුළුවන්. කෝවිඩ් වයිරසයේ ක්‍රියාකාරිත්වය ගැන සලකා බැලුවොත් 2009 පැතිරුණු ෆ්ලූ සහ සාස්, මර්ස් වයිරස් ක්‍රියාකාරිත්වයේ අතරමැද ලක්ෂණ මෙහි පෙන්නුම් කරනවා. කෝවිඩ් 19 ලෝකය පුරා ව්‍යාප්ත වුණේ කලාපීය වශයෙන්. වයිරසයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙලා ව්‍යසනයක් වීම නැති කර ගන්න ක්‍රියාමාර්ග 2ක් ගන්නවා. 1ක් නීතිරීති දාලා ජනතාවගේ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම. 2 වැනි ක්‍රියාමාර්ගය තමයි එය වැළැක්වීම. අපේ රටේ ඇඳිරි නීතිය දාලා ලොක්ඩවුන් කරලා සාර්ථකව එය මැඬපැවැත්වුවා. දැන් තියෙන්නේ වැළැක්වීමේ අවස්ථාව. අත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ හැකි සෑම විටකදීම මුහුණ නොඅල්ලා සිටීම සිදුකරන්නේ මෙය වැළැක්වීමටයි. වැළැක්වීමට මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි.” යනුවෙන් මහනුවර මහ රෝහලේ සායනික ක්ෂුද්‍රජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල විස්තර කළේය.

ඔහු සඳහන් කරන ආකාරයට වසංගතයක් කාල පරිච්ඡේද 4 කට වෙන් කළ හැකිය. එය මතු දැක්වේ.

 

(I) Lag Period - රෝගීන් අතරින් පතරින් හමුවෙමින් සෙමෙන් සෙමෙන් පවතින කාල පරිච්ඡේදය

(II) Log Period - ඉතා ශීඝ්‍රයෙන් රෝගීන් වැඩිවන කාල පරිච්ඡේදය

(III) Stationary Period - ආසාදිතයන් හමුවීම එක සමාන මට්ටමේ පවතින කාල පරිච්ඡේදය

(IV) Decline Period - පහතට බැසීමේ කාල පරිච්ඡේදය

 

සායනික ක්ෂුද්‍රජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල සඳහන් කරන්නේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පවතින්නේ Lag Period හෙවත් මුල් අවස්ථාවේ බවයි. කොරෝනා වසංගතයක් ලෙස ව්‍යාප්ත වීම සඳහා කාලය, පුද්ගලයා සහ ප්‍රදේශය යන සාධක 3 හේතු වන බව පවසන විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල, එක් ආසාදිතයකු හමු වී එම රෝගියාගෙන් පැතිර ගිය රෝගින් සංඛ්‍යාව, ඔවුන් හමු වූ ප්‍රදේශ සහ කාලසීමාව සලකා බැලීමේදී ලංකාව පැවතියේ 1 වැනි අවස්ථාවේ බව ඔහු පෙන්වා දුන්නේය.

“ඇත්තටම ලංකාව ඉතාමත් හොඳට කොරෝනා ව්‍යාප්ත වීම මැඬපැවැත්වුවා. එක් රෝගියෙක් හම්බවුණ ගමන් ඒ කෙනා ඇසුරු කළ අය, ආගිය තැන් හැමදෙයක්ම හොයාගෙන ලොක්ඩවුන් කළා; නිරෝධායනය කළා. ඇඳිරි නීතිය දාලා ජනතාවගේ ක්‍රියාකාරිත්වය පාලනය කළා. ඒ නිසා එක් ආසාදිතයකුගෙන් 40කට විතර බෝවීම වැළකුණා. ඒත් ඇමෙරිකාව අපි වගේ පාලනය නොකළ නිසා ඒ රටේ අය විනෝද ගමන් ගියා, අවන්හල්වල රංචු ගැහුණා. ප්‍රිය සම්භාෂණ පැවැත්වුවා. ඒ නිසා එක් ආසාදිතයකුගෙන් 50කට 60කට බෝවුණා.

ඒ අවස්ථාව තමයි 2වැනි අවස්ථාව හෙවත් Log Period කියලා හඳුන්වන්නේ. ඒ අවස්ථාවට තමයි කොරෝනා රැල්ල කියලා කියන්නේ.

අපේ රටේ ඒ විදිහේ අවස්ථාවක් අපට දකින්න ලැබුණේ වැලිසර නාවික හමුදා භටයන් අතර කොරෝනා ව්‍යාප්ත වීම. ඒත් එය සමාජයෙන් වෙන්වෙලා තිබුණ නිසා සමස්ත සමාජය තුළ රැල්ලක් මතු වුණා කියලා සලකන්න බැහැ.” යනුවෙන් පැහැදිලි කළේ මහනුවර මහ රෝහලේ සායනික ක්ෂුද්‍රජීවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවලය.

“අපි කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ බව ඇත්ත. ඒත් කොරෝනාවලින් රට බේරගත්තා කියලා කියන්න බැහැ. මොකද සමාජගත නොවුණාට තවමත් අපේ රටේ කොරෝනා වයිරසය තිබෙන නිසා.

ලෝකයෙ කොරෝනා වයිරසය තිබෙන නිසා එහෙම කියලා හැමදාටම රට වහගෙන ඉන්න බැහැ. ජනතාව හිර කරගෙන ඉන්න බැහැ. රටේ දෛනික කටයුතු සිද්ධ වෙන්න ඕනෑ. පාසල් විවෘත කරලා ළමයි ඉගෙනගන්න ඕනෑ.

රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී පවත්වාගෙන යන්න ඕනෑ. ඒ නිසා රට විවෘත කිරීම වැරදි නැහැ. හැබැයි රට විවෘත කරපු ගමන් අපේ සමහරු කොරෝනා අමතක කරනවා. අන්න එතකොට නම් අපේ රටෙත් කොරෝනා රැල්ලක් ඇති වෙන්න පුළුවන්.” යනුවෙන් මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න සඳහන් කරන ආකරයට කොරෝනා සහමුලින් තුරන් කළ බව පැවසීමට හැකි වන්නේ අවසාන රෝගියා සුවපත් වී දින 28ක් තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවුණහොත් පමණි. අත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ හැකි සෑම විටකදීම මුහුණ නොඅල්ලා සිටීම තුළින් කොරෝනා වයිරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා උපදෙස් දෙනු ලබන්නේ තවමත් අපට කොරෝනා ආසාදනය වීමේ අවදානම තිබෙන නිසාය.

මෙම උපදෙස් අනුගමනය නොකර, සාමාන්‍ය පරිදි සමාජයේ හැසිරීමට ජනතාව සූදානම් වුවහොත් එය වසංගත රැල්ලක් බවට පත් වීම වැළැක්වීම ඉතා අසීරු වනු ඇත.

අප සැලකිලිමත් විය යුත්තේ මෙරට ඇති විය හැක්කේ කොරෝනා වසංගතයේ 1 වැනි රැල්ල ද 2 වැනි රැල්ල ද යන කාරණාව ගැන නොවේ. රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට ය.

“එක් රෝගියකුගෙන් 50කට 60කට බෝවෙලා කොරෝනා රැල්ලක් මතු වුණොත් අපේ රෝහල්වල ඇඳන් නැතිව යනවා. කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර නැති වෙනවා. ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය මදි වෙනවා. අන්තිමට ඉතාලියේ වගේ මැරෙන්න පටන් ගනීවි. පාරෙ අයිනේ මිනී පෙට්ටි තියාගෙන ඉන්න වේවී. සොහොන් බිම් නැති වේවි. අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම රටේ ලොකු පොඩි හැමෝගේම වගකීමක්. රැල්ලක් මතු වුණොත් රජයට බැණලා වැඩක් නැහැ. රටේ පුරවැසියන් හැටියට අපි හැමෝටම වගකීමක් තිබෙනවා නිසි උපදෙස් පිළිපදින්න. මුඛ ආවරණය සාක්කුවේ දාගෙන, පොලිසියෙන් ඉන්නකොට විතරක් දාගන්න තත්ත්වයට අපි පත් නොවිය යුතුයි.” යනුවෙන් අවධාරණය කළේ මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න ය.

කො‍රෝනා ව්‍යාප්තිය පාලනය කර තිබෙන අවස්ථාවක නැවතත් එය මතු නොවීමට නම් කළමනාකරණය ඉතා වැදගත් වේ. ගුවන් තොටුපොළ විවෘත කළ පසුව මෙරටට පැමිණෙන අයට PCR පරීක්ෂණය පමණක් සිදු කර රට තුළට නොගෙන තවදුරටත් නිරෝධායනය කිරීම ඉතා වැදගත් බව පැහැදිලි කළ මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න, පාසල් ළමුන් උදෙසා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම ද මතු කළේය.

එසේ නොවුණහොත් කොරෝනා වයිරසය නැවත ඉපදීම (Reborn) සහ රැල්ලක් බවට පත් වීම වැළැක්වීම ඉතා දුෂ්කර කාරණයක් වනු ඇත.

Comments