කොරෝනා මර්දනයට තොරතුරු තාක්ෂණයේ පිහිට | සිළුමිණ

කොරෝනා මර්දනයට තොරතුරු තාක්ෂණයේ පිහිට

අපේ රටේ කොරෝනා වයිරස ව්‍යාප්තිය දැන් අඩු වී ඇති වුවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමඟ එක්වූ තවත් සුවිශේෂ ක්‍රියාදාමයක් පිළිබඳව අපි අමතක නොකළ යුතුව ඇත. ඒ වනාහි කොරෝනා වසංගත සමයේ අපේ රටේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනවල කාර්යභාරයයි. මේ පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කළ කාර්ය භාරය අප අමතක නොකළ යුතුය.

ඒ අනුව දුම්රිය ස්ථාන, ගුවන්තොටුපළ වැනි වැදගත් ස්ථානවල CCTV සවිකර ආසාදිතයන් හඳුනා ගැනීමේ සිට රාජ්‍ය පාලනය දක්වාත් නිවෙස්වල සිටින පාසල් සිසුන්ට අධ්‍යාපනය ලබාදීම දක්වාත් වූ විවිධ කටයුතු රැසක් මෙන්ම මෙරටට එන පුද්ගලයන් අතර රෝගීන් සිටිත්දැයි සොයා ගැනීම වැනි කටයුතු රැසක් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සිදුවෙමින් පවතී. මෙම වසංගත තත්ත්වය ඇරඹීමත් සමඟ ජනාධිපතිතුමා විසින් පත්කෙරුණ ජනාධිපති කාර්යය සාධක බළකායත් සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන තාක්ෂණ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුලින්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව COVID - 19 හි ව්‍යාප්තිය පිළිබඳව දැනුම් දීමට සම්බන්ධ වීමට හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට MyHealth Sri Lanka යෙදුම (App) සකස් කරන ලදී. මෙය ගෝලීය වසංගතයක් ශ්‍රී ලංකාවට ළඟා වීමෙන් ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ පැන නැඟුණු ශක්තිමත් ජංගම යෙදුමක අවශ්‍යතාව සපුරාලීමකි. එය පෞද්ගලික අංශයේ ස්වේච්ඡා සේවකයන් ඇතුළු සංවිධාන ගණනක නියෝජිතයන් වෙහෙස නොබලා වැඩ කිරීමේ ප්‍රතිඵලයකි. Google Play Store, Huawei App Store සහ Apple App Store මාර්ගයෙන් බාගත කළ පසු පරිශීලකයකුට පහසුවෙන් මෙය භාවිතයට ගත හැකිය.

වෛද්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති දත්ත හා තොරතුරු MyHealth Sri Lanka ජංගම යෙදුමෙන් පුරවැසියන් සමඟ ‍බෙදා ගැනීම 2020 මාර්තු මස ආරම්භ කෙරිණි. මුලින්ම තම ජංගම දුරකතනයට මෙම App එක යොදා ගත යුතුය. ඉන්පසුව යෙදුම ජංගම යෙදුම් භාවිත කරන්නන්ගේ ස්ථානවල ගමන් මාර්ගය සිතියම් ගත කරනු ලැබේ. එමඟින් දුරකතන පරිශීලකයා වයිරසයට ගොදුරු වූ අවාසනාවන්ත අවස්ථාවකදී, ගබඩා කර ඇති ස්ථාන ඉතිහාස තොරතුරු බලධාරීන් සමඟ හෙළි කළ හැකිය. කොවිඩ් වසංගතයේ තවමත් අප අත්විඳින වළකාලිය නොහැකි ගැටලුවක්වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණෙන පිරිස් නිසා වන බලපෑම්ය. මෙය පාලනය කිරීම සඳහා ගුවන්තොටුපළට පැමිණීම සඳහා පූර්ව නිෂ්කාශක (Pre Clearance) යෙදුම හඳුන්වාදෙන ලදී. මෙය ආරක්ෂක හා සෞඛ්‍ය අමාත්‍යාංශවල මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදි. දැනටත් එය පූර්ණ ලෙස ක්‍රියාත්මකය.

මගීන් පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයීමට ගුවන් සමාගම්වලට උපදෙස් දී ඇත. විශේෂයෙන් සංචාරයේ ආරම්භයේ සිට එනම් ගමන ආරම්භ කළ ගුවන් තොටේ සිට මෙම ක්‍රියාවලිය මගීන් බැසීමට පෙරම ඉහළ අවදානමක් ඇති අය මෙමඟින් හඳුනා ගනී. එබැවින් බලධාරීන්ට ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් විය හැකිය.

මෙම ක්‍රමය පූර්ව නිෂ්කාශන පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග නිරීක්ෂණ පද්ධතිය සමඟ ඒකාබද්ධ කරන අතර එමඟින් හඳුනාගන්නා ලද සියලුම සංචාරකයන් ස්වයංක්‍රීයව රෝග පද්ධතියේ ලියාපදිංචි වේ. එවිට ගුවන්තොටුපළ සහ ගුවන් සේවාව විසින් පෙන්වා දෙන සංචාරකයන් කෙළිින්ම ගේට්ටුව අසලදී හමුවී සංක්‍රමණික කවුන්ටරයේ අනතුරු ඇඟැවීමක් මඟින් නිරෝධායනය සඳහා මඟ පෙන්වනු ඇත.

එමඟින් ඉදිරි අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශවලට හැකිවිය. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් https://www.contactsrilanka.mfa.gov.lk වෙබ් ද්වාරය විදේශයන්හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය පිණිස ස්ථාපිත කර ඇත. ඔවුන්ට ශ්‍රී ලංකා රජයේ හෝ විදේශයන්හි ඇති ඕනෑම දූත මණ්ඩලයක සහාය අවශ්‍ය නම් කෙළිින්ම ශ්‍රී ලංකාව ඇමැතීමට පුළුවන.

වෙබ් ද්වාරයෙහි මාර්ගගතව ලියාපදිංචි වීමෙන් COVID - 19 පැතිරීම වැනි හදිසි අවස්ථා වලදී අමාත්‍යාංශයේ සහාය ලබා දීමට හැකි වේ. මෙම ද්වාරය ශ්‍රී ලංකවේ විදේශීය ශ්‍රී ලාංකිකයන් හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සම්බන්ධ කරයි.

COVID - 19 පැතිරීමත් සමඟ ඇති වූ තත්ත්වය සමඟ ශ්‍රී ලංකාවේ සියලුම විදේශයන්ගේ සහ ඔවුන් සඳහා පිළිබඳ තොරතුරු සෙවීම හා පවත්වා ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරිය විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව වෙබ් ද්වාරයක් පවත්වාගෙන යයි. මෙම වෙබ් ද්වාරය COVID - 19 සෞඛ්‍ය තොරතුරු ශ්‍රී ලංකාවේ අලුතින් ආසාදිත වූ ගණන ආසාදිතව සුව වූ ගණන වීසා දීර්ඝ කිරීමේ නිවේදන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා සම්බන්ධ විශේෂ රෙගුලාසි වැනි විදේශිකයන්ට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දෙයි. අන්තර්ජාතික සංචාරකයින්ට අවශ්‍ය නම් හැකි ඉක්මනින් තම මවු රට කරා ළඟා වීමට අවශ්‍ය විස්තර ලබා දෙයි. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවට සහ ඉන් පිටතට යන විශේෂ ගුවන් ගමන් පිළිබඳ තොරතුරුද දෙයි. හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගත යුතු නිලධාරීන්ගේ සම්බන්ධතා තොරතුරු ද එමඟින් ඉදිරිපත් කරයි. 1912 දුරකථන අංකයෙන් සංචාරකයින් සඳහා අවශ්‍ය උපකාර ලබාදෙනු ඇත.

වසංගතය නිසා සියලු කටයුතු අත්සිටුවීමට සිදුවුවත් රාජ්‍යය කටයුතු නතර කළ නොහැකිය. මෙනිසා ශ්‍රී ලංකා රජය, චක්‍රලේඛයක් නිකුත් කරමින්, පවතින සම්පත් උපයෝගී කරගනිමින් රාජ්‍ය සේවා සැපයීම සහ දුරස්ථ වැඩපිළිවෙළවල් යටතේ කටයුතු සිදු කිරීම සඳහා හදිසි වැඩ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙන ලදි. එයට ගෙදර සිට වැඩ (WORK from Home - WFH) ක්‍රමවේදය අනුගමනය කළ යුතු අතර ඩිජිටල් තාක්ෂණයන් සහ මෙවලම් පරිභෝජනය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ICTA ලබාදී ඇත.

රාජ්‍ය අංශයේ මානව සම්පත් වෙන් කිරීම පහසු කිරීම සඳහා පවතින මානව සම්පත් සංචිතයක් සහිත (online) වේදිකාව භාවිත කිරීම සිදුවිය.

රජයේ සන්නිවේදනය සඳහා ඩිජිටල් සහයෝගීතා මෙවලම් හඳුන්වා දීම සහ අනුගමනය කිරීම, වීඩි‍යෝ සම්මන්ත්‍රණ (Video Conferencing) පැවැත්වීම, කාලීන පණිවිඩ යැවීම (Realtime Messaging) GoSL Gov.lk ඊමේල් නැවත ස්ථාපනය කිරීම, මහජන දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම සඳහාද ඩිජිටල් තාක්ෂණික පහසුකම් ලබාදෙන ලදී. ජනාධිපතිතුමන් විසින් පුරවැසියන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා සියලුම ප්‍රධාන රාජ්‍ය ආයතන සඳහා මාර්ගෝපදේශ සහ සමාජ මාධ්‍ය අතරුමුහුණත් ආරම්භ කිරීම Https://gelp. Gov.lk හරහා රජයේ කටයුතු පරිපාලන කටයුතු පහසු කරවීය.

‍මෙම භාවිතය ඉතා ඉක්මනින් රාජ්‍ය අංශයේ ජනප්‍රිය විය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආයතන 300 මෙය ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයට හැකිවිය. මීට පෙර ඉතා කෙටි සාකච්ඡාවලට පවා දුරබැහැර සිට පැමිණෙමින් සිදු කළ කාලයත් ධනයත් අපතේ යාම නතරවිය.

එමෙන්ම නිවසේ සිට වැඩ කිරීමේ (WFH) තත්ත්වයක් තුළ රජයේ නිලධාරීන්ට අන්තර් සබඳතා හරහා ක්ෂණික පණිවිඩ යැවීම සඳහා වේගවත් විශ්වාසදායක සහ ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍ය විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා ‘SLACK’ නම් තොරතුරු සන්නිවේදන තාක්ෂණික යෙදවුම යෝජනා කළේය. අභ්‍යන්තර සන්නිවේදනය සඳහා එය යම් කාලයක් සඳහා ICTA හි මෙය සාර්ථකව භාවිත කර ඇත.

මෙමඟින් යම් ලිපි ගොනුවක් සම්පූර්ණයෙන්ම කාර්යාලයේ සිට ඊට අදාළ අවශ්‍ය නිලධාරියාට පමණක් යැවීමට පුළුවන. රාජ්‍ය පරිපාලන හා ආර්ථික කටයුතු මෙහෙයවීමට මෙය රහස්‍ය ලෙස වුවද භාවිත කළ හැකිය. සිය කටයුතු සඳහා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන 300කට ආසන්න ප්‍රමාණයක් මෙම පහසුකම භාවිතාකොට තම රාජකාරි සිදුකරමින් සිටිති. භාවිත කරන නිලධාරීන්ගේ ප්‍රමාණය 7000 කට ආසන්නය.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව COVID - 19 තොරතුරු සඳහා www.covid19gov.lk ජාතික වෙබ් අඩවිය ක්‍රියාත්මක විය. covid19 හේතුවෙන් රටේ පෙර නොවූ විරූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති විශ්වාසදායක ප්‍රභවයන් හරහා තොරතුරු මහජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව එය ක්‍රියාත්මකය.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩසටහනේ නියැළී සිටින ප්‍රධාන ආයතන හා සංවිධාන වේ.

රට පුරා සාමාන්‍ය ජීවිතයට ඇතිවිය හැකි නොවැළැක්විය හැකි බාධා සමඟ විශාලතම අභියෝගයක් වූයේ සිසුන්ට අහිමි වූ අධ්‍යාපනය යළි ලබාදීමයි.

ඊට විසඳුමක් ලෙස ඉ-තක්සලාව නම් වෙබ් අඩවිය හඳුන්වා දෙන ලදී. 1 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ‍ඉගෙනුම් අන්තර්ගතයන් සහිත පාසල් සඳහා නිල විද්යුත් ඉගෙනුම් ද්වාරය ඉ-තක්සලාවට (http://e-thaksalawa.moe.gov.lk) 2020 මාර්තු 20 වැනි දින සිට සියලුම සිසුන්ට ප්‍රවේශ විය හැකි වූ අතර සියලු ළමයින්ගේ සහාය ඇතිව දත්ත ගාස්තු රහිතව පාසල් දරුවන්ට නිවසේ සිට ඉගෙනීමට අවස්ථාව ලබා දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් සියලුම ප්‍රධාන ධාරාවේ ටෙලිකොම් සේවා සපයන්නන් හරහා ලබා ගත හැකි දත්ත පරිභෝජනයකින් තොරව විශ්වවිද්‍යාල විද්යුත් ඉගෙනුම් පද්ධති ප්‍රවේශය භාවිත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ විශ්වවිද්‍යාලවලින් උපකාරක සම්බන්ධතා අංක ලබාදෙන ලදී. මීට අමතරව රාජ්‍යය සේවකයන් සඳහා නොමිලේ සහ පහසුවෙන් භාවිත කළ හැකි ලෙස වීඩියෝ සම්මන්ත්‍රණ වෙබ් අඩවියක් ලෙස www.meet.gov.lk හඳුන්වා දෙන ලදී.

 

Comments