කොරෝනා නිවාඩුවෙන් පසු පාසල් සීනු හඬ යළි නැංවෙයි | සිළුමිණ

කොරෝනා නිවාඩුවෙන් පසු පාසල් සීනු හඬ යළි නැංවෙයි

මැකීගිය සීනු හඬ පාසලෙන් යළි ඇසෙන්නට ආසන්න වෙමින් ඇත්තේ ය. තම ඇකයෙන් ගිලිහුණ දරුකැළ නොමැතිව සොවින් තැවුණු විදු මව කඳුළු පිසදා මගබලා සිටින්නේ නිමක් නැති සතුටකිනි. විදුබිමේ බැලූ බැලූ අත කලඑළි වෙමින් ඇත්තේය. ගහකොළ ද මඟ දෙසට නැමී ඇත්තේ යළි පැමිණෙන දරුවන් ආදරයෙන් පිළිගන්න බලා සිටින්නා සේය.

කොරෝනා බිය මුළු ලොව පුරා පැතිරයද්දී අප රටට ද නොසිතූ ලෙස එය ඇතුළු වූයේ පාසල් ඇතුළු අංශ රැසකට දොරගුළු දමමිනි. ඒ ඉකුත් මාර්තු මස එකොළොස්වැනිදාය. මෙරට පළමු කොරෝනා රෝගියා හමුවීමත් සමග කොරෝනාවට මහුණදීමට රජය කඩිනම් සැලසුම් සකසද්දී ආරක්ෂාව වෙනුවෙන් පළමු වෙඩිමුරය පත්තුවූයේ මෙරට පාසල් පද්ධතිය හරහා ය. ඒ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්ෂණිකව ගත් තීන්දුවත් සමඟය. ඒ අනුව රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරට සියලු පාසල් මාර්තු දෙළොස්වැනිදා සිට වසාදැමුවේ ය. ඒ එවැනි තීන්දුවක් කඩිනමින් ගත් ලොව පළමු රට බවට පත්වෛමිනි.

කොරෝනා වයිරස ආසාදිතයන් දින දින වැඩිවන්නට විය. රජය ආරක්ෂක හා සෞඛ්‍ය අංශ සන්නද්ධ කරමින් කොරෝනාවට එරෙහි සටන අරඹද්දී රටේ බොහෝ තැන්, බොහෝ අංශ තව තවත් වැසී ගියේය. මුළු රටේම අවධානය කොරෝනා මැඬලීමේ මහා මෙහෙයුම වෙත යොමුවන්නට විය. දිනෙන් දින සටන තීව්‍ර වෙද්දී ඊට එරෙහි ක්‍රියාමාර්ග ද තීව්‍ර වූහ. එහෙත් කල්තියා ගත් ක්‍රියාමාර්ග හමුවේ මෙරට පාසල් පද්ධතියේ සිසු කැළත්, ගුරු පරපුරත් කොරෝනා වයිරසයේ ගොදුරු බවට පත් වූයේ නැත.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාසල්වල සූදානම පරීක්ෂාකරමින්

කොරෝනා වසංගතයෙන් ලෝකයම තුන්බියෙන් ඇළලී විශාලාවන් බවට පත්වෙද්දී මේ පුංචි රට කොවිඩ් 19 එරෙහි සටන ජයග්‍රාහී ඉමක් කරා ගමන් කළේ ලෝකවාසීන්ගේ අවධානය මෙන්ම ප්‍රශංසාව ද ලබාගනිමිනි. වසා දැමුණු පාසල් යළි ඇරෙන්නේ ඒ ප්‍රශංසා මධ්‍යයේය. රාජ්‍ය නායකයා හා එක්ව රටේ දරුවන්ගේ ආරක්ෂාව පතා පාසල් වැසීමේ සෘජු තීරණය ගත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාසල් නැවත විවෘත වීම ගැන මෙසේ අදහස් ප්‍රකාශ කරයි.

“පාසලෙන් සීනු හඞ නැංවෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ නිරෝගිභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සංඥාවක් ලබාදෙමින්. මෙය පාසල් දරුවන්ට පමණක් නොව සියලු රටවැසියන්ට අලුත් පණිවුඩයක් රැගෙන එනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු ආකාරය, ලෙඩරෝගවලින් ආරක්ෂාවෙමින් ජීවිතය පවත්වාගත යුතු ආකාරය ඉදිරියේ දී වඩා ගැඹුරින් සිසු දරුවන් වෙත අවබෝධ කරවිය යුතුයි. මේ සඳහා දරුවන්ගේ පෙළ පොතට සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ කරුණු වැඩිදුරටත් ඇතුළත් කරවිය යුතුව තිබෙනවා. පාසල් පරිශ්‍රයන්හි පවිත්‍රතාව, වි‍ෂබීජහරණය, දෑත් සේදීමේ හා ගිලන් කාමර පිලියෙල කිරීමේ කටයුතු සූදානම් කිරීම, පාසල් ක්‍රියාත්මක කිරීමේ නව සැලැස්‍ම අනුව දීර්ඝ කර ඇති පාසල් කාලයට ගැළපෙන අයුරින් කාලසටහන් සකස් කිරීම, ඇතුළු ක්‍රියාමාර්ග සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාසල් වලට සතියක කාලය වෙන් කර දුන්නා. මේ සම්බන්ධයෙන් පාසල් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හා දරුවන් පාසල් වෙත කැදවීමෙන් පසු ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් පාසලට අනන්‍ය වන ප්‍රායෝගික සැලැස්මක් පවත්වා ගත යුතුයි. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශයන්හි සහයෝගය ද ලබාගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පදනම් කරගනිමින් සකස් කරන ලද, මේ වනවිටත් පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය සහ චක්‍රලේඛ උපදෙස් ද පිළිපදිමින් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරගත යුතුව තිබෙනවා”

මේ වන විට සියලු පාසල් තමන් සතු පහසුකම් මත සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල විෂබීජහරණය කිරීම, දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සකස්කිරීම, ගිලන් කාමරයක් හා ඊට අවශ්‍ය පහසුකම් ඇති කිරීම සිකර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරතුරු පරීක්ෂාව සිදුවෙමින් ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ද උපදෙස් සහිතවය.

“පාසල් නැවත විවෘත කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න හැකිවීම සතුටක්. අපි සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් මට්ටමින් ක්‍රියාත්මක කළයුතු කාර්යයන් මේ වන විට සූදානම් කර තිබෙනවා. අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගුරු භවතුන් ඇතුළු කාර්යමණ්ඩල මගින් සැලසුම් කර තිබෙනවා. දෙමාපියන්ටත්, පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් හා බස් රථ හිමියන්ටත් මේ මොහොතේ දරුවන් ගැන වැඩි අවධානයකින් බැලීම පිළිබඳ වගකීමක් තිබෙනවා. ඒ කෙරෙහි ඔවුන් අවධානය යොමුකළ යුතුයි. හැම මොහොතකම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අප කාගෙත් වගකීමක්. ටික දිනකින් එය අමතක නොකළ යුතුයි. මොකද අප මුහුණදුන්නේ මින් පෙර නොවිඳි අත්දැකීමකට. ඒ නිසා සියල්ල යථා තත්ත්වයට පත්වන තෙක් හැම දෙයක් ගැනම අපි කවුරුත් අවධානයෙන් කටයුතු කරමු” පාසල්, අධ්‍යාපන කාර්යාල, පළාත් දෙපාර්තමේන්තුව හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කොට පරිපාලන කටයුතු පිළිබඳ අත්දැකීම් රැසක් ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ උසස් නිලධාරියකු වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. බී. පියතිස්ස මහතා පැවසුවේය.

“අපේ රටට තිබූ කොරෝනා අවධානම පහව යමින් තිබියදී පාසල් නැවත ආරම්භ කරන්න ගත් ක්‍රියාමාර්ගය හොඳ එකක්. එය අදියර වශයෙන් ආරම්භ කරන්න ගත් ක්‍රියාමාර්ගය වඩාත් හොඳයි. ඒ මගින් සෞඛ්‍ය උපදෙන් නිසි ලෙස ක්‍රියාවට නංවමින් කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ගමේ කුඩා සිසු පිරිසක් සිටිනා පාසල් වල නියමිත දුරස්ථ භාවය තියාගෙන ඉතා හොඳින් වැඩකටයුතු කළ හැකි වුවත් නගරයේ ජනකීර්ණ පාසලක මෙම තත්ත්වය වෙනස්. අපි ඒ ගැන සිතා සැලසුම් සැකසිය යුතුව තිබෙනවා. දරු දැරියන් පනහක් සිටිනා පන්ති කාමරයක් තුළදී මෙම තත්ත්වය වෙනස්වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මනා කල්පනාවකින් යුතුව අපි කටයුතු කළ යුතුව තිබෙනවා. පාසල් වෑන් රථවල එන දරුවන් හා දුර බැහැර සිට එන දරුවන් කෙරෙහි අපි අවධානයෙන් සිටිය යුතු වෙනවා. කෙතරම් සෞඛ්‍ය නීති දැම්මත් පාසල් වෑන්වල නියමිත පිරිස අබිබවා සිසුන් පටවාගෙන ආවොත් ඇතිවිය හැති තත්වය ගැන අපි අවධානයට ලක්කළ යුතුව තිබෙනවා” ජාතික පාසල් කීපයක පරිපාලන කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ මහතා පැවසුවේය.

පාසල් නැවත් විවෘත කිරීමේ සතුට වැඩියෙන්ම විඳින්නේ පාසල් දරුවන්ය. ඒ පන්තිකාමර ඉගෙනුමට එහා ගිය දැනුමක්, අවබෝධයක් මෙන්ම මානසික සතුටක් ද පාසල් පරිසරයෙන් ලැබෙන නිසාය. කොරෝනා බියෙන් ගෙදරටම කොටුවී සිටි දරුවන් කායිකව මෙන්ම මානසිකව ද ලක්ව සිටි පිඩාකාරී තත්වය නැවත් පාසල් ඇඹීමත් සමග පහව යන්නේය. එය මනෝ ප්‍රතිකාරයක් වැනිය.

“පාසල් වැසීමෙන් අපිට පාඩුවක් වුණත් නංගිලා මල්ලිලා ඇතුළු අපි සැවොම කොරෝවෙන් ආරක්ෂා වීම එම පාඩුවට වඩා වටිනවා. අද අපි සතුටින් ඉන්නේ ඒ නිවාඩුව නිසා අපි ආරක්ෂා වූ නිසයි. නැවත ඉස්කෝලෙ යන්න ලැබීම ගැන හරිම සතුටුයි. ” තලල්ල දකුණ මහා විද්‍යාලයේ උසස්පෙළ කලා අංශයේ ශිෂ්‍යාවක වූ රශ්මී භාග්‍යා සතුටින් පැවසුවාය.

අදියර වශයෙන් පාසල් ආරම්භ කරන්නට සැලසුම් කර තිබූ වැඩසටහනේ මෙතෙක් ප්‍රකාශයට පත්නොකළ සිටි 1,2 ශ්‍රේණි හා පෙරපාසල් ද නැවත ආරම්භ කිරීමේ දින මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත්තේ දෙමාපියන්ට මහත් අස්වැසිල්ලක් ද ලබාදෙමිනි. දරුවන්ට අධ්‍යාපනයත්, මානසික විවේකයත් දෙමාපියන්ට සිතේ සතුටත් මින් ඇතිවුණිද කොරෝනා අප රටින් සියයට සියයක් තුරන්ව නොගොස් ඇති බවට සියල්ලෝම අවධානයේ රඳවා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්ව ඇත්තේය.

Comments