කොරෝනාවට පෙර රන් පවුමක් 65,000 යි කොරෝනාවට පසු රන් පවුමක් 95,000 යි | සිළුමිණ

කොරෝනාවට පෙර රන් පවුමක් 65,000 යි කොරෝනාවට පසු රන් පවුමක් 95,000 යි

රත්තරන් කියන්නේ කාන්තා ලෝකයේ වැඩිම ආකර්ෂණයක් දිනූවකි. මැණික් එබ්බවු රත්තරන්, සුදු රත්තරන්, මැෂින්කට් හා අතින් නිමවූ රන් භාණ්ඩ මාල වළලු, මුදු කරාඹු, පෙන්ඩන්ට් ඈ විවිධ මාදිලියෙන් රන් ‍අලෙවිහල්වල දිදුලන්නේ අපූරු දිස්නයක් ද සමඟින්. සමහර සැමියන්, පෙම්වතුන් තම බිරිඳගේ පෙම්වතියගේ ආදරය දිනා ගැනීමට වගේම මල්වර නැකතින් දොරට වඩින දියණියගේ පතිකුලයට පා නගන පතිනියගේ ගෙල සරසන්නට යොදා ගන්නේත් මේ රන් භාණ්ඩයි. ඒ වගේම දිනෙන් දින මිල ඉහළ යන රත්තරන් හොඳ ආයෝජන භාණ්ඩයක් ද වේ.

 

කොරෝනා වසංගතය නිසා සියල්ල උඩුයටිකුරු වූවා සේම රන් භාණ්ඩ මිලත් ඉහළ ගියේ අස්ස වේගයකින්.

රන් මිල ඉහළයාම, රන් අලෙවි හා රන් කර්මාන්තය ආශ්‍රිත ගැටලු ගැන සිළුමිණෙන් ඔබට ගෙනෙන්නට අපි පසුගියදා රන්භාණ්ඩ සාප්පු වැඩිම ගණනක් ඇති කොළඹ රන් පුරවරය හෙට්ටි වීදියේ සංචාරය කළෙමු. සමහර අලෙවිහල් අතර පාරිභෝගිකයින් සාමාන්‍ය ප්‍රමාණයක් සිටි අතර ඇතැම් සාප්පුවලට දවස මුළුල්ලේම එක ගැනුම්කරුවෙක් හෝ සිටියේ නැත.

හෙට්ටිවීදියේ අංක 52 ගනේෂා ජුවලරි ආයතනයේ කළමනාකරු එස්. අමිර්තලිංගම් (68) මහතාට රන් භාණ්ඩ ක්ෂේත්‍රයේ අඩසියවසකට නොඅඩු අත්දැකීමක් කියන කෙනෙකි. ඔහු බොහොම වුවමනාවෙන් රන් වෙළඳපල, එහි ලෝක ප්‍රවණතා වගේම ලාංකේය අත්දැකීම් ගැනත් පැවසුවා.

රත්තරන් ගැන බොහෝ දෙනෙක් නොදන්න කරුණු බොහොමයක් අමිර්තලිංගම් මහතා අපට කියා දුන්නේය.

“ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, අප්‍රිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක රන් නිධි තිබුණත් ලංකාවට රන් ගෙන්වන්නේ සිංගප්පූරුවෙන් හා ස්විට්සර්ලන්තයේ රන් ෆැක්ටරිවලින්. රත්තරන් රටකින් රටකට ගෙනියන්නේ කැරට් 24 ග්‍රෑම් 100 බාර් (කුට්ටි) වශයෙන්. අපිට පිටරටවලින් ඍජුවම ගන්න බැහැ. රජයේ හා වාණිජ බැංකුවලට විතරයි රන් බාර් ගෙන්නන්න බලය තියෙන්නේ. බැංකු තමන්ට සුළු ලාභයක් තියාගන අලෙවිහල් හිමියන්ට විකුණනවා. බැංකුවලින් රන්කුට්ටි මිලට ගන්නත් නිකං බැහැ. කලින් ලියාපදිංචි වෙන්න ඕනේ. බාර්වලට කලින් මුදල් බඳින්නත් ඕනෑ. හැබැයි නිෂ්පාදන හා අලෙවි මට්ටම පෙන්විය යුතුයි. රත්තරන්වල මිල තීරණය වෙන්නේ ලෝක වෙළඳපලේ ඒ ඒ දිනවලට පවතින මිල අනුවයි. හැමදාමත් රොයිටර් මඟින් bloom bury වල රන් මිල අප්ඩේට් වෙනවා. දවස ගානෙම රන් මිල ඉහළ පහළ යනවා.

කොවිඩ්වලට පෙර හා පසුව රන්මිලේ උච්චාවචනය ගැන අපි ඔහුගෙන් විමසුවෙමු. කොවිඩ් වලට කලින් කැරට් 22 රන් පවුමක් රු. 82,000 තිබුණා. කොරෝනා වලට ලොක්ඩවුන් කරපු රට විවෘත කළාම රු. 95,000 වෙනවා කැරට් 22 රන් පවුම. කොටස් වෙළඳපල වැටුණා. ඇමෙරිකාවේ කොරෝනා වසංගතය නිසා ඩොලරයේ මිල පාලනයක් නැහැ. තෙල් මිල අඩුවුණත් කවුරුත් ආයෝජනයට දිරිමත් නැහැ. ඉඩම්වලත් මිල වැඩිවුණා. මේ අතර ඇමෙරිකාව බ්‍රසීලය ඇතුළු යුරෝපාකරයේ රටවල් කැරට් 24 රත්තරන් bar කිලෝ ගණන් අරන් තියාගත්තා. පහුගිය කාලේ මුදල් ආයෝජනය කරගන්න. මුදල් නාස්ති නොවන නිසා. ඒ නිසා රත්තරන් ගාන වැඩිවුණා. එනිසා ලෝක වෙළඳපලේ රන් මිල වැඩි වුණා. කොරෝනාවලට මාස 3ට පෙර ගිය වසරේ දෙසැම්බරයේ රන් පවුම රු. 74000, 75000 වුණා. 2019 අප්‍රේල් පවුම රු. 65000 යි. 2019 කලින් ඉන්දියාවට මෙහෙන් රන් කුට්ටි හොරෙන් ගිහින් වැඩි මිලට වික්කා. ඒ නිසා 15% tax එකක් රජයෙන් නියම කළා. 2019 දි. ඒ නිසා රජයේ හා වානිජ බැංකුවලටත් 15% tax එක සමඟයි රන් ආනයනය කරන්න සිදුවුණේ. ඒ කරුණත් මිල ඉහළ යාමට හේතුවුණා.

මීට වසර කීපයකට පෙර වෙළඳපලේ රන් මිල රු. 30000 පමණ එකපාරටම අඩුවුණේ ඇයි කියලා මම ඇහුවා.

“ඒ කාලේ කැරට් 22 පවුමට බැංකු ඉහළම උකස් මුදලක් දුන්නා. එකපාරටම රු. 30000 විතර මිල අඩුවුණා. එතකොට උකස් බේරනවට වඩා අලුතින් රන්භාණ්ඩ මිලට ගන්න එක වාසි නිසා මිනිස්සු බඩු බේ‍රුවෙ නැහැ. බැංකු බල කළා උකස් බේරගන්න කියලා. ඒත් හැමෝම බේරුවෙ නැහැ.

ඊට පස්සේ රජය බැංකුවලට නියම කළා රන් බඩුවලට වෙළඳපලේ වටිනාකමට වඩා අඩුවෙන් උකස් ගන්න කියලා.” අමිර්තලිංගම් මහතා කීය.

හෙට්ටි වීදියේ අබිරාම් ජුවලර්ස් අලෙවි නිලධාරී ඩී. නාගරාජන් (44) මහතා පවසන්නේ, “කොරෝනාවලට කලින් රු. 78000 තිබුණු පවුම කොරෝනාවලට පස්සේ රු. 15,000 වැඩි වූ බවයි. විදේශ වෙළඳපලේ රන් මිල ඉහළ යාම අපටත් බලපෑවා. රත්තරන් භාණ්ඩ හදලා ගේන අයගෙන් අපි මිලට අරන් ලාභයක් තියාගන විකුණනවා. ඉස්සර හොඳ අලෙවියක් තිබුණා. දැන් නම් සියයට 50 - 60 ක් අඩුයි. දවසකට පවුම් 5ත් විකුණගන්න බැහැ. ඉස්සර වගේ ලාභෙකුත් නෑ. දැන් මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්නත් තියනවනේ. කොරෝනා ඉවරවුනාම තමයි ලෝක වෙළඳපලේ රන් මිල අඩු වෙන්නේ. එතකොට නම් මිල පහළ යයි.” ඔහු කීය.

හෙට්ටි වීදියේ නිව් ජුවෙල් වන් ආයතනයේ ආර්.එම්. රෙෆ්කාන් පවසන්නේ “කොරෝනා වලින් පස්සේ රන් පවුමක් රු. 15000 විතර වැඩිවී ඇති බවයි. රත්තරන් ලංකාවට එන්නෙ නෑ. බැංකුවලින් ගෙන්නන්නෙත් නෑ. ලංකාව තුළ තියන රත්තරං තමයි කැරකෙන්නෙ. රන් බඩු හදන බාස්ලත් අඩුයි. ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර වගේ දුර පළාත්වලින් ආපු බාස්ලා තාම වැඩට ඇවිල්ලත් නෑ. සමහරු වෙන රස්සා හොයාගෙන. අලෙවියත් අඩුයි. බසාර් එකේ රොටේට් වෙන්නෙ තියන රත්තරන් ටිකම තමයි. කොරෝනාවලට කලින් පවුම් 5, 6 ගියා. දැන් පවුම් 1 1/2 ත් විකිණෙන්නෙ නෑ දවසකට.

හෙට්ටි වීදියේ ගෝල්ඩ් සෙන්ටර්හි එස්. සෙල්ලයියා (73) මහතාටත් රන් ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් තියන අතර ඔහු පැවසුවේ මෙවැන්නකි.

“කැරට් 18, 20, 21, 22 න් නිමවපු රන් බඩු තියනවා. කස්ටර්මස්ලා ඉල්ලන්නේ කැරට් 22. කොරෝනා වලට කලින් රු. 70000 තිබුණු පවුම දැන් රු. 90000 ක්. රන් මිල තීරණය කරන්නෙ ලන්ඩන්, සිංගප්පූරු රොයිටර් වාර්තාවලට අනුවයි. එය ලොවටම බලපානවා. කැරටි 22 ප්‍රමිතිය මනින්න දැන් ජර්මන්, ඉන්දියන් වලින් අලුත් මැෂින් ඇවිත්. එයින් 100% නිවැරදිව දත්ත ලබා දෙනවා.

කොහොම වුණත් රත්තරන් භාණ්ඩ මිලට ගන්න බය වෙන්න ඕනෙ නැහැ. ගත්තාට වඩා ඉහළ මිලකට කොහොමත් විකුණන්න පුළුවන් දිනෙන් දින මිල ඉහළ යන නිසා.”

හෙට්ටි වීදියේ ඩේව් ජුවලරි හි ලෝගේෂ් මහතා මේ ගැන මෙසේ කීවේය. “කොරෝනා හේතුවෙන් ජාත්‍යන්තරයෙන් රත්තරන් දැන් ගෙන්වන්නේ නැහැ. ඒ වගේම බැංකුවලින් උකස් ගත්ත භාණ්ඩ වෙන්දේසියේ විකුණන්නෙත් නැහැ. ඒ නිසා මිල වැඩිවෙලා. අපි රන් ගෙන්වන්නේ මැදපෙරදිගින්. මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ ලයිෂන් තියන අයට රන් පිටරටින් ගෙන්නන්න පුළුවන්. දැන් 15% රජයට බදු ගෙවිය යුතු නිසා ගෙන්නන්නෙ නැහැ. දැනට ජුවලරි සාප්පු 500 විතර ‍මෙහෙ තියනවා. සේවක සේවිකාවන් 5000 විතර ඉන්නවා. මේ තත්ත්වය මත මේ සමහර අයගේ රැකියා පවා අවදානමක තියෙන්නේ. හෙට්ටි වීදියේ අයට වගේම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සමහර රන් භාණ්ඩ අලෙවි හල්වලටත් වෙළඳාම හුඟාක් අඩුයි. ඉස්සර රන්වලට බැංකු රේට් එකක් (මිලක්) තිබුණා. දැන් රත්තරන් වැඩිපුර තියන අය තමයි ඩිමාන්ඩ් කරන්නේ.”

මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරීමේ හා මුද්‍රා තැබීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මෙසේ පැවැසීය.

“රන් මිල වැඩිවෙන්න ප්‍රධානම හේතුව රන් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩුවීමයි. කොරෝනා ප්‍රශ්නය නිසා රන් සැපයුම අඩුවුණා. රන් ආයනයනය කරන අයත් සංචිත ලඟ තබා ගන්නවා. වෙළඳපලේ රන් ප්‍රමාණය අඩුයි. ගුවන් හා නැව් මඟින් ගෙන්වන්නත් බැහැ. ලංකාවට රත්තරන් චීනය, සිංගප්පූරුව, මැලේෂියාව, ඩුබායි වගේ රටවලින් බැංකු හා තවත් අනුමැතිය ලත් ආයතන කීපයක් මඟින් ගෙන්වනවා. ඊට අමතරව බැංකුවලින් වෙන්දේසි කරද්දිත් වෙළඳපලට එනවා. ඒවා දැන් අඩුයි.

ඛනිජ තෙල් මිල පහළ ගියාට ඒක රන් වෙළඳපලට බලපෑමක් කරන්නෙ නැහැ. එය වෙනමම ක්‍රියාවලියක්. ඛණිජ තෙල් හා රන් අතර සම්බන්ධයක් නැහැ එතරම්ම.”

වෙළඳපලේ මිල අධිකම සුදු රත්තරන් ගැන ද මම විමසුවෙමි.

“අපි ගෙන්වන්නේ පිරිසිදු කහපාට කැරට් 24 රත්තරන්. එයට පැලේඩිම් ලෝහය එකතු කළාම සුදු පාටට හැරෙනවා. පැලේඩියම් ලෝහය සමහර වෙලාවට රන්වලටත් වඩා මිලයි. කැරට් 14, 18 සුදු රත්තරන් හදනවා. ලංකාවෙ අය පුරුදුවෙලා තියෙන්නෙ කහ රත්තරන් වලට. සුදු රත්තරන් ශක්තිමත් වුණාට බැංකුවලට උකස් ගන්නෙත් නැහැ. කොහොම වුණත් අගෝස්තු පමණ වන විට මේ කොරෝනා යහපත් වුණොත් රන් මිල අඩුවේවි.”

සේයාරූ - සමන්ත වීරසිරි

Comments