කිසිදා බොඳ නොවන සිතුවම : සිබිල් නැන්දාට ආයුබෝවන්! | සිළුමිණ

කිසිදා බොඳ නොවන සිතුවම : සිබිල් නැන්දාට ආයුබෝවන්!

සිබිල් නැන්දා
සිබිල් නැන්දා

සිබිල් වෙත්තසිංහයන් යනු ළමා ලෝකයේ වීරවරියකි. ඒ මන්දයත් නාගරික කර්කෂක ජන සමාජයේ වෙසෙන දරුවන් පවා ගම්මානයේ සුන්දරත්වයෙන් නහවාලන්නට ඇය තම කෘති තුළින් මහා මෙහෙයක් කළ නිසාය. මේ නිසාම දරුවන් ගේ මාපියන් තරමටම සිබිල් නැන්දා ද ඔවුනගේ ළඟම හිතවතියක විය. නොපෙනෙන, නොදැනෙන ලෝකය දරුවන්ට පෙන්වා දීමට ඇය තම ජීවිත කාලයෙන් වසර 60කටත් වඩා කාලයක් ගෙවීය. මේ අතරතුර ඇය දරුවන් වෙනුවෙන්ම කෘති 250 කටත් වඩා එළිදක්වා ඇත්තේ අපරිමිත සෙනෙහසකිනි. එවන් වූ සෙනෙහස අහවරව ගියේ පසුගිය ජූනි 30 රාත්‍රි 11.00 ට පමණ සිබිල් නැන්දා දෙනෙත් පියාගත් පසුය. දේහය පළමුව ඇය සිටි නිවස වෙත ගෙන ඒමෙන් අනතුරුව පසුව පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ගියහ. දහසක් දෙනකුගේ දුක් සෝ සුසුම් මැද පසුගිය සිකුරාදා සිබිල් නැන්දා ගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ බොරැල්ල කනත්තේදීය.

 

1927 වසරේ ඔක්තෝබර් 31 වැනිදා දකුණු ලක සුන්දර ගම් පියසක් වූ ගිංතොට උපන් සිබිල් ද සිල්වා තම මූලික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පියනගනු ලබන්නේ ගිංතොට මිශ්‍ර බෞද්ධ පාඨශාලාව වෙතය. නමුදු තම ගම් පියසෙහි පිහිටි පාඨශාලාවෙන් වැඩි කාලයක් අධ්‍යාපනය ලබන්නට ඇයට වරම් නොලැබුණේ මාපියන් හා සියලු දෙනා අගනුවර බලා පැමිණීමට සිදු වූ නිසාය. අගනුවරට පැමිණි කුඩා සිබිල් තමා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූයේ තම මාපියන් සතුව තිබූ දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම යහපත්ය යන මතය තිබූ නිසාවෙනි.

සිබිල් වෙත්තසිංහ ගිනස් වාර්තා පොතට

මීට වසර කිහිපයකට පෙර ගුවන්විදුලි සංස්ථාව මගින් ඉදිරිපත් කළ වැඩසටහනක දී ඇය පවසා සිටියේ තමා කුඩා සන්දියේදී සීයා එවක නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව කැණීම් කළ ස්ථානවල චිත්‍ර ඇඳීමේ කටයුතුවල නිරතව සිටි බවත් ඇය විසින් ඔහුට දහවල් ආහාරය ගෙන යන විට සීයාගේ චිත්‍ර දැකීමෙන් ඒ පිළිබඳ වඩාත් ආශාවක් ඇති වූ බවය. කෙසේ වෙතත් සිබිල් වෙත්තසිංහ මහත්මියට කුඩා කාලයේදීම තම චිත්‍ර අංශය වැඩි දියුණු කර ගැනීම සඳහා ඇයගේ පියා ගෙන් මනා පිටිවහලක් ලැබුණි.

තම දියණියගේ සිතුවම් දෙස බලා හිඳි ඔහු ඇය විසින් සිතුවම් කරන ලද චිත්‍රයක් ලංකා කලා සංගමය මගින් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්නට කටයුතු කළේය. එයම කුඩා සිබිල්ට වෙස්වළාගත් ආශිර්වාදයක් විය. මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන අතරවාරයේ එය නැරඹීමට පැමිණි එච්. ඩී. සුගතපාල මහතා කුඩා දැරියගේ සිතුවම් අලංකරණය පිළිබඳ පැහැදී තමාගේ "නවමග" පස්වන ශ්‍රේණියේ කියවීම් පොතෙහි චිත්‍ර නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන්නේය. මේ සමය වන විට ඔහු "නවමග" අතිරේක කියවීම් පොත් පෙළෙහි සම්පාදකවරයා ලෙසද කටයුතු කළේය. එතෙක් මෙතෙක් සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කළ සිංහල සහ ඉංග්‍රීසි කෘතින් 250කට වඩා අධික වුවද පළමුව ඇඳි සිතුවම් පෙළ දැක්වෙන්නේ මෙකී පොත් පෙළෙහිය.

වැදගත්ම සිදුවීම වන්නේ පාසල් සමය හමාරව ඇය තම තුණු වියේදීම ලංකාදීප පුවත්පත හා පුවත්පත් කලාවේදිනියක් ලෙසින් සම්බන්ධ වීමය. වයස අවුරුදු දහනවයේදී ලංකාදීප පුවත්පත හා සම්බන්ධ වූ සිබිල් ද සිල්වා අවුරුදු 28 දී පත්තර මහගෙදර වූ ලේක්හවුස් ආයතනය හා සම්බන්ධ වීමට වරම් ලැබු අතර එහිදී ඇය සන්ඩේ ඔබ්සවර්, දිනමිණ, සිළුමිණ හා සරසවිය පුවත්පත් සමඟ සම්බන්ධව කටයුතු කළාය. සිබිල් වෙත්තසිංහ මහත්මිය සම්බන්ධයෙන් සටහනක් ලියන්නේ නම් ඇය සම්බන්ධයෙන් වෙනම පරිච්ඡේදයක් වෙන් කළ යුතු කතාන්දරයක් වේ. එය නමින් "කුඩ හොරා" ය. මන්ද එය ලේක්හවුස් ආයතනයට ද මනා සම්බන්ධතාවයක් ඇති නිසාය.

"කුඩ හොරා" කතාන්දරය ලිවීම පසුපස ඇත්තේ ඉතාමත් රසවත් කතාවකි. ඇය ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීමෙන් පසුව එහි නිර්මාණ කටයුතුවල යෙදෙමින් හිඳින අවදියේදී "ජනතා" පත්‍රයේ උප කර්තෘවරයකු වූ ධර්මපාල වෙත්තසිංහ මහතා ඇයට අපූරු යෝජනාවක් ගෙන එන්නට විය. එනම් තම පුවත්පතේ ළමා පරපුර උදෙසා කතාවක් නිර්මාණය කරන ලෙසයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස "ජනතා" පත්‍රය වෙනුවෙන් ඇය "කුඩ හොරා" නමින් කතාවක් ලිවීම ආරම්භ කළාය. 1980 දශකයේ මුල් භාගය සිබිල් වෙත්තසිංහ මහත්මියට ඉතා වැදගත් විය. ඊට හේතුව වූයේ පොත් නිර්මාණ ශිල්පීන්ගේ තරගයක් උදෙසා ඇය විසින් "කුඩ හොරා" කතා පොත ඉදිරිපත් කිරීමය. එහිදී එය වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මියට ලෝකයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකි විය. අනතුරුව 1986 වසරේදී ජපානයේ දී හොඳම විදේශීය ළමා කෘතිය ලෙසින් පැසසුම ලබන්නට ද සමත් වූයේ "කුඩ හොරා" කතාවයි. සිබිල් නැන්දාගේ "කුඩ හොරා" පරිච්ඡේදය අවසන් කිරීමට ප්‍රථම තවත් එක් යමක් මතක් කළ යුතුව තිබේ. එනම් කුඩ හොරා කතාන්දරය "ජනතා" පුවත්පත සඳහා රචනා කරන්න යැයි ආරාධනා කළ ධර්මපාල වෙත්තසිංහයන් පසුකාලීනව ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද වීමය. එතැන් සිට ඇය තම නම සිිබිල් වෙත්තසිංහ නමින් භාවිත කරන්නට විය.

ඒ හා සමඟම 1987 වසර වන විට ටෝකියෝ නුවර පැවති ළමා පුස්තකාල මගින් එම වසරේ ජනප්‍රියම ළමා කෘතිය ලෙසින් ද එය තෝරා ගන්නට විය. මෙයින්ද "කුඩ හොරා" ළමා කෘතිය සම්බන්ධයෙන් පවතින ජනප්‍රියත්වයේ හෝ ඇගයීමේ අඩුවක් නොවීය. ඉන් මතු ද නොනැවතී එම කෘතිය උදෙසා ලැබුණු අනෙක් පැසසුම වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ස්විඩනය, ජපානය, චීනය ඇතුළු රටවල් 12ක් එකී රටවල භාෂාවෙන් මෙහි පරිවර්තනය සිදුකිරීමය.

සිබිල් වෙත්තසිංහයන් ගේ චිත්‍ර නිර්මාණ හා කතාන්දර

ජාත්‍යන්තරව ලැබුණු සම්මාන පැසසුම් පිළිබඳ කතාබහ කිරීමේ දී යළිත් 1965 වසර වෙත පියමන් කිරීම වටී. මන්ද එම වසරේ දී "වෙසක් පහන" නමින් ඇය විසින් නිර්මාණය කරනු ලැබූ කෘතිය වෙනුවෙන් මහා බ්‍රිතාන්‍ය පුද කරනු ලබන " ඉසොබෙල් හටින්" සම්මානය හිමිවීම ද කිවයුතුමය. තවද 2003 වසරේ සාක් සම්මාන උළෙලේදී ඇයගේ "දුවන රැවුල" කෘතිය හොඳම සැලසුම සහිත ළමා පොත ලෙසින්ද සම්මාන ලබන්නට සමත් විය. 2008 වසරේදී ඇය විසින් එළිදක්වනු ලැබූ " පොඩ්ඩයි පොඩ්ඩියි" කෘතිය ද මුලින් ම පළ වූයේ ජපානයේ දීය.

වයස අවුරුදු 90 ඉක්ම වුව ද ඇයගේ කතා රචනා ශෛලිය මෙන්ම සිතුවම්කරණය දිනෙන් දින වර්ධනය වීමක් සිදු වූවා මිස එහි සෘණාත්මක අගයක් කිසිදු දිනක දක්නට නොවීය. ඇය තම නිර්මාණ එළි දැක්වීමේ දී තම ළමා කාලයේ රසමුසු තැන් ස්පර්ශ කරමින් ඒ හා සමගාමීව කතා ගෙතීමටත් සිතුවම් ඇඳීමත් සිදු කළාය. ඒ සම්බන්ධයෙන් ගෙනහැර පා හැකි එක් උදාහරණයක් වන්නේ 2003 වසරේදී හොඳම සැලසුම්සහගත කෘතිය වශයෙන් නම් වූ "දුවන රැවුල" ළමා කෘතියයි. කුඩා සන්දියේ දී තම ලොකු අම්මාගේ පොල්ලෙලි කම්හලේ දී වෙළඳුන්ට ලබාදුන් පොල්කොහු ඇය දුටුවේ කවර හෝ යෝධයකුගේ රැවුලක් ලෙසිනි. ළමාවියේ මතකය තුළින් ඇය වියපත් ව සිටින විට ඇයගේ "දුවන රැවුල" කෘතිය නිර්මාණය කිරීමට පාදක කරගනු ලැබුවේ එයයි.

දැන් සිබිල් නැන්දා තමාගේ මෙහෙවර ඉටු කොට අවසන්ය. යම් විටක ඇය විවේක ගැන්විය යුතු යැයි සොබාදම් මාතාව ද සිතුවා වන්නට පිළිවන. ඒ කවරක් වුවත් තම ජීවිත කාලයෙන් අර්ධ ශතකයටත් වඩා ළමා ලෝකය වෙනුවෙන් කාලය මිඩංගු කළ සිබිල් නැන්දාගේ මතකය තවත් ශත වර්ෂයක ගණනාවක කාලයක් නොමැකී පවතින බව නොඅනුමානය.

Comments