ආර්ථිකය ගොඩනංවන්න මහ බැංකුවෙන් මූල්‍ය සහන රැසක් | සිළුමිණ

ආර්ථිකය ගොඩනංවන්න මහ බැංකුවෙන් මූල්‍ය සහන රැසක්

කොරෝනා වසංගතය බිඳවැටුණු ව්‍යාපාර බලගැන්වීමට පෙරට එන “කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය” සහ “ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය”යෙන් ප්‍රතිලාභ ලබාගන්නේ කෙසේදැයි බොහෝදෙනෙකු විමසා සිටින කරුණකි.

මේ පිළිබඳව අවධානය යොමුකළ අප කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමඟ බිඳවැටුණු ක්ෂූද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කෘෂි, කර්මාන්ත සහ සේවා ආයතන සියල්ල යළි ශක්තිමත්ව නඟා සිටුවීමට රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශ වාණිජ හා විශේෂිත බැංකු ජාලයම සහභාගි කරවාගෙන ක්‍රියාවට නංවන ඉහත යෝජනා ක්‍රම දෙකෙන් ප්‍රතිලාභ ලබාගන්නේ කෙසේදැයි, ඒ සඳහා බැංකු පද්ධතියට මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන්දැයි විමසා බැලුවෙමු. මේ එහි සංක්ෂිප්තයයි.

මෙරට සමස්ත ආර්ථිකයට සම්බන්ධ විවිධ අංශ කරා විහිදී යන ප්‍රතිලාභ අත්කර දීමට සමත්වන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලැබීය. මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා රටේ ආර්ථිකය ස්ථාවරව පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව සිත්හි තබා මහ බැංකුව කටයුතු කළේය.

මුදලේ අගය සහ භාණ්ඩ ‍හා සේවාවල මිල නිරන්තරයෙන් වෙනස්වීමකට ලක්නොවන ලෙසත්, රටේ මූල්‍ය, බැංකු හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිතව හා ස්ථාවරව තැබීමටත් මෙමඟින් අපේක්ෂා කැරිණි. ඒ අනුව රැකීරක්ෂා, ජනතාවගේ ආදායම් වියදම් ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම පරිභෝජන අවශ්‍යතා ද සපුරාලමින් සාමාන්‍ය ජනජීවිතය සුමට ලෙස ගලා යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමට හැකියාව උදා විය. රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට වඩාත් ගැළපෙන මට්ටමට පොලී අනුපාතිකය පහත තබාගැනීම, මුදල් හා මිල මට්ටම් ස්ථාවරව පවත්වා ගැනීම, දේශීය මුදල් වෙළෙඳපොළ කළමනාකරණය කිරීම, ශ්‍රී ලංකා රුපියලේ අගය ආරක්ෂා කිරීම, රජයේ ණය කළමනාකරණය කිරීම, ජාතික ගෙවීම් හා පියවීම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම, සේවක අර්ථසාධක අරමුදල මෙන්ම තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අරමුදල කළමනාකරණය කිරීම යනාදී කාර්යයන් රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ යුතුව තිබේ. මේ තමන් වෙත පැවරුණු වගකීම් මේ සියවසේ දුෂ්කරම අභියෝගය වන මේ වන විට මුහුණදී තිබෙන තත්ත්වය හමුවේ පවා බිඳ නොවැටී මහ බැංකුව ඉටුකොට ඇත.

මෙරට ආර්ථිකයට එල්ල වූ දැඩි බලපෑම සමනය කිරීම සඳහා මේ අවස්ථාවේ බිඳවැටුණු ව්‍යාපාර යළි ශක්තිමත්ව බලගැන්විය යුතුය. ඒ සඳහා කළ යුත්තේ අඩු පොලී අනුපාත යටතේ ව්‍යාපාරිකයන්ට සහ නව ආයෝජකයන්ට අරමුදල් සපයා දීමට බැංකු පද්ධතිය සූදානම් කිරීමය. එපමණක් නොව ගනුදෙනුකරුවන් ඉල්ලන සැණින් ණය මුදල් ලබාදීමට බැංකු පද්ධතිය සූදානම් නොවී තිබීම නිසා ගනුදෙනුකරුවන්ගෙන් විවිධ ඇප ඉල්ලීම් සහ සුරැකුම් ඉල්ලා සිටින අවස්ථාවේදී ඒ වෙනුවෙන් යම් සහනයක් ගනුදෙනුකරුවන්ගේ පාර්ශ්වයෙන් ලබාදීමට මැදිහත් වීමය.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාර්යයන් දෙකම ඉටුකරමින් සිටී. පොලී අනුපාතික අඩු කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අඩු පොලියට ණය මුදලක් ලබාගැනීමට අවස්ථාව උදා වී තිබේ. වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පතු ලෙස අනිවාර්යයෙන් ම පවත්වාගෙන යා යුතු මුදල් ප්‍රමාණය (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) අඩුකොට ඇත. මහජනතාවගේ සෑම රුපියල් තැන්පතුවකින්ම 5% ලෙස පවත්වාගෙන යා යුතුව පැවති එම තැන්පතු අවශ්‍යතාවය වරින්වර මහ බැංකුව අඩුකරන ලදී. එය මේ වන විට 2% මට්ටමේ පවතී. මේ ක්‍රියාමාර්ගය හරහා මහ බැංකුවේ රඳවාගෙන පැවැති වාණිජ බැංකුවල තැන්පතුවලින් රුපියල් කෝටි 18,000 කට අධික මුදලක් වාණිජ බැංකු වෙත නිදහස් කිරීම සිදුවේ. මේ අතිරේක මුදල යොදාගෙන අමතර අවදානමකින් තොරව වැඩි ණය මුදල් ප්‍රමාණයක් ගනුදෙනුකරුවන්ට නිකුත් කිරීමට බැංකු පද්ධතියටම හැකියාව ලැබී තිබේ.

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා ණය වාරික අය නොකර සිටීමේ වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 5000 ක ණය ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමයක් ද මහ බැංකුව ක්‍රියාත්මක කොට බැංකු පද්ධතියට සහන සලසා දී තිබේ.

මූල්‍ය සමාගම්වලට හා කල්බදු සමාගම්වලට අදාළව ද්‍රවශීලතා වත්කම් අනුපාත පහත දැමීමෙන් සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ද්‍රවශීලතා අරමුදල මඟින් මුදල් සමාගම් වෙත රුපියල් කෝටි 2000 ක ද්‍රවශීලතා පහසුකමක් ද ලබාදීමට මහ බැංකුව පියවරගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය අප රටේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත අංශය සහ සේවා අංශ දියුණු කිරීම සඳහා විවිධ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරයි. මහජනතාව වෙත අඩු පොලියට ණය මුදල් නිකුත් කරන අතර ඒ සඳහා බැංකු පද්ධතියට වැඩි පොලියක් ගෙවීම මේ යටතේ සිදුවේ.

එහිදී ගනුදෙනුකරුවාට පොලී සහනයක් ලැබෙන අතර බැංකු පද්ධතියේ කටයුතුවලට ද අගතියක් ‍සිදු නොවන පරිදි වැඩි පොලියක් ඔවුන්ට ලබාදීම ද සිදුවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා මේ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම බැංකු මඟින් ක්‍රියාවට නංවයි. මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය මත 4% ක් වැනි වාර්ෂික පොලියකට ව්‍යාපාර බලගැන්වීමට පුනරුද ණය යෝජනා ක්‍රම යටතේ අරමුදල් ලබාගැනීමට ඉඩකඩ විවෘත කොට ඇත. දැනටමත් රුපියල් කෝටි 3000 කට ආසන්න මුදලක් ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කොට ඇත.

ඊට අමතරව පීඩාවට පත්වූ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් බැංකුවලට ලබා දෙන ණය කඩිනමින් මුදාහැරීම සඳහා මහ බැංකුව විසින් කුඩා ණය වෙනුවෙන් 80% සහ විශාල ණය වෙනුවෙන් 50% ක ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇත. මේ තුළින් මේ වන විට මෙරට ආර්ථිකයේ ප්‍රබෝධයක් කඩිනමින් සිදුවෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සහන සමඟින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යාපාර දියුණු කිරීම සදහා රුපියල් බිලියන 15 ක් (රුපියල් කෝටි 1500ක) ණය වශයෙන් ලබාදීමට සූදානම් බවයි. මෙම ණය මුදල් කඩිනමින් මුදාහැරෙන අතර ඒවා ලබාගන්නා පිරිස් නිසි පරිදි ඒවා ආපසු ගෙවීමට සහ නැවත නැඟී සිටීමට අවස්ථාවක් කර ගැනීමට සිතාගත යුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘අප රටේ ගම්බද ජනතාව සහ ගම්බද පළාත් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට අප බැංකුව සූදානම්. ගම්බද ජනතාව දුප්පත් නැහැ. ඔවුන් අභිමානවත් පිරිසක්. නමුත් දුර්වලතාවයකට පවතින්නේ ඔවුන්ට තමන්ගේ සම්පත් නිසිලෙස කළමණාකරණය කරගැනීමේ අපහසුතාවයයි. මේ දුරැලීමට බැංකුකරුවන් ලෙස විශාල වගකීමක් පැවරෙනවා. ඒ ඒ පළාත්වල කෘෂිකාර්මික කටයුතු නිසි කළමණාකාරීත්වයක් සහිතව විධිමත්ව ගොඩනඟා ගොවීන්ට ඉදිරියට ඒමට අප ඉඩදිය යුතුයි. මේ සඳහා බැංකුකරුවන් ලෙස අප අලුත් දැක්මක් ඇති මෙහෙවරක නියැළිය යුතුයි. “සෞභාග්‍යයේ දැක්ම” අපට ඒ සඳහා පදනම් කරගත හැකියි‘

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන විධායක නිලධාරි ටී. කුහන් පවසන්නේ බිඳවැටුණු ආර්ථිකය සවිමත් කිරීමට රජයත්, මහ බැංකුවත් ලබා දෙන ණය යෝජනා ක්‍රම අප බැංකුව කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා අවශ්‍ය තරම් අරමුදල් ඔවුන්ට තිබෙන බවත් ගම් මට්ටමේ පවතින සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ස්වදේශීක ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් රටේ වත්මන් සහ අනාගත පරපුරේ සෞභාග්‍යය සැලසීමට දැන් අවස්ථාව උදා වී තිබෙන බවත් ඔහුගේ අදහසයි. මේ උදා වූ අවස්ථාව මඟ නොහැර නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජාතිය ගොඩනැඟීමට දායක වීම අප කාගේත් යුතුකම හා වගකීම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

Comments