අමරණීය සූරිය මලක වරුණ | සිළුමිණ

අමරණීය සූරිය මලක වරුණ

ටත් විජිත ලංකාවේ ප්‍රභූ පන්තියේ දූ දරුවන්ගෙන් වැඩි පිරිසක් සුවිශේෂ මාර්ග දෙකකට අවතීර්ණ වූහ. සංස්කෘතික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පිරිස තම ජීවිතය කලාව වෙනුවෙන් අසීමිත අයුරින් කැප කොට මා හැඟි චිරකාලීන අමිල ජාතික මෙහෙයක් ඉටු කළහ. තවත් පිරිසක් මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය ආරම්භ කොට එමගින් අධිරාජ්‍ය විරෝධී අරගලය දියත් කොට පීඩිත පන්තියේ විමුක්තිය සදනු වස් තම ජීවිත කැප කළහ. මේ දෙපිරිසම වරප්‍රසාදිත රැකියාවල නිරත වී ඉසුරුමත් ජීවිත ගත කිරීමට පැහැදිලි මාවත් විවෘතව තිබියදී ඒ සියල්ල හැර දමා නිමග්න වූ දුෂ්කර චාරිකාව සියලු පරමාදර්ශ උඩු යටිකුරු වූ වර්තමානයේ ජීවත්වන අපට ‘සිතින් සිතා ගන්ටත් බැරි’ තරම්ය.

 

ලාංකේය දේශපාලන ඉතිහාසයේ සාඩම්බරවූත් කීර්මත්වූත් දේශපාලන ව්‍යාපාරයකට මඟ හෙළි කළ මානව හිතවාදියකු වන සුගීෂ්වර අබේවර්ධන වික්‍රමසිංහ අකුරැස්සට නුදුරු අතුරලිය ග්‍රාමයේදී උපත ලැබුවේ 1901 වර්ෂයේ අප්‍රේල් මස 13 දිනය. ඔහුගේ පියා තේදියස් ෆර්ඩිනන්ඩ් අබේවර්ධන වික්‍රමසිංහ ඉඩම් හිමි ධනවතෙකි. ගබෝනා නාගහවත්ත ඔහුගේ මවය. ගමේ පන්සලෙන් ඉගෙනීමට අත් පොත් තැබූ සුගීෂ්වර ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කෙරිණ. මහින්ද විද්‍යාලය යනු බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රතිථලයක් ලෙස පරම විඥාර්ථවාදී බෞද්ධ සමාගම මගින් මිෂනාරීන්ගේ යටත් විජිත ගැති අධ්‍යාපනයට සපුරා වෙනස් දේශීයත්වය අගයන අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් ස්ථාපිත කෙරුණු පාසල් අතුරින් එකකි. එවක එහි විදුහල්පති එෆ්. එල්. වුඩ්ර්ඩ් මෙන්ම උප විදුහල්පති එෆ්. ගෝර්ඩ්න් පියර්ස් ද පරම විඥාර්ථවාදී සමාගමේ අරමුණු මුදුන්පත් කිරීමට කැප වී ක්‍රියා කළේය. මහින්ද විදුහලෙන් සුගීෂ්වරගේ ජීවිතය නව මගකට යොමු කිරීමට පදනම වැටිණ. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කෙරුණු අතර ආනන්ද විද්‍යාලය ද පරම විඥාර්ථවාදී බෞද්ධ සමාගම මගින් පාලනය කරන ලද්දකි. නව යොවුන් සුගීෂ්වරට එහිදී අධිරාජ්‍ය විරෝධී ආකල්ප දැරූ මිතුරන් ස්වල්ප දෙකනු ද හඳුනා ගැනීමට ද අවස්ථාව උදා විය. පාසල් අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කළ සුගීෂ්වර කරුණයා 1920 වර්ෂයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. මූලික වෛද්‍ය උපාධිය නිම කොට පශ්චාද් උපාධි සුදුසුකම් සපුරාලනු වස් ඔහු 1926 දී එංගලන්තය බලා නික්මුණේය.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පශ්චාද් උපාධි සුදුසුකම් නියමිත පරිදි සම්පූර්ණ කරන අතරේ ලංකාවෙන් එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි තරුණ විද්‍යාර්ථීන් ලන්ඩනයේ පිහිටුවා තිබුණු ලංකා ශිෂ්‍ය සංගමයේ දේශපාලන සාකච්ඡාවලට සුගීෂ්වර ඉතා උද්‍යෝගයෙන් සහභාගි විය. එහිදී සිදුවූ සාකච්ඡාවල වැදගත් ස්ථානයක් ලංකාවේ සමාජවාදී දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම කෙරෙහි යොමු වී තිබිණ. මේ කණ්ඩායමට සුගීෂ්වර ඇතුළුව පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එන්. එම්. පෙරේරා අයත් වූහ. මේ කණ්ඩායම ඉන්දියානු ජාතික ව්‍යාපාරය සහ මාක්ස්වාදී ප්‍රවාහය සමඟ ද සමීප සබඳතා පැවැත්වූහ. සුගීෂ්වර වික්‍රමසිංහ 1928 දී එංගලන්තයේ සිට නැවත ලංකාවට පැමිණෙන විට මාස කිහිපයක් ඉන්දියාවේ ගත කොට ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයට ද සහභාගි විය. ඉන් පසු වරින් වර ඉන්දියාව බලා පිටත් වූ සුගීෂ්වර 1931 දී මහත්මා ගාන්ධිගේ පුරෝගාමිත්වයෙන් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලද පිරිසට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. සිරගතව සිටි මහත්මා ගාන්ධි බැලීමට ද ඔහු ගියේය. ඒ අතරතුර කාලයේ ශාන්ති නිකේතනයේදී රබින්ද්‍රනාත් තාගෝර් ද හමු විය.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් පසු ලංකාවට පැමිණි සුගීෂ්වර අබේවර්ධන වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ආරෝග්‍ය ශාලාවේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස පත් කෙරිණ. වලස්මුල්ලේ සේවය කළ කාලයේ දොස්තර වික්‍රමසිංහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන කටයුතුවල නිරත සිටි ඩී. එම්. රාජපක්ෂ සමඟ සමීප සබඳතා පැවැත්වීය. ඇතැම් දිනවල සුගීෂ්වර වික්‍රමසිංහගේ රාත්‍රී නවාතැන වූයේ ඩී. එම්. රාජපක්ෂගේ නිවසයි. ඩී. එම්ගේ අධිරාජ්‍ය විරෝධී දේශපාලනය වාමාංශික නැඹුරුවක් ගැනීමට මේ ඇසුර හේතු වන්නට ඇත.

සුගීෂ්වර ඇතුළු වාමාංශික දේශපාලන දැක්මක් සහිත තරුණ පිරිස ලංකාවට පැමිණ දීප ව්‍යාප්තව තරුණ සංගම් පිහිටුවමින් කළ දේශපාලන මැදිහත්වීම නව දේශපාලන චින්තනයක් මෙරට ප්‍රචලිත කිරීමට අනුබල සැපයීය. වෘත්තීය සමිති සීමාව තුළ කටයුතු කළ කම්කරු පන්තිය වාර්ගික ආගමික අගතිවලින් බැහැර කොට ඔවුන්ට දියුණු දේශපාලන චින්තනයක් හඳුන්වාදීමට මේ පිරිස කටයුතු කළහ. අධිරාජ්‍යවාදීන් දෙවන ලෝක යුද්ධයේදී ආබාධිත වූ සොල්දාදුවන්ගේ සුබසාධනය උදෙසා දියත් කළ පොපි මල් ව්‍යාපාරයට එරෙහිව සේවා මුක්ත භටයන් පිරිසකගේ මූලිකත්වයෙන් ඇරඹුණු සූරියමල් ව්‍යාපාරය වාමාංශික තරුණ දේශපාලන ක්‍රියාධරයන් විසින් අධිරාජ්‍ය විරෝධී පුළුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමත් සමඟ මෙරට පීඩිත ජනතාවගේ ප්‍රසාදය දිනාගත් ප්‍රබල සමාජ ව්‍යාපාරයක් බවට කෙටි කලකින්ම පත්විය. 1931 වර්ෂයේ ආරම්භ කෙරුණු සූරියමල් ව්‍යාපාරය ඉටු කළ කාර්යභාරය ඔවුන්ගේ පසු කාලයේ දේශපාලන වැඩකටයුතුවලට මහත් රුකුලක් විය. සමසමාජ පක්ෂය ආරම්භ කිරීමටත් පෙර දොස්තර සුගීෂ්වර අබේවර්ධන වික්‍රමසිංහ 1931 වර්ෂයේ මොරවක ආසනයේ මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. 1934 - 35 කාලයේදී දැඩි නියඟයකට පසු ආහාර අර්බුදයක් ද ඇති වූ අවස්ථාවේ මුළු රට පුරා මැලේරියා වසංගතය ව්‍යාප්ත වෙමින් පැවති අවස්ථාවේ සූරියමල් ව්‍යාපාර අසරණ වූ මිනිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ආහාර සපයමින් ඉටු කළේ දැවැන්ත කාර්ය භාරයකි.

සුගීෂ්වර වික්‍රමසිංහ 1936 පැවති මැතිවරණයෙන් පරාජයට පත් වුව ද 1947 අතුරු මැතිවරණයෙන් නැවතත් මොවක ආසනය දිනා ගැනීමට සමත් විය. ඉන් පසු 1956 සිට1977 දක්වා අකුරැස්ස ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස මහජන සේවයේ නිරත විය. මෙරට අධ්‍යාපනය පිළිබඳ සුගීෂ්වර වික්‍රමසිංහට මනා දැක්මක් තිබිණ. ඔහු වසර කිහිපයක් පරම විඥාර්ථවාදී බෞද්ධ සමාගමේ පාසල්වල සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් බෞද්ධ පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය සඳහා විශේෂ කාර්ය භාරයක් ඉටු කළේය. ලංකාවේ කාර්මික සහ කෘෂිකාර්මික සංවර්ධනය ගැන මෙන්ම වාරි කර්මාන්තය පිළිබඳව ද සුගීෂ්වර වික්‍රමසිංට තිබුණු තියුණු ඉදිරි දැක්ම ඔහු විසින් රචිත ‘ඉදිරි මග’ පුස්තිකාවේ දැක්වේ. එබඳු ඉදිරි දැක්මකින් තොරව ක්‍රියාත්මක කළ නිල්වලා සහ ගිං ගඟ සංවර්ධන යෝජනාක්‍රම වර්තමානයේ ඒ ප්‍රදේශවල ජනයාට අත් කර දී තිබෙන්නේ මහත් දුර්දශාවකි. 1981 අගෝස්තු මස 28 වන දින මේ ශ්‍රේෂ්ඨ මානවහිතවාදියා දැයෙන් සමු ගත්තේය.

Comments