පාකිස්ථානය විනාශ කිරීමට අවශ්‍ය කාටද? | සිළුමිණ

පාකිස්ථානය විනාශ කිරීමට අවශ්‍ය කාටද?

සුගිය සඳුදා පාකිස්ථානයේ කොටස් වෙළෙඳ පොළ ගොඩනැගිල්ලට හදිසියේ කඩා වැදුණු පිරිසක් එහි ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගනිමින් සිදු කිරීමට උත්සාහ දැරූ මහා විනාශයක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

මේ පිරිස සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති අතර එයින් පුද්ගලයන් එකොලොස් දෙනෙකු මිය ගොස් තිබේ. ඒ අතරින් සිව් දෙනෙකු ප්‍රහාරයට පැමිණි පිරිස වශයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස පකිස්තාන හමුදා භටයන් සහ කොටස් ⁣වෙළෙඳපොළ ආරක්ෂක අංශ ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය සඳුදා උදෑසන 10ට පමණ ප්‍රහාරකයන් කරච්චි නගරයට ඇතුළු වී ඇති අතර මෝටර් රථයකින් කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට කඩා වැදී තිබේ. එහෙත් පහත මාල⁣යේදී සිදුවූ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයන් ගේ ප්‍රහාරය ව්‍යර්ථ කර දැමීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබේ. එය ඉමහත් සැනසිල්ලට කරුණක් බව පාකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ මේ පිරිස හුදෙක් ප්‍රහාර එල්ල කිරීමට පමණක් නොව ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගැනීමේ අරමුණකින්ද යුක්තව පැමිණ ඇති බවට සාක්ෂි රැසක් දක්නට ලැබෙන බැවිනි.

ප්‍රහාරකයන් අමතර ඒ.කේ 47රයිෆල, උණ්ඩ, අත් බෝම්බ සහ තවත් පුපුරන ද්‍රව්‍ය රැසක් රැගෙනවිත් තිබේ. අවිආයුධවලට අමතරව ඔවුන් ආහාර සහ පානීය ජලය යනාදිය රැගෙන ඒමෙන් තහවුරුවන්නේ ඔවුන් දින කිහිපයක් පුරා ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගැනීමේ බලාපොරොත්තුවකින් පසුවන්නට ඇති බව යැයි පාකිස්ථාන ආරක්ෂක අංශ පෙන්වා දේ.

මේ වන විට කඩා වැටුණු ආර්ථිකය මතට කොවිඩ් වසංගතය පැමිණීමෙන් දැඩි අපහසුතාවන් මැද පවතින පාකිස්ථාන ආර්ථිකය මේ ප්‍රහාරයත් සමග තවදුරටත් කඩා වැටීමිවලට ලක් වනු ඇති බවට සැක නැත. එක් කලෙක න්‍යෂ්ටික බලයද හිමි කර ගනිමින් දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේම බලවතුන් අතරට එක් වෙමින් සිටි පාකිස්ථානය මේ වන විට පණ අදින ආර්ථිකයක් සමග දැඩි අපහසු ගමනක නියැලී සිටී. එතෙක් රට පාලනය කළ දේශපාලනඥයන් පසෙකට විසි කරමින් එරට ජනතාව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුද, පාකිස්ථාන පිළ මෙහෙවූ නායකයකුද වන ඉම්රාන් ඛාන්ට බලය ලබා දුන්නේ ඔහු පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ගනිමිනි.

ඉම්රාන් ඛාන් අති දක්ෂ ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් වරක් ලෝක කුසලානයද පාකිස්ථානයට දිනා දුන්නේය. එතැන් සිට ඔහුගේ දිවියේ එකම එක අරමුණක් විය. එනම් දේශපාලනයයි. එරට දේශපාලනයේ ස්ථාවරත්වයත් ඇති කර ගැනීම සඳහා ඔහුට වසර ගණනාවක් ගත වූයේ ඔහුගේ පවුල් ජීවිතය ඇතුළු බොහෝ කැපකිරීම් ද කළ පසුවය. අවසානයේ පාකිස්ථානය ඔහු අතට පත් වන විට එහි තිබුණේ රටක් නොව රටක නමක් පමණි.

සියල්ල ‘අ’ යන්නේ සිට ගොඩ නැංවීමට ඔහුට සිදුවිය. සැබවින්ම ඔහුට ඒ සඳහා සැබෑ වුවමනාවක්ද තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට විය. එරට ජනතාව එතෙක් පැවති තට්ටු මාරු දේශපාලනයෙන් බැහැර වෙමින් ඉම්රාන් වෙත තැබූ බලාපොරොත්තු ඉශ්ට කිරීමේ අභිලාශයක්ද ඔහු තුළ පැවති බව පැහැදිලි විය.

එහෙත් ඉම්රාන් ඛාන්ට මෙවර ලැබුණු තණ තීරුව කිසිසේත්ම පහසු තණතීරුවක් නම් නොවේය. ඔහුගේ උදව්වට සිටියේ චීනය පමණකි. මුස්ලිම් ලෝකය මට්ටු කිරීමේ අරමුණින් වසර ගණනාවක් අමෙරිකාවේ බළල් අතක් බවට පත්ව, පසුව සියලු ප්‍රයෝජන ගෙන අත්ඇර දමන ලද පාකිස්ථානය බිඳ වැටුණු ආර්ථිකයකින් සහ අන්ත දුගී ජනතාවකගෙන් යුක්තව මහා බරක් ලෙස ඉම්රාන් පිට පැටවුණේය.

ඔහු බලාපොරොත්තු බිඳගත්තේ නැත. විශ්වාසය අත්හැර ගත්තේ නැත. අනික් අතට චීනයද සහායට සිටියේ ඉම්රාන් ඉල්ලන පමණින් මුදලින් සහාය ලබා දුන්නේය.

ඉම්රාන් වැඩ පටන් ගත්තේ තමාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ වියදම් කපා හරිමිනි. ඒ සමග චීනයෙන් ණය ලබා ගනිමින් විනිමය වර්ධනය කර ගනිමින් අසීරු ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට පියවරෙන් පියවර තබද්දී අපායට හෙණ ගැහුවා සේ කොවිඩ් වසංගතය පකිස්තානයට තදින්ම පහර දුන්නේය. මේ වන විට ලෝක කොවිඩ් දර්ශකයේ දොළොස්වැනි තැනට ආසාදිතයන් සිටින පාකිස්ථානයෙන් ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා වී තිබේ. මියගිය සංඛ්‍යාව හාරදහස ඉක්මවමින් තවදුරටත් ඉහළ යමින් තිබේ. රට වසා දැමීමෙන් සිදුවූ ආර්ථීක පීඩනයට අමතරව තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැරිය නොහැකි බරකින්ද මේ මොහොත වන විටත් පාකිස්ථානය පීඩා විඳිමින් සිටින බව ලොවට රහසක් නොවේ.

කොටස් වෙළෙඳපොළ වෙඩි තැබීම සිදුවන්නේ මෙවන් වටාපිටාවක් තුළදීය. ඒ කේ 47 රයිෆල, අත් බෝම්බ, උණ්ඩ සහ තවත් පුපුරන ද්‍රව්‍ය සමග කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට කඩා වැදී ඇති ප්‍රහාරකයන් එම ගොඩනැගිල්ලේ පිරිස් ප්‍රාණ ඇපය’ට ගැනීමේ සූදානමකින් පසු වී ඇති බව පාකිස්ථාන ආරක්ෂක අංශ සැක පහළ කර තිබේ.

මේ ලියන අවස්ථාව වන විටත් ප්‍රහාරයේ වගකීම කිසිඳු සංවිධානයක් විසින් බාරගෙන තිබුණේ නැත. එමෙන්ම ප්‍රහාරයෙන් පසු මියගිය ප්‍රහාරකයන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවුවද එම සිරුරුවලින්ද ඔවුන් අයත් සංවිධානයක් හෝ කණ්ඩායමක් සම්බන්ධව ඉඟියක් ලබා ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබුණේ නැත.

කෙසේ වුවද මෙවන් දැඩි අසීරු අවස්ථාවක පාකිස්ථාන ආර්ථිකය තවදුරටත් බිමට ඇද දමමින් රට අගාදය කරා තල්ලු කිරීමට අවශ්‍යව ඇත්තේ කාටදැයි විමසා බැලීම වැදගත්ය.

ඇතැම් විචාරකයන්ට අනුව මේ ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් තිබිය හැකිය. ඒ පාකිස්ථානය චීනය සමග හොඳ හිත පවත්වා ගන්නා නිසාය. මේ වන විට චීන - ඉන්දියා ආරක්ෂක හමුදා තම බලය තර කරමින් සිටින ලඩක් ප්‍රදේශයේ එක් මායිමක් වන්නේ පාකිස්ථානයයි. ඇතැම් විට චීනය එහිදී ඉන්දියාවට ප්‍රහාර එල්ල කරන්නේ නම් පාකිස්ථාන භූමියේ සහය ලබා ගැනීමටද වුවද ඉඩක් නැත්තේ යැයි පැවසිය නොහැකිය. මෙවැනි අනුමාන වුවද අසත්‍ය යැයි ඉවත දැමීමේ හැකියාවක් නැත.

එමෙන්ම තවත් අනුමානයක වන්නේ ලඩක් හි පාකිස්ථාන භූමිය වන බලොචිස්තානයට ස්වාධීනත්වය ඉල්ලා සටන් වදිමින් සිටින බලොචිස්තාන විමුක්ති හමුදාව මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. මේ අතර ඇතැම් වාර්තාවලින් ප්‍රකාශ වී තිබුනේ බලොචිස්තාන විමුක්ති හමුදාවේ සම්බන්ධයක් සහිත මජීඩ් බ්‍රිගේඩය මේ ප්‍රහාරයේ වගකීම ගෙන ඇති බවයි. එමෙන්ම බලොචිස්තාන විමුක්ති හමුදාවට ඉන්දියාවේ ආධාර ලැබෙන බව ද ප්‍රසිද්ධ රහසකි. මේ වන විට පාකිස්ථාන සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රහාරයේ වගකීම ඉන්දියාව සහ බලොචිස්තාන විමුක්ති හමුදාව ගත යුතු බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේ වුවද මේ සියල්ල අතරින් පාකිස්ථාන රජය තහවුරු කර තිබුණේ ප්‍රහාරයෙන් 11 දෙනකු මිය ගිය බවත්, ඒ අතරින් සිව් දෙනෙකු ප්‍රහාරයට පැමිණි අය ලෙස හඳුනාගෙන ඇති බවත් පමණි.

ඉම්රාන්ගේ පාකිස්ථානය මේ වන විට තවදුරටත් දකුණු අසියානු බලවතකුද නොවේ. ඔහු දේශපාලන නායකයා වුවද ඔහු එරට හමුදා අතේ නැටවෙන රූකඩයක් බවද පාකිස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන්ය. කෙසේ වුවද ඔහු පාකිස්ථානය යළි ගොඩ නැංවීමේ දැවැන්ත කර්ත්‍රව්‍යයට උර දී සිටින බව පැවසිය යුතුය. ඒ චීන සහයෝගය ඇතිවය. සැමදා ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයකු වූ පාකිස්ථානය කෙසේ හෝ යළි නැගී සිටින්නේ නම් අසල්වැසියන් ලෙස එය අපගේද සතුටට කරුණක් වනු ඇත. එහෙත් යලි නැගිටීම පාකිස්ථානයට මෙන්ම ඉම්රාන්ටද පහසු දෙයක් නම් නොවනු ඇත. මේ කොටස් වෙළෙඳපොළ ප්‍රහාරය එයට කදිම උදාහරණයක්ය.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමට රටක කොටස් වෙළෙඳපොළ භූමිය තෝරා ගන්නේ නම් එයින් පැහැදිලිව ගම්‍යමාන වන්නේ ඒ ප්‍රහාරකයන්ට අවශ්‍ය වන්නේ ජනතාවට නොව රටේ ආර්ථිකයට ප්‍රහාර එල්ල කිරීමට බවයි. එබැවින් ඉම්රාන් ඛාන් ගේ රට ගොඩගැනීමේ වෑයමට බාධා එල්ල කිරීමට කැස කවන බළල් අත් මොනවාදැයි තවමත් පැහැදිලි නොමැති වුවද ඉදිරියේදී නම් එය ලොවට රහසක් නොවනු ඇත.

Comments