හිමි අහිමි පෙම් මතක... | සිළුමිණ

හිමි අහිමි පෙම් මතක...

කොහේ දෝ ඈත ඉඳන්
ඔබේ කටහඬ ආයෙමත් ඇවිදින්
ආයෙමත් ඇවිදින්
කොහේ දෝ ඈතක ඉඳන්...

හීන් හිරිකිඩ මතක වැහි පොද
උණුහුමක් පෑතු ඔබේ තුරුලක
ඒ වැහි පොදක් ගානේ
මං තෙමෙන්නද ආයේ...

මුහුදු පතුලෙන් මුතු අරන් එන
ප්‍රේමයක් නම් ඔබේ ළඟ මිස
ඒ  සුසුම් ළඟ පෙර සේ
මං වෙළෙන්නද ආයේ

පද රචනය - අසංක රුවන් සාගර
ගායනය සහ සංගීතය- අරුණ ගුණවර්ධන

 

“මොනවද දැන් මේ ඇහෙන සින්දු” වැඩිහිටියකු එහෙම ප්‍රශ්න කරන්නේ අද බොහෝ විට බස් රථවල, මෙන්ම ඇතැම් ගුවන් විදුලි නාලිකා වල රුපවාහිනි නාලිකා වලින් ප්‍රචාරය වන හරසුන් ගීත ඇසීමේදීය. බලෙන් අස්සවන්නට තතනන ඇතැම් ගී වල ඇත්තේ හරසුන් බවකි. බොහෝ විට අපට ඇසෙන්නට ලැබෙන්නේ විලාපය. අදෝනාය. ගීතයක පදවල සාහිත්‍යයක් තිබිය යුතුය. සංගීතය යනු විශ්ව භාෂාවකි. අද අපට හදවතින් විඳින්ට ඇති ගී සංඛ්‍යාව අල්පය. අප අදටත් රසවිඳින්නේ හැට හැත්තෑව අසූව සහ අනූව දශකයේ ලියැවුණ ගීතය. 

මේ කාලයෙන් පසුව හොඳ ගී ලියැවුණද, ඒවා විකාශන කරන්නට අද මාධ්‍යයක් නැත. සියල්ල වෙනස් වෙමින් පවතින යුගයක නව නිර්මාණ කරුවන්ට, අතින් මුදල් වියදම් කර කරන නිර්මාණ ශ්‍රාවකයා අතරට ගෙන යන්නට මඟක් නැත. අලුත් පරපුරක් බිහි වී නැතැයි විටෙක කීවද නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ වලට කෝ කොහිද ඉඩක්. එවන් වට පිටාවක් තිබිය දී අපේ මේ සුදානම යූ ටියුබයෙන් මුහුණු පොතින් නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් ගේ සාර්ථක ගී ඔබ අතරට ගෙනෙන්නටය.

ගීයක අරුම සඳහා අප මෙවර තෝරා ගත්තේ ගායන ශිල්පි අරුණ ගුණවර්ධන විසින් ගායනා කරනු ලබන “කොහේදෝ ඈතක ඉදන්” යන ගීතයයි.

නවපරපුරේ ගායන ශිල්පියකු වන අරුණ බොහෝ දෙනකු හඳුනන්නේ සංගීත ශිල්පියකු ලෙසිනි. ඔහු විසින් සංගීතවත් කරන ලද ගීත රසිකයා අතර බෙහෙවින් ජනප්‍රිය විය. අමරදේවයන් විසින් ගයන ලද ගිමන් හරින දියඹ දිගේ, හන්තාන සිහිනය ආදි වු ගී ඒ අතර වේ.

“මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවකට වැඩියි. මුලින්ම මම සංගීතය නිර්මාණය කෙරුවේ. පද රචනා අරගෙන මාව සොයවාගෙන ආ නිර්මාණ කරුවෝ ඒ පද රචනාව තනු නිර්මාණය සඳහා දෙන්නේ ගායන ශිල්පියෙක් ගැනත් තීරණයකට ඇවිත්. මමත් මගේ උපරිම දායකත්වයෙන් ඒ පද වලට තනු නිර්මාණය කර තිබෙනවා. අසංක රුවන් සාගර සහෝදරයා දවසක් මට මේ පද පෙළ දුන්නා හොඳ ද බලන්න කියලා. බොහෝ විට ඔහු ලියන රචනා මට පෙන්වනවා, අපි ඒ ගැන කතා කරනවා, මේ පද පෙළ මගේ හිතට තදින් දැනුණා. මම අසංකට කිව්වා මෙය ගයන්නම් කියලා . ඔහු ඉතාම කැමති වුණා. අද වන විට ගීතයට බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”

අරුණ පවසන්නේ තමන් විසින්ම තනු නිර්මාණය කර ගායනා කරන අසංක රුවන් සාගර ලියූ පද පෙළ ගැනය. මට පමණක් නොව ඔබටද ජීවිතයේ අමතක කළ නොහැකි දේ තිබිය හැක. අපට හිමිකර ගන්නට බැරි වූ එහෙත් කොයි මොහොකත වුව, ඒ හඬ ඇසීමට, රුව දැකීමට කැමැති අතීතයක සැඟවූ සුන්දර මතකයක් තිබිය හැක. එවන් මතකයක් ගැන ලියැවුණ මේ පද පෙළ ගැන එහි පද රචකයා වන අසංක රුවන් සාගර පවසන්නේ මෙවැනි අදහසක්.

“අපි හැමෝටම අමකතක කරන්න බැරි අතීතයක් තියෙනවා. අපි දකින්න කැමැති රුවක් තියෙනවා. හඬක් තියෙනවා.. කොයි මොහොතක හෝ ඒ රුව දැක ගැනීමේ, හඬ ඇසීමේ අතින් හෝ ස්පර්ශ කිරීමේ සොඳුරු පැතුමකුත් තියෙනවා. අපිට අපේ කර ගන්න බැරිවූ අතීතයේ දවසක හමු වූ ඔහු හෝ ඇය ගැනයි මේ ලියැවුණේ. කවුරු කොහොම කිව්වත් අතීතයත් සමඟ අපේ හිත් බැඳිලා තියෙන්නේ. අපි ඒ කැමති කෙනාගේ හුස්මක් ඇඟේ දැවටෙනවා නම්, ස්පර්ශයක් තිබෙනවා නම් අපි කැමතියි. ඒක තමයි ඇත්ත. මේක ජීව විද්‍යාත්මක සාධකයයි. එතැන තිබෙන්නේ රාගය නොවෙයි. අනුරාගි බව. හුදකලාවේ සිටින මොහොතක යවුලකින් අනිනවා වගේ අපේ හිතට මේ බැඳීම් සිහි ගන්වනවා. කෙනෙක් විවාහවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. මට හිතෙනා, මට දැනෙනවා අපි හැමෝටම අපේ ජීවිතවල අප්‍රකාශිත ප්‍රේමයක් තියෙනවා කියලා. අන්න ඒ ප්‍රේමය තමයි ‘කොහේ දෝ ඈත ඉඳන් ඔබේ කටහඬ ආයෙමත් ඇවිදින්‘ ආදි ලෙසින් මා අතින් ලියැවුණේ. මේ පද පෙළ ලියැවුණාට පසුව පුරුද්දක් ලෙස මා අරුණ සමඟ ඒ ගැන කතා කළා.. අරුණ බොහෝම කැමැතියි කෙටි වචනවලට. අරුණ කැමැති වුණා මෙය ගැයීමට. ඔහු මෙය ගයන්නේ හදවතින්මයි. ඔහුගේ හඬ තුළින් අහිමි වීමේ ශෝකය කොතරම් ද කියා මට දැනෙනවා අරුණ ඒ පද පෙළට යොදා ඇති තනු නිර්මාණත්, අරුණගේ හඬත්, සංගීත නිර්මාණයත් එකට එක් වුණාට පස්සේ ගීතය අමුතුම ඉසව්වක් කරා ගිය බවක් මට දැනෙනවා. ”අසංක රුවන් සාගර පවසන්නේය.

 රාජ්‍ය සම්මාන ලාභි පද රචකයකු වන අසංක වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂණ තාක්ෂණවේදියෙකි. ආවාට ගියාට පද රචනා නොකරන අසංක හැමවිටම සාර්ථක නිර්මාණයක් කිරීමට උත්සාහ දරන්නේය. ප්‍රේමය හැම විටම හිමි වන්නේ නැත. හැම විටම අහිමි වන්නේද නැත. එහෙත් මේ ජීවිත කාලයේ අපට අතහැරුණ හිතට දැනෙන එහෙත් කියා ගන්නට බැරිව ලතැවුණ, ඇතැම් විට මේ මොහොතෙත් ළතැවෙන එවන් හැඟීම් බොහෝය. අතීතය හරි මිහරිය. මෙවන් බැඳම් ඇති අතීතය විටෙක කියා ගන්නට බැරි දුකකින් ළතැවිල්ලකින් සිත කොනත නැවති දැවැටි රිඳුම් දෙයි. අසංක ලියන්නේ ඒ රිඳුමයි. අරුණ ගයන්නේ ඒ රිඳුමයි.

 

Comments