සිකුරු සෙනසුරු පීඩා‍වෙන් පමා වෙන විවාහය | Page 2 | සිළුමිණ

සිකුරු සෙනසුරු පීඩා‍වෙන් පමා වෙන විවාහය

 ලාං‍කේය සමාජය තුළ විවාහය වැනි සුවි‍ශේෂි කාරණයකදී හඳහන් ගළපා පො‍රොන්දම් බලා ‍‍ජ්‍යෝතිෂයට අනුකූලව සුබ විවාහයක් කර ගැනීමට අදටත් වඩා නැඹුරුවක් දක්වනවා. විවාහයක් සඳහා සැපිරිය යුතු යැයි සැලකෙන රැකියාව, රූපය, සමාජ පසුබිම හා ධනය වැනි භෞතික සාධක සම්පූර්ණ වූ නමුත් විවාහය ප්‍රමාදවන අවස්ථාවල දී එයට විසඳුම් සොයන්නත් බොහෝ දෙනෙක් ‍‍ජ්‍යෝතිෂයට නුඹුරු ‍වෙනවා. එම නිසාම ‍මේ, ‘විවාහ පමා වීම‘යන කාරණය සම්බන්ධ‍ව ‍ජ්‍යෝතිෂයේ අදහස විමසීමට අප සිතුවා. ‍මෙම කාරණය පැහැදිලි කර දීමට අප හා එක්වන්නේ ප්‍රවීණ ‍ජ්‍යෝතීර්වේදී ආචාර්ය කේමන් කුලසිරි මහතාය.

  “විවාහය පමා වීම අද සමාජයේ පොදු ප්‍රශ්නයක්. රූපයෙන් අඩු අය රූපයෙන් වැඩි අය සමඟත්, දුප්පත් අය පොහොසත් අය සමඟත්, ආබාධ ඇති අය ආබාධ නැති අය සමඟත් විවාහ වී  සාර්ථක පවුල් ජීවිත ගත කරනවා ඔබ ඕනෑ තරම් දැක ඇති. නමුත් විවාහයකදී සමාජය බලාපොරොත්තු වෙන සියල්ල සම්පූර්ණව තිබියදීත් විවාහයක් කරගන්න බැරිව ළතැවෙන  අය හා අසාර්ථක පවුල් ජීවිත ගත කරන අයද හමු ‍වෙනවා. විවාහය සම්බන්ධ එවැනි ගැටලු මතු වීමට හේතුව ලෙස සෘජුවම කිව හැක්කේ පෙර අකුසල් මිස වෙන කිසිවක් ‍නොවන බවයි.

 සමහරු ‍නො‍කෙරුණු තම විවාහය ගැන පවුලේ උදවියට ‍දෝෂාරෝපණය කරනවා. නමුත් එයට ඔ‍බේ පවුලේ අය කිසි‍සේත්ම වගකිව යුතු නැහැ. මා විසින් වසර 30කට වැඩි කලක් මුලුල්ලේ ‍ජ්‍යෝතිෂය ඇසු‍රේ කළ පර්යේෂණ හා ලැබූ අත්දැකීම් අනුව, ‍මෙ‍සේ වන්නේ සිකුරු දුර්වල වී සෙනසුරුගෙන් පාප පීඩා නිසාය. ප්‍රේමයට, විවාහයට අධිපති වෙන්නේ සිකුරුයි. සිකුරු බලවත් නොවන කෙනකුට විවාහ වීමට බාධා ඇති වෙනවා ‍සේම ඔබ විවාහකයකු නම් සතුටින් විවාහ දිවිය ගත කිරීමට ද බාධා ඇති ‍වේ.

සිකුරු දුර්වල නම් සොයා ගන්නේ මෙහෙමෙයි

කේන්දරයේ සිකුරු පෙන්වා ඇත්තේ (ශු) යනුවෙනි. ඔ‍බේ හඳහ‍නේ සිකුරු ග්‍රහයා සිටින්නේ මකර හෝ කුම්භ යන ස්ථානයට අයත් කොටුවේ නම් එයින් කියැ‍වෙන්නේ සිකුරු දුර්වල බවයි. 

ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා සමඟ සිකුරු ග්‍රහයා කුමන හෝ ස්ථානයක එකම කොටුවක සිටින්නේ නම් හෝ ශනි ග්‍රහයා තුලා, නැත්නම් වෘෂභ රාශියට හිමි කොටුවට අයත් ස්ථානයක සිටින්නේ නම් එවිටත් සිකුරු දුර්වල ‍‍වෙයි. තුලා, වෘෂභ නැතිනම් මකර හෝ කුම්භ රාශියක සිකුරු සහ ශනි එකට සිටීම ද විවාහයට බාධාවකි .

කෙනකු අද, සා, සියාවාස යන නැකැත්වලින් එකක් හිමිව ඉපදි ඇත්නම් ඔහු ‍හෝ ඇය මුලින්ම ගත කරන්නේ රාහු දසාවයි. ඒ කාලයෙන් පසු ගුරු වසර 16 කුත්, ශනි වසර 19 කුත් ගෙවීමට සිදු ‍වේ. 

එනම් මුළු කාලය වසර 35කි. මෙවැනි පිහිටීමක් ඇති අයකුට විවාහ විය හැක්කේ අවුරුදු 35න් පසුවයි. මෙවන් පිහිටීමකදී සිකුරු දුර්වල නම් කිසිම දිනක ඔහුට ‍හෝ ඇයට විවාහයක් සිදු කර ගැනීම අසීරුය. 

වයස අවුරුදු 20 වන විට සෙනසුරු ලග්නයෙන් 8 වන ස්ථානයට පැමිණ 10 වැනි කොටුවේ උපතින් සඳු සිටි නම් සෙනසුරු අෂ්ටම ඒරාෂ්ඨකය වසර 2 යි මාස 6කුත්, ඉන් පසු සෙනසුරු ජන්ම ඒරාෂ්ඨකය වසර 7 යි මාස 6කුත්, සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය වසර 7යි මාස 6කුත් ගත කිරීමට සිදු වේ. මේ හේතුවෙන් වසර 37යි මාස 6ක් යන තුරු ඔබට විවාහයක් ගැන සිතීම අපහසුය. මේ කාලයෙන් අනතුරුව යම් හෙයකින් වසර 19ක සෙනසුරු මහ දසාව ලැබුවොත් වයස 56ක් වන තුරුත් විවාහයක් සිදු ‍නො‍වේ.

පමාවට පිළියම් තිබේද?

සාමාන්‍යයෙන් 80%ක්ම විවාහ ඉක්මනින් සිදු වෙන්නේ ‍රාහු මහ දසාව තුළයි. සිකුරු සහ අනෙක් දසාවන් තුළ විවාහය ඉක්මන් වන්නේ 10%ක ප්‍රතිශතයකිනි. අප ‍පෙර කී ග්‍රහ පිහිටීම් නිසා විවාහයේ සිදු වන ප්‍රමාදය හෝ විවාහයක් නොකෙරෙන අවස්ථාවල ද ඒ සඳහා යම් යම් ප්‍රතිකර්ම ද ඇත. පෙර අකුසල කර්මයක් වූවත් එයින් මිදීමට හැකි එකම දේ ධනාත්මකව සිතන්න පටන් ගැනීම හා හැකිතාක් කුසල් රැස් කිරීමයි. තම පවුල තුළ සහ අන් අය‍ගේ පවුල් තුළ ද ප්‍රශ්න ඇති නොකිර, සියල්ලන්ට මෛත්‍රී වැඩීම වැනි දේ වලින් ද යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය. නමුත් මේ ‍ජ්‍යෝතිෂය කියවීම මතම ජීවිතේ බලාපොරොත්තු දිය කර හැරිය යුතු ද නැත. ‍ජ්‍යෝතිෂ‍යෙන් ඉදිරිපත් වන්නේ ජීවිතය ගැන එක් විග්‍රහයක් පමණියි. ධනාත්මකව ලෝකය දෙස බලමින් විශ්වාසයෙන් කටයුතු කර ජීවිත දිනූ අය පිළිබඳ උදාහරණ සමාජ‍යේ සුලබව හමුවන බව අමතක ‍නොකරන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී  කේමන් කුලසිරි

Comments