ලොක්ඩවුන් වුණත් සිර කළ නොහැකිවූ ‘ලොක්ඩවුන් ස්ටෝරීස්’ | සිළුමිණ

ලොක්ඩවුන් වුණත් සිර කළ නොහැකිවූ ‘ලොක්ඩවුන් ස්ටෝරීස්’

ලොක්ඩවුන් වී සිටි පසුගිය කාල වකවානුවම ගෙවි ගියේ නිහඬව. ඒ නිහඬ බව බිඳින්න කිසියම් කතා බහක් පටන් ගත හැකි වීමම අපුර්ව අත්දැකීමක්. මුළු ලෝකයම ලොක්ඩවුන් වෙලා තිබියදී හෑන්ඩ් ෆෝන් එකක් අතට ගත් තරුණ‍යෝ අන්තර්ජාල‍යේ සැරිසරමින් මොන මොන දේවල් හිතන්න ඇතිද, ‍සොයන්න ඇතිද...

සිය ලොක්ඩවුන් හැඟීම් ගැන හරි අපූරු ප්‍රකාශනයක් කරන්න නිර්මාණකරුවකු වන නාමල් ජයසිංහට සිතිවිලි පහළවෙන්නෙත් ඒ ව‍‍ගෙයි. ඒ සිතිවිල්ල  "ලොක්ඩවුන් ස්ටෝරීස්" නමින්ම එළි දැක්වී‍මේ අපූරු සංසිද්ධිය අප ඔහු‍ගෙන්ම විමසන්න සිතුවා.

 “මේ ලොක්ඩවුන් සංසිද්ධිය ටික දවසක් යනකොට මිනිස්සුන්ට අමතක වෙලා යාවි යැයි මට හිතුණා. නමුත් ම‍ගේ උත්සාහය වු‍ණේ ඒ පසුබි‍මේ මිනිසුන් තුළ ඇති හැඟීම නිර්මාණයක් විදිහට සලකුණු කරන්නයි. ඉතින් මම යාළුවෝ කිහිප දෙනකුටත් කතා කළා. එකතැනක හිර වෙලා ගුහාවක් ඇතු‍ළේ ව‍ගේ ජීවත් වුණු අපි පහුගිය කාලයේ භෞතිකව බොහෝ දේවල් ජීවිතයට එකතු කර ගන්න දිව්වා මිස නිකමටවත් ආපහු හැරිලා ජීවිතය දෙස බැලුවේ නෑ නේද යැයි අපි සාකච්ඡා කළා. මේ තත්ත්වය තුළ අලුත් සමාජ සබඳතා ඇති වුණා. සමහර වැඩකට නැති සමාජ සබඳතා දුරස් වුණා. ඔය කාරණය තමයි මේ කතන්දරයට තේමා වුණේ.”

 ‍මෙම නිර්මාණ‍යේ තිර පිටපත ලියැවෙන්නේ ති‍දෙනකු අතිනි. ඒ, නිලංක දහනායක, ජූඩ් ක්ලෝඩියස් සහ නලින් ලුසේනා ය. තුන් තැනක සිට ලියැ‍වෙන ‍මෙම තිර පිටප‍තේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා ‍ලෙස නාමල් ජයසිංහ, එය හරි අපූරුවට පෙළ ගස්වමින් නිර්මාණය සාර්ථකව ගොඩනඟනවා. මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ තිලංක දහනායක, නලීන් ලුසේනා සහ ජගත් මනුවර්ණ යන තිදෙනා එක්වය. අයි‍ෆෝන් එකකින් මෙවැනි අදහසක් ප්‍රතිනිර්මාණය කිරීමට මේ පිරිසට හැකි ‍වෙනවා. ‍"ලොක්ඩවුන් ස්ටෝරීස්" නම් වූ ‍මේ නිර්මාණය ගොඩ නැ‍ඟෙන්නෙත් සියල්ල යථා තත්ත්වයට පත් නොවූ ලොක්ඩවුන් අවස්ථාවක වීම විශේෂත්වයක්.

“මේ කතාව අධ්‍යක්ෂණය කරපූ කට්ටියම තමයි ‍මේ නිර්මාණයට රංගන‍යෙන් දායක ‍වෙන්නෙත්. කතාවේ සියලුම දර්ශනතල නිවෙස් තුළමයි. ප්‍රධාන දර්ශන තලය වු‍ණේ තරුණයන් කීප දෙනෙක් සිටින බෝඩිමක්. මේ වකවානු‍වේ ලොක්ඩවුන් වෙලා හිටපු ඒ නිර්මාණකරුවන් ‍සාර්ථකව මෙ‍හෙයවී‍මේ කාර්යය නලින් ලුසේනා‍ගෙන් සිදු වුණා. තිලංක දහනායක හිටියේ අනෙක් යුවළ සිටින නි‍වෙසේ. ඔහු ඒ දර්ශන තල‍යේ අධ්‍යක්ෂණ කටයුතු කළා. සමනලී ෆොන්සේකා සහ ධර්මප්‍රිය ඩයස් සිටි දර්ශන තලය මෙහෙයවන්න ඔහුට හැකි වුණේ දෙදෙනා ජීවත් වුණේ ඒ වටපිටාවට සමීපව නිසයි. රූගත කිරීම්වලට නීතිමය අවසර පත්‍රයක් ලබා ගන්නේ ජගත් මනුවර්ණ විසින්. හරි අපූරුවට මේ හැමෝම නිර්මාණයට තම තමන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා දුන්නා.”

දුෂ්කර වෑයමකින් බිහි වූ "ලොක්ඩවුන් ස්ටෝරීස්" ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න  සකස් කළ විශේෂ වැඩපිළිවෙළ ගැන නාමල් ජයසිංහ කියන්නේ මෙහෙම කතාවක්...

“ ඒ මොහොතේ අපේ අදහස වු‍ණේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකට නිර්මාණය මුදා හරින්නයි. නමුත් අන්තර්ජාලයට මුදා හරින්න කලින් දෙරණ නාලිකාවේ එය විකාශනය කිරීමට ස්කයි එන්ටර්ටේන්මන්ට් ආයතනයේ රඛිත ජිනසේන සාකච්ඡා කළා. ඒ අනුව "මිනි සිරිස්"කොන්සෙප්ට් එක යටතේ "ලොක්ඩවුන් ස්ටෝරීස්" කොටස් පහ විකාශනය කරන්න අපට අවස්ථාව ලැබුණා.”

"ලොක්ඩවුන් ස්ටෝරීස්" නවමු අත්දැකීම මේ වන විටත් බොහෝ දෙනා විඳ අවසන්. දැන් එය අන්තර්ජාලයෙන් ද නැරඹිය හැකියි. මෙය කිසියම් ආකාරයක විකල්ප අත්හදා බැලීමක්. සියල්ල කෙරෙහි පශ්චාත්තාප වෙමින් පසුගාමීව කල් ගෙවූ අපේම තරුණ ‍පෙළට "ලොක්ඩවුන් ස්ටෝරීස්" හොඳ උත්තේජනයක් ‍වේවි. තාරුණ්‍ය සදාකල් පවතින්නේ නැහැ. නමුත් ඒ තාරුණ්‍යය කැප කරමින් සිදුකළ සමාජ වෙනස්කම් ලොවට කිසිදා අමතක කරන්න බැහැ. නිර්මාණශීලී තරුණ්‍යය ලොක්ඩවුන්  කරන්න  කිසිම බලවේගයකට නොහැකි බව මේ නිර්මාණය අපට ඉඟි කරයි.  

Comments