ලංකාවට ඔලිම්පික් පදක්කම් දිනා දෙන්න හීන මවන වෙල්පල්ලේ යකඩ කෙල්ලෝ | සිළුමිණ

ලංකාවට ඔලිම්පික් පදක්කම් දිනා දෙන්න හීන මවන වෙල්පල්ලේ යකඩ කෙල්ලෝ

 වෙල්පල්ල ඇත්තේ ගිරිඋල්ල කිට්ටුවය. ගිරිඋල්ලේ වෙල්පල්ල ගැන එහෙමටම කවුරුත් දන්නේ නැත. එහෙත් කවුරුත් ඇස් ලොකු කරගෙන වෙල්පල්ල ගැන කතා කරන්න පටන් ගත්තේ පහුගිය අවුරුද්දේය. ඒ පහුගිය අවුරුද්දේ පැවැත්වුණු ජාතික මල්ලවපොර ශූරතාවලියේ දීය. වෙල්පල්ලෙන් පැමිණි අවුරුදු 15 -16 වයස්වල පුංචි කෙලිපැටවු තිදෙනෙක් එතෙක් රට හෙල්ලූ ජාතික ශූරයන් සීමාවෙන් එළියට විසි කරමින් ජාතික මල්ලවපොර ශූරතා තරගාවලිය දෙවනත් කරමින් උන්හ.

“පොඩි උන්... තවමත් ඉස්කෝලෙ යනවා... වෙල්පල්ලෙ සංඝරාජෙලු ඉගන ගන්නෙ...“බොහෝ දෙනා කතා කළහ. කෙළිපැටවු නියමිත තාක්ෂණය උපරිමයෙන් රැකගෙන තරග වැදුණහ. එය ඔවුන්ගේ ජාතික මට්ටමේ මුල්ම තරග අත්දැකීමය. කිලෝ ග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වැදුණු අවුරුදු 15ක පුංචි කෙල්ල අවසන් මහා තරගයේ දී රිදී පදක්කම දිනා ගත්තාය. පොඩි ‍කෙළි ‍ගේ නම නිපුනි වාසනා ය.  

ඊළඟට රන් පදක්කම් දෙකකි. දහසය හැවිරිදි චමෝද්‍යා කේෂාණි කිලෝ ග්‍රෑම් 53 බර පන්තියෙනි. නෙත්මි අහිංසා කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙනි. ගුවන් හමුදාවට පමණක් දෙවෙනි වෙමින් වෙල්පල්ලේ කණ්ඩායම ජාතික මල්ලවපොර තරගාවලියේ සමස්ථ අනුශූරතාව දිනා ගත්තේය. මේ යෞවනියන්ගේ මුහුණු අප්‍රමාණ අධිෂ්ඨානයෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. නිපුණි වාසනා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ ලබන වසරේය. චමෝද්‍යා හා නෙත්මි මේ අවුරුද්දේය. ඒත් මේ කෙල්ලන්ගේ අනාගත ඉලක්ක නම් සාමාන්‍ය නැත.

“මුලින්ම සාග් රන් පදක්කමක් ගේනවා. ඊට පස්සේ පුළුවන් උපරිමයෙන් කැප වෙලා ඔලිම්පික් පදක්කමකට යනවා. අපිට ඒක කරන්න පුළුවන්. ඔලිම්පික් පදක්කමක් අපි රටට ගේනවා”. ඔවුහු පවසති. දැරියන් පිළිබඳ සිතේ උපදින්නේ පුදුමාකාර ආදරයකි. ඒ ඔවුන් මේ ගමන පැමිණි ආකාරය ගැන ඇසෙන විටය.

“අප තවම වෙල්පල්ලෙ සංඝරතන විද්‍යාලයේ ඉගන ගන්නවා. අප මේ තත්ත්වයට එන්න පුහුණු කළේ කෝප්‍රල් සුරංග කුමාර සර්. සර් අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක්. සර් තාත්ත කෙනෙක් වගේ අපට හැමවෙලාවෙම මඟ පෙන්නුවා. උත්සාහය, අධිෂ්ඨානය කියන්නෙ මොකක්ද කියලා අපට පෙන්නුවා.”

කෝප්‍රල් සුරංග යනු හොඳ ගුරුවරයෙකි. මඟ පෙන්වන්නෙකි. වෙල්පල්ලේ දක්ෂතා සඟවා ගෙන සිටි දරුවන් ජාතික ශූරයන් කළ මේ අපූරු මිනිසා සමඟ අපි කතා කළෙමු.

“ මම 2002 වස‍රේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට එක් වුණා. ඒ කාලේ හමුදාවේ මල්ලව පොර පුහුණුකරු සහ යුධ හමුදාවේ මල්ලව පොර කමිටුවේ ලේකම් මේජර් එච්.එම්.එම්.එස්.කේ ධර්මසේන මහත්මයා  තමයි  ම‍ගේ දක්ෂතා නිරීක්ෂණය කරලා මල්ලවපොර ක්‍රීඩාවට මාව යොමු කළේ. ඒ හරහා අන්තර්ජාතික මල්ලව පොර තරග සඳහා ද සහභාගී වීමට මට අවස්ථාවක් ලැබුණා.

මම  මල්ලව පොර ක්‍රීඩාව පුහුණු කිරීම් පටන් ගත්තේ මගෙ පුතුන් දෙ‍දෙනාගෙන්.  ඒ අතර තමයි කල්පනා කළේ මං ඉගෙන ගත්ත පාසලේ දරුවන්ටත් මේ ක්‍රීඩාව පුරුදු කරන්න. ඇත්තටම මේ ගම්වල ඉතාම දක්ෂ දරු‍වෝ ඉන්නවා. 

මම ඔවුන්ගෙ දස්කම් දකිනවා. ඒ නිසාමයි මේ පෙළඹවීම සිදුවුණේ. මුලින්ම පාසලේ විදුහල්පතිතුමා එක්ක කතා කළා. එතුමා එයට බොහෝම කැමැති වුණා.  පස්සේ මගේ අරමුණ මේජර් ධර්මසේන මහත්මයා එක්ක කතා කළා. එතුමා අප්‍රමාණව සතුටු වුණා. 

ඊට පස්සේ හමුදාපති තුමා, යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ඇතුළු යුද හමුදාවේ අනෙකුත් ප්‍රධානීන් දැනුම්වත් කළ පසු හමුදාපතිතුමන්ගේද යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ ඇතුළු අනෙකුත් ප්‍රධානීන්ගෙන්ද නොපිරිහෙලා ලැබුණු සහයෙන් පුහුණුවීම් කටයුතු කරන්න පමණක් නෙමෙයි,  සහාය පුහුණුකරුවෙක් ලෙස සාජන් ගයාන් සම්පත් ශ්‍රී සම්බන්ධ කරලා දුන්නා. ඊට පස්සෙ හැමදාම මගෙ රාජකාරිය නිම කරලා නි‍වෙසට ඇවිත් මේ දරුවන්ගෙ පුහුණුවීම් කටයුතු කරන්න සැලසුම් කරගත්තා. මේ හැම අවස්ථාවකදිම මගේ බිරිය මට අසීමිතව උදව් කළා.”

“අපි 2018 ජාතික මහා ක්‍රීඩා උළෙලට මල්ලවපොර අංශයෙන් සහභාගි වුණා. ඒත් දරුවෝ ඒ තරගයෙන් පරාජය වුණා. “ක්‍රීඩාවක ස්වරූපය ඒකයි. මම ඒ බව පොඩි උන්ට කියලා දුන්නා. ඔවුන්ව දිරිමත් කළා. දරුවෝ නිවෙස්වලින් එක්ක ඇවිත් පුහුණුවෙන් පස්සේ නැවත නිවෙස්වලට රැගෙන යෑමත් මම ම කළා. මුලින්ම පුහුණුවීම් සඳහා අපි යොදාගත්තේ කොහුබත් ඇතිරුමක්. ඒත් පසුව මේජර් ධර්මසේන සර් මැදිහත්වෙලා සුදුසු මෙට්ටයක් ලබා දුන්නා. ගමේ පන්සල, කමත, දරුවන්ගේ ඉඩ පාඩු තියෙන නිවෙස් පුහුණු වීම් සඳහා යොදා ගත්තා. පස්සෙ මගේ නිවසේ ගමේ අය එක්ක එකතු වෙලා මඩුවක් හදලා සුදුසු ස්ථානයක් සකස් කරගත්තා. ඒ කැප කිරීම 2018 අමිහිරි මතකය මකලා දාලා ජයග්‍රහණයකින් කෙළවර කරන්න අපට හැකි වුණා.”කෝප්‍රල් සුරංග පවසන්නේය.

2019 වසරේදී ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර අංශයෙන් රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට වෙල්පල්ල ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සමත් වූහ. එසේම නෙත්මි අහිංසා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. අනතුරුව මෙම දරුවෝ 2019 ශ්‍රී ලංකා ජාතික මල්ලව පොර ශූරතාවලියේ  ජය කෙහෙළි නැංවූහ.සුරංගට සහ දරුවන්ට දැන් ඇත්තේ සාෆ් පදක්කමක්වල සිට ඔලිම්පික් පදක්කම් දක්වා දුරයන සිහිනයකි. ඒ සඳහා දරුවන්ගේ දෙමවුපියෝ, වෙල්පල්ල සංඝරතන විද්‍යලයේ විදුහල්පති ආර්.එම් අරුණ ශාන්ත  ඇතුළු ගුරු මණ්ඩලයම ඔවුහු දිරිමත් කරමින් සිටිති. තිදෙනාම මල්ලව පොර පිටිය පමණක් නොව සාමාන්‍ය පෙළ කඩ ඉමද ජයගනු ඇතැයි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයද බලාපොරොත්තු වෙති. ඔවුහු තිදෙනාම සියලු විෂයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීම වෙනුවෙන් කැපවෙති. ක්‍රීඩා පුහුණුවට වෙන් කරන කාලයට සමාන කාලයක් පාසල නිම වී පාඩම් වැඩ සඳහා ද වෙන් කරති.

කනගාටුව නම් තවමත් මේ දරුවන්ට ප්‍රධානතම සහ එවැනි අත්දැකීමක් සඳහා යෑමට අවශ්‍ය පුහුණුවීම් සඳහා උපකරණ කිසිවක් නැත. දරුවන්ගේ පුහුණුවීම් සඳහා තවමත් භාවිත වන්නේ බෝට්ටු කඹයකි. අඩුම තරමේ පුහුණුවීම්වලදී මූලිකව අවශ්‍ය වන මෙට්ටයක්වත් ඔවුන්ට නැත. කටුසර බෝගවලින් දිවි රැකගන්නා මේ දරුවන්ට ක්‍රීඩාව සඳහා අවශ්‍ය පෝෂණීය ආහාර හෝ විටමින් වර්ග නැත. ඔවුන් තම පෝෂණය වර්ධනය කරගන්නේ අල, බතල, කොස් පොළොස් වලිනි. නමුදු ඒ කිසිවක් නොමැතිව මේ ආදරණීය මිනිස්සු රට වෙනුවෙන් අපේෂා සහගතව සිය ඉලක්ක වෙනුවෙන් කැපවී කටයුතු කරති.

Comments