පොඩි කාලේ ඉඳන් අපිට අපි නැතුවම බැහැ | සිළුමිණ

පොඩි කාලේ ඉඳන් අපිට අපි නැතුවම බැහැ

ජීවිතේ සුන්දර කරන ආදරණීය බැඳීම්වලට අපි කවුරුත් හරි ආදරෙයි. රුවින් වගේම දක්ෂතා‍වෙන් සමාන ජනප්‍රිය තරු දෙකක් වන උමාරා සිංහවංශ සහ උමාරියා සිංහවංශ  රසඳුන “අක්ක නගෝ” විශේෂාංගයට එක්වන්නේ සහෝදර බැඳීමේ අපූර්වත්වය සිහිකරමින්.

" අපි දෙන්නා ගැන  එකින් එක වෙන් කරලා කතා කරන්න බැරි තරම් සුන්දර මතක ගොඩක් තියෙනවා. අ‍පේ වයස් පරතරය අවුරුදු 4ක් වුණත් මතක ඇති කාලේ ඉඳලම අපි දෙන්නාට අපි දෙන්නා නැතුවම බැහැ”

උමාරා කතාබහ ඇරඹුවේ උමාරියා දිහා ආදරණීය බැල්මක් හෙළමින්. සුන්දර මදහසකින් ඊට ප්‍රතිචාර දක්වමින් උමාරියත් හඬ අවදි කළා.

“පොඩි කාලේ ඉඳන් මම අක්කගේ ‘නැට්ට’ වගේ එයා එක්කමයි. එයා කරන හැමදේම මමත් කරනවා. ඒක හරියට නිවුන් සහෝදර බැඳීමක් ව‍ගේ. මම අක්කව සලකන්නේ මගේ දෙවැනි අම්මා විදිහටයි. අම්මා කෙනෙක් තමන්ගේ දුව දිරිමත් කරලා ඉස්සරහට යවන්නේ කොහොමද අන්න ඒ වගේ තමයි  අක්කා මාව ඉදිරියට යවන්නේ.”  

සතුටින් ආදරෙන් පිරුණු ඔවුන්ගේ ළමා කාලයේ  සුන්දර මතක අතර දඟ වැඩත් රණ්ඩුත් නොතිබුණා වෙන්න බැහැ. ඒ ගැන උමාරා මෙහෙම කිව්වා.

" පුංචි කාලේ ගස් උඩ, බිල්ඩින් උඩ නඟින්න තමයි මම කැමති. අම්මා අපිට බත් කවනකොට මම ගිහින් කොහේ හරි උඩකට නැගලා හැංඟෙනවා. ඒ වගේම පොඩි කාලේ මම අලුත් අත්හදාබැලීම් කරන්න පාවිච්චි කරන්නෙත් නංගිව. මම ඒ කාලේ මේකප් දාන්න හරි ආසයි. ඒත් අම්මා ඒවා දෙන්නෙ නෑ. අපේ අයියගේ තිබුණා පාට පැන්සල් පෙට්ටියක්. ඒවා වතුරට දාපුවම දියවෙනවා. ඉතින් මම ඒ පැන්සල් දිය කර කර නංගිගේ මූණේ ගානවා.”

උමාරා එහෙම කියද්දි උමාරියා අක්කා පොඩි කාලේ කරපු තවත් අපූරු වැඩකුත් මතක් කළා.

“පොඩි කාලේ  අක්කා හිතාගෙන හිටියේ එයා ඇෆ්‍රිකන් කෙනෙක් කියලා. බ්ලැක් ඇෆ්‍රිකන් කෙනෙක් වගේ කළු වෙන්න හිතාගෙන එයා පොල්තෙල් ගාගෙන අව්වෙ ඉන්නවා. ඉතින් මම දුවලා ගිහින් අම්මට කියනවා අන්න අක්කා අව්වේ ඉඳගෙන කියලා. ඒ කාලේ මම ගොඩක් චබී. ඒ හින්දා මම අක්කගෙ ඇඳුම් අඳිනවා. ඒ් මෝඩ දේවල්වලට විතරයි  පොඩි කාලේ අපි රණ්ඩු වෙලා තියෙන්නෙ.”උමාරියා පවසන්නේ හිනැහෙමින්.

එකම ක‍ලෙකදී සංගීත අඹරට පායන මේ අක්ක නගෝ ට එක‍සේ ජනප්‍රිය වීමටත් වාසනාව ලැබුණා.  

" දන්න දවසේ ඉඳල අම්මා, තාත්තා, අයියලා දෙන්නා ඇතුළු අපේ පවුලම සංගීතය එක්කයි ජීවත් වුණේ. ඉස්සර නංගිට කියන්නෙ ‘හාමනි’පැටියා කියලා. මම මෙලඩි සිංග් කරද්දි නංගි හාමනි සිංග් කරනවා. මට අවුරුදු 10 දී එත‍කොට නංගිට අවුරුදු 6ක් වගේ  වයසෙදි තමයි අපේ මුල්ම මියුසික් රෙකෝඩින් එක කළේ. හැබැයි ඉස්සර නංගි හරිම ලැජ්ජාශීලීයි. ඒ නිසා ෆීල්ඩ් එකට එන්න එයාට ‍පොඩි තල්ලුවක් දෙන්න වුණා.”

උමාරාගේ ඒ කතාවට උමාරියා අඩුවැඩිය එකතු කළේ මෙහෙමයි.  “ ඒ කාලේ මම ගොඩක් මහත නිසා සමහරු මට හිනා වුණා.  ඉතින් මං ආස වුණේ නැහැ ස්ටේජ් එකකට නඟින්නවත්. මම හිතන් හිටියේ ව්‍යාපාර සහ අලෙවිකරණය පැත්තෙන් ඉදිරියට යන්නයි. ඒත් අම්මයි අක්කයි තමයි මාව සංගීත ක්ෂේත්‍රයට තල්ලු කළේ. අක්කා නම් පොඩි කාලේ ඉඳලම හීන දැක්කෙ ගායිකාවක් වෙන්න. ගෙදර හිටියත් කොහේ හරි ගියත් බිංකිගේ සිංදු තමයි හැමෝටම ඕන වුණේ.”

  පුංචි කාලේ ‍පවුලේ අය උමාරාට ආදරේට කිව්ව නම තමයි ‘බිංකි’. උමාරියාට නම් ‘උම්මි‘, ‘උංගි‘ ව‍ගේ නම් ගොඩක් තිබිලා. 

දැන් ගොඩක් කාර්යබහුල වුණත් තාමත් දෙන්නා එකට ගත කරන්න වෙලාව හොයා ගන්නවා...“ඒ වෙලාවට අපි වැඩිපුරම කරන්නේ කන එක. අක්කට මාර රසට උයන්න පුළුවන්. අපි එකතුවෙලා උයනවා. චිත්‍රපට බලනවා. මියුසික් අහනවා. ඇවිදින්න යනවා. ”

උමාරා කියන්නේ මොන වගේ චරිතයක්ද? අපි උමාරියාගෙන් ඇහුවා.

“අක්කා නිතරම අනුන් ගැන ම හිතන ගොඩක් කරුණාවන්ත, සතුටින් විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම අක්කගේ ජීවිතේ ම එයාගේ පුංචි පවුල.”

 එතකොට නංගි මොන වගේ චරිතයක්ද? ඒ ප්‍රශ්නය උමාරාට. “අධිෂ්ඨානයක් සැලසුමක් ඇතිව වැඩ කරන ඉතා ශක්තිමත් ගැහැනියක්. මගේ හොඳම යෙහෙළිය ම‍ගේ නංගි උමාරියා”. “අපි දෙන්නා ගැන හොඳටම දන්නේ අපි දෙන්නා . ඒක තමයි අපේ බැඳීමේ ලොකුම ශක්තිය”  උමාරියා එහෙම කිව්වෙ ආදරණීය සහ හැඟීම්බර ස්වරයෙන්.

 

Comments