පුංචි සුරංගනාව එනතුරු අප බලා ඉන්නේ ආදරෙන්... | සිළුමිණ

පුංචි සුරංගනාව එනතුරු අප බලා ඉන්නේ ආදරෙන්...

 

ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන සහ ඔහු‍ගේ ආදරණිය බිරිය ශෂිනි ගේ කැදැල්ලට නුදුරු දිනෙක ලැබෙන වටිනාම සම්පත භාර ගැනීමට ඇඟිලි ගනිමින් සිටින වග ආරංචි වුණා. ඒ සුබ ආරංචිය හා හා පුරා කියා රසිකයන්ට කියන්න ශෂිනි රසඳුන සමඟ එක්වුණා.

“අවුරුදු ගාණක් දැක්ක හී‍නේ දැන් හැබෑ‍ ‍වෙන්නයි යන්නේ... අ‍පේ පුංචි කැදැල්ලට සුරංගනාවියක් එන්නයි හදන්නේ. ධනංජය ආසාවෙන් හිටි‍යේ දුවෙකුට. අපට ලැබෙන්න ඉන්‍‍නේ දුවෙක් කියලා දැන ගත්තාම ධනංජයගේ සතුට ඉහවහ ගියා. ඇත්තටම ‍මේක වචන වලින් කියා ගන්න බැරි අපූරු හැඟීමක්.“ශෂිනි පවසන්නේ සතුටින්. ශෂිනි - ධනංජය ‍පෙම් කතාව ඇරැ‍ඹෙන්නේ  2005දී. එයින් වසර අටකට පසු විවාහ වී ‍මේ ‍ගෙ‍වෙන්නේ ඒ ආදරණීය කැදැල්ලේ හයවෙනි අවුරුද්දයි.

“ධනංජය පවුලේ තුන්වෙනියා. මම ඒ පවුලේ තුන්වෙනි ලේලි. එයාලාටත් හරිම සතුටුයි. ම‍ගේ අම්මා සහ ධනංජයගේ අම්මා පාට පාට ලස්සන ගවුම් ගොඩක් මහලා එව්වා. එයාලා නිතරම මං ගැන ‍හොයලා බලනවා. ආදරයෙන් රැක බලාගන්නවා. දුව ලැබෙන දවස් වෙද්දි අපේ සුරංගනාවිය බලන්න වි‍දෙස් රටක ජීවත් ‍වෙන මගෙ මල්ලියි ඔහු‍ගේ බිරියත් ලංකාවට එන්න සුදානම් වෙලා ඉන්නේ.“

මවුපියන්ගේ එකම අරමුණ තම දරුවාට ‍සෙනහස, රැකවරණය ලබා දී  ඔවුන්‍‍ගේ අනාගතය සුරක්ෂීත කිරීමයි. ශෂිනි ‍- ධනංජය‍ගෙත් දැන් ‍මුළු ‍‍ලෝ‍කෙම ‍මේ දූ ‍පොඩිත්ත. ඇය ‍මෙ‍‍ලොව එළිය දකින දින‍යේ ඇය වෙනුවෙන් සුවි‍‍‍‍ශේෂ වූ තිළිණයකුත් ‍ඔවුන් සූදානම් කරලා..  

“අපි දුවට ලස්සන ගීතයක් නිර්මාණය කරනවා. ඒ ගීතය සංගීතවත් ක‍ළේ දිනේෂ් සුබසිංහ. එය සෑම අම්මා කෙනකුටම උපහාරයක්, ඔවුන්ගේ බලාපොරොත්තු හා ආසාවන් ගැන කියවෙන  ප්‍රකාශනයක්. “

කාලයක් තිස්සේ දැකපූ ලස්සන හීන‍යේ වටිනාකම, හොඳ හැටි අරුත් දක්වන්න දන්නේ ඒ සිහිනේ හිමිකරුවන්. ධනංජය ඒ සතුට ජීවිතේ කරන් විඳින හැටි ශෂිනි සිහිපත් කළේ හරිම ආදරයෙන්.

“ධනංජය දැන්ම බබාගේ නැපි මාරු කරන්න, බබාව නාවන්න ඉගෙන ගන්නවා. බබාට නමකුත් එයා හිතලයි තියෙන්නේ. පහුගිය කා‍ලේ ඔහු මා එක්කම ගෙදරට වෙලා හිටියා. බබා ලැබුණහම මමයි දුවයි වෙනුවෙන් කාලය ‍වෙන් කර ගන්න ධනංජය දැනටම සැලසුම් කරනවා. ඔහු‍ගේ කැපකිරීම්, ආදරය ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. ඔහු මට හොඳ සැමියෙක්. දුවටත් හොඳම තාත්තා කෙනෙක් වෙන බව මට විශ්වාසයි. මම ගොඩක් ලෝකය දැකපු කෙනෙක්. ඒ වගේම රූපය ගැන හිතපු කෙනෙක්. නමුත් පහු ගිය මාසවලදි මගේ රූපය ශරීරය සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් අම්මා කෙනෙක් විදියට මගෙ දූ ‍වෙනු‍වෙන් අත හරින්න බැරි දෙයක් මට නැහැ.“ශෂිනිගේ හැම වචනයකම උතුරා යන මවු ‍සෙනහස කැටිවී තිබුණා.

 

ඡායාරූප - ධනුක කුමාරසිංහ

ඇඳුම් නිර්මාණය-එරංජනා ජයවර්ධන  

හැඩගැන්වීම –ඉන්දික අල්විස්  

Comments