දිනක්ෂි‍ගේ ජීවිතේ නොදන්නා ඉසව්ව ‘මගන්ධා’ | සිළුමිණ

දිනක්ෂි‍ගේ ජීවිතේ නොදන්නා ඉසව්ව ‘මගන්ධා’

 මේපෘතුවි තලය මත හුස්ම ගන්නා බොහෝ ජීවිත සෞම්‍ය සොඳුරු ආලෝකවත් ගමනක් අත මිට මොළවාගෙන උපදින්නේ නැහැ. කාලය විසින් ඔවුනට ලබා දෙන රළු පරළු කටුක මං මාවත්හි කටු කොහොල් මැදින් වැටි වැටි නැගිටිමින් ඔවුන් ජීවිතය ඉගෙන ගන්නවා. විටෙක හඬමින් විටෙක හිනැහෙමින් ජීවිතය ලියන ඔවුන්ගේ කතන්දර අන් සියල්ලටම වඩා අපූර්ව වන්නේ ඒ ලබන ජීවිත අත්දැකීම් මතින් මුවහත්වන පරිණත බවත් එයින් ඔවුන් බිහි කරන අපූර්වතම ජීවිත නිර්මාණත් නිසාවෙන්. එවන් සොඳුරු මිනිසුන් ගැන ලියැවෙන කතා අහුරක් ළඟ හැමෝම දන්න ජීවිතයක නොදන්නා ඉසව්වක් ලියා තියන්නට මට හිතුණා. 

අවුරුදු විසි අටේදී ‘මගන්ධා‘නමින් ඇඟලුම් ව්‍යාපාරයක් අරඹන ඇය විවෘත විශ්වවිද්‍යාලයේද ඇගලුම් නිර්මාණය නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරන්නියක්. දක්ෂ ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක් වන අම්මා එක්ක එකතු වෙලා ‘මගන්ධා‘ තුළින් ව්‍යපාර අවස්ථාවක් තනා ගත්තු ව්‍යවසායිකාවක්, කලාව, අධ්‍යාපනය සහ ව්‍යාපාර එක්ක බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නියක්. හැම තත්පරයක්ම බොහොම ඵලදායී ලෙසින් යොදා ගන්නා ඇය ඔබ කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද්. ඇය ‘මගන්ධා‘ හැදුණු හැටි සිහිපත් ක‍ළේ මෙහෙමයි .

“මම නිතරම සාරි අඳින්න කැමැති කෙනෙක්. එහෙම අවස්ථාවල ඇඳපු සාරිවල ජායරූප දකින ‍ගොඩක් අය සාරි ගත්තු තැන කියන්න පුළුවන්ද කියලයි මගෙන් අහන්නේ. ඇත්තටම ඒ සාරි මෝස්තරය මම මෝස්තරය හදලා රෙදි ගෙනවිත් අම්මාට දීලා මහා ගත්තු ඒවා. අපේ අම්මට ඕනිම විදියක මෝස්තරයක් කිව්වොත් ඒ විදියටම මහලා දෙන්න තරම් දක්ෂයි. ඉතින් ඒ හැමදේම එක්ක මට හිතුණා සාරියක් හදන වෙලාවට වැඩිපුර එකක් හෝ දෙකක් හදලා විකුණලා බලන්න. එ‍හෙම තමයි online බිස්නස් එකක් විදියට ‘මගන්ධා‘ඇරැ‍ඹෙන්නේ. මට ඕනි වුණේ වෙනස් දෙයක් කරන්න. ඒ නිසා එක සාරියකින් දෙකක් හෝ තුනක් වගේ තමා හදන්නේ. අදටත් කොටුවට, කොල්ලුපිටියට හෝ විවිධ තැන්වලට ගිහින් රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය හොයන් ඇවිත් මෝස්තර නිර්මාණය කරන්නේ මමමයි. මුලින්ම එහෙම සාරි පහළොවක් විතර හැදුවා. ඒ ආරම්භය හිතපු නැති විදියට සාර්ථක වුණා. මං එ‍හෙම හදපු සාරියක් ඉල්ලලා සීයක් විතර මට මැසේජ් එව්වා. ඉතින් මට ආයේ සාරි පහළොවක් කරන්න වුණා. ඒක මට අමතක නොවෙන මොහොතක්. ඒ වගේ පියවරෙන් පියවර තමයි ඉස්සරහට ආවේ. මට කලබලයෙන් වැඩ කරලා වේගෙන් ගමන යන්න අවශ්‍ය නැහැ. මාස දෙකකට සැරයක් වගේ තමා අලුත් නිර්මාණ කරන්නේ. මගේ උපාධියට අදාළව කාලයක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක පුහුණු වෙන්න ගියා. ඒ කාලේදී මේ ක්ෂේත්‍රය ගැන ‍ලොකු දැනුමක් ලබා ගත්තා. පුංචි කාලේ ඉදන්ම අම්මා මහනවා මම දකිනවා. ඒ හැම දැනුමක්ම ‘මගන්ධා‘ සාර්ථක කරගන්න උදව් වුණා. දැන් යාළුවෙක්ගේ ව්‍යාපාරයක් එක්ක එකතු වෙලා ‘මගන්ධා‘ නමින් පාවහන් ව්‍යාපාරයකුත් පුංචියට පටන් ගත්තා. “

දිනක්ෂි පුංචිම කාලේ ඉඳන් බොහොම සකසුරුවම් උත්සාහවන්තයි. ලැබෙන මුදල් ප‍රෙස්සමට ඉතුරු කරන්න ඇය හුරුවෙන්නේ බොහොම පුංචි කාලයේ පටන් හුරු වෙනවා. දිනක්ෂි තම නිර්මාණාත්මක හැකියාව ‍යොදා ‍ගෙන තම අවශ්‍යතාවලට මුදල් ‍හෙයාගන්න කල්පනා කරන්නේ අවුරුදු නවයක තරම් පුංචි වයසකදී.  

“අපි බොහොම සාමන්‍ය පවුලක්. තාත්තා චිත්‍රපට කළා. අම්මා අපිවත් බලාගෙන හැම දේම ප‍රෙස්සමට කළමනාකරණය කරපු උත්සාහවන්ත කෙනෙක්. අපේ පාසල් ගාස්තු ගෙවන්න අම්මා පාපිසි පවා මහලා විකුණලා තියෙනවා. මොන අඩුපාඩු ප්‍රශ්න තිබුණත් මව්පියන් අපිව පුළුවන් විදියට බලා ගත්තා. නමුත් ඒ කාලේ මට ඕනි වුණා ගොඩක් මහන්සි වෙන මවුපියන්ගේ වගකීම්වලට සහයෝගයක් දෙන්න. 

ඉතින් ඉස්කොලේ යන කාලේ නෝට්බුක් හදලා වික්කා, කේක් හැදුවා, නිවේදන කටයුතුවලින් මගේ වියදම් හොයා ගත්තා. මට ඕනි වුණේ මගේ පවුල සතුටින් තියන්න. ඒ නිසාම හොඳට ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වයට සහ සාමාන්‍ය පෙළට පාසලේ හොඳම ප්‍රතිපල ගත්තා. ගණිතය සඳහා පාසලේ හොඳම ශිෂ්‍යාව වුණා. උසස් පෙළ ක‍ළේ ගණිත අංශයෙන්. ආයෙත් ලන්ඩන් එලේවල් කළා. අවුරුද්දක් විතර සිවිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නත් ඉගෙන ගෙන තමා ඇඟලුම් ක්ෂේත්‍රයට යොමු වුණේ. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදනය ගැන හැදෑරුවා. රඟපෑම ආරම්භ ක‍ළේ අවුරුදු දහනවයේදී.

ඒ කාලෙත් ජීවිතේ වැටුණු තැන් නැගිටපු තැන් බොහොමයි. ආයෙත් නැගිටින්න උත්සාහ කළා මිසක් ඒ කිසිම තැනකින් නතර වුණේ නැහැ. අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම අනාගතයට ආයෝජනයක් තියෙන දෙයක් කරන්නයි ඕනි වුණේ. ජීවිතේ ලැබුණු අත්දැකීම් සහ මුහුණ දෙන්න වුණු ගැටලු තමා මගේ පන්නරය වුණේ. මම ‍මේ ආ ගමනේ දුෂ්කරතාව දන්න නිසාම අලුතින් ව්‍යාපාර ආරම්භ කරන බොහෝ දෙනෙක්ට මම පුළුවන් විදියට ඒ ව්‍යාපාර මිනිසුන් අතරට යවන්න උදව් කරනවා. මට ජීවිතේ කොතැනකවත් ලේසි වුණේ නැහැ. 

‍මේ සාර්ථකත්වය පිටුපසින් මහන්සිය, කැපවීම සහ තමන් කරන දේට අවංක වීම කියන කාරණා කැටි වූ කතන්දරයක් තිබුණා. තමන් කරන දේ ට වටිනාකමක් දෙනවා නම්, ඒ දේ තුළ හැම මොහොතකම අවංක වෙනවා නම් කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය.”

Comments