තේ මේසයට අලුත් රහක් | සිළුමිණ

තේ මේසයට අලුත් රහක්

ගෙදර හැමදෙනාම එකතු වෙන සති අන්තයේ සොඳුරු හැන්දෑවට නැවුම් රසයක් එක්කර ගැනීමට රසවත් කෙටි කෑම කිහිපයක් සහ රසගුණ සපිරි පානයක් සකස්කර ගන්නා ආකාරය ගැනයි අද ශානි ඔබට කියා දෙන්නේ.

බ්ලුබෙරි චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය -

 මාරි බිස්කට් ග්‍රෑම් 200ක්

 බ්ලු බෙරි  ග්‍රෑම් 125ක් (frozen )

 මස්කර්පෝනේ චීස්  ග්‍රෑම් 500ක්

 විපින් ක්‍රීම් ග්‍රෑම් 125ක්

 බටර් ග්‍රෑම් 150ක්

 අයිසින් සීනි ග්‍රෑම් 150ක්

 සීනි මේස හැඳි 2ක්

 ජෙලටින් මේස හැඳි 2ක්

 වතුර මේස හැඳි 3ක්

සෙ.මී 22 ක ප්‍රමාණයේ රවුම් තැටියක තෙල් කඩදාසියක් දමා සූදානම් කරගන්න. බිස්කට් හොඳින් කුඩුකර එයට තරමක් දියවූ බටර් එකතු කර හොඳින් කලවම් කර එම මිශ්‍රණය කේක් තැටියට දමා හැන්දක ආධාරයෙන් හොඳින් තදකර ලේයර් එකක් සාදා විනාඩි 20ක් ශීතකරණයේ තබන්න.

දැන් සීනි මේස හැඳි 2ක් බ්ලූබෙරිවලට දමා මදගින්නේ විනාඩි දහයක් පිස නිවෙන්න හැර හොඳින් බ්ලෙන්ඩ් කර පසෙකින් තබාගන්න.  වතුර මේස හැඳි හැඳි තුනකට ජෙලටින් එක්කර පෙඟෙන්නට හරින්න.

විපින් ක්‍රීම් සහ මස්කර්පෝනේ චීස්  බීට් කර එයටම අයිසින් සීනි එකතු කර හොඳින් බීට් කරගන්න. දැන් පෙඟෙන්නට තිබූ ජෙලටින් ඩබල් බොයිල් කර හොඳින් නිවුණු පසු බීට්කරගත්  චීස්  සහ  විපින් ක්‍රීම් සමඟ  මිශ්‍ර කරන්න.

සාදාගත් මස්කර්පෝනේ චීස් මිශ්‍රණය කොටස් දෙකක් කර එක් කොටසකට බ්ලුබෙරි මිශ්‍රණය එකතු කරගන්න. ඉන්පසු කේක් තැටිය ගෙන බිස්කට් ලේයර් එක උඩින් සුදු පාට චීස් ලේයර් එක දමාගන්න. ඒ මතුපිටට බ්ලුබෙරි සහ චීස් ලේයර් එක දමා පැලට් නයිෆ් එකක් ආධාරයෙන් මතුපිට සුමුදුව සකසා ගන්න. ඉන්පසු එය පැය 2ක් පමණ නැවත ශීතකරණයේ තබා පෑන් එකෙන් ගලවා පිළිගන්වන්න.

 

කොමඩු බනානා ස්මුති

අවශ්‍ය ද්‍රව්‍ය -

 ඇට ඉවත්කර කුඩාවට කපාගත් කොමඩු ග්‍රෑම් 400ක්

 කැමති වර්ගයකින් කුඩාවට කපාගත් කෙසෙල් ග්‍රෑම් 130ක්,

 යෝගට් ග්‍රෑම් 125ක්

 සීනි මේස හැඳි 2ක්

 අයිස් කැට පහක් පමණ

කොමඩු කැබලි සහ කෙසෙල් කැබලි බ්ලෙන්ඩරයට දමා එයටම සීනි සහ අයිස්කැට ද එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.  ඉන් පසු එයට යෝගට් ද එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. දැන් ඔබ කැමති ආකාරයකට හැඩ ගන්වා පිළිගන්වන්න.

 

හැම් පොටේටො බෝල්ස්

අවශ්‍ය  ද්‍රව්‍ය -

 තම්බා පොඩිකර ගත් අල ග්‍රෑම් 500ක්

 තම්බා කුඩා කැබලිවලට කපා ගත්  කුකුළු මස් ග්‍රෑම් 100ක්

 කුඩා කැබලිවලට කපා ගත් මොසරැල්ලා චීස් ග්‍රෑම් 80 ක්

 ලුණු සහ ගම්මිරිස් කුඩු රස පදමට

 පාන්පිටි ස්වල්පයක්

 බිත්තරයක්

 පාන් කුඩු (bread crumbs) අවශ්‍ය පමණට

 තෙල් ස්වල්පයක්

 අලවලට ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. වෙනම භාජනයකට මොසරැල්ලා චීස් සහ කුකුළු මස් කැබලි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අල මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණය බැගින් අතට ගෙන තුනීකර එහි මැදට සාදාගත් කුකුළු මස් සහ චීස්  මිශ්‍රණයෙන් ටිකක් දමා බෝලයක් ආකාරයට සාදා ගන්න. එසේ සාදාගත් අල බෝල බිත්තර සාරුවල දවටා පාන්පිටිවල තවරා ගන්න. ඉන්පසු පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

ග්‍රිස් ෆෙටා (feta) සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය -

 හොඳින් තම්බා කුඩා කැබලිවලට කපා ගත් කටු රහිත කුකුළු මස්  ග්‍රෑම් 250ක්

 ගා ගත් ෆෙටා චීස්  ග්‍රෑම් 100ක්

 මයොනීස් සෝස් මේස හැඳි 3ක්

 ලුණු සහ ගම්මිරිස් කුඩු රස පදම අනුව

 දෙහි යුෂ ස්වල්පයක්

 කුඩාවට කපා ගත් තක්කාලි සහ කැරට් ග්‍රෑම් 80 බැගින්

 සිහින්ව කපා ගත් ලූනු ග්‍රෑම් 80ක්

 පාන් පෙති අවශ්‍ය පමණට

කුකුළු මස් කැබැලිවලට තක්කාලි, කැරට්, ලූනු, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු සහ දෙහි යුෂ  එකතු කරන්න. එයටම ගා ගත් චීස්  සහ මයොනීස් සෝස් එක් කර හොඳින් මිශ්‍රකර ගන්න.

දැන පාන් පෙති තරමක් ටෝස්ට් කර  සාදාගත් මිශ්‍රණය පාන් පෙත්තක තවරා ගන්න. උඩින් තවත් පාන් පෙත්තක් තබා ඒ මතුපිට ද මිශ්‍රණය තවරා තවත් පාන් පෙත්තකින් වසාගන්න. මේ ආකාරයට පාන් පෙති 3ක් තබාගන්න. සාදාගත් සැන්ඩ්විච් එක ත්‍රිකෝණ හැඩයට කොටස් 4කට කපා සලාද කොළ කිහිපයක් සමඟ පිළිගන්වන්න.

Comments