කොහොනාවල | සිළුමිණ

කොහොනාවල

 පුංචි ලෝකාන්තය උණුසුම් හිරු එළියෙන් නැහැවිලා.  එදා වැහි වළාකුළක්වත් නෑ. මඩොල්සිම අහස වීදුරුවක් සේ පැහැදිලියි. කොළඹ ඉඳන් බදුල්ලට ඇවිත් බදුල්ලෙන් පස්සර හරහා  මඩොල්සිමට ආපූ හු‌ෙදකලා ගමනෙ චමත්කාරය තීව්‍ර වෙන්නෙ නැගෙනහිර වෙරළ තීරය දක්වා දිවෙන ඒ සුන්දර දසුන දකින විට. ඈතින් දිස්වෙන වැව්, ජලාශ වගේම නිලට දිස්වෙන කඳුහෙල් ඇස්වල වගේම මනසට ගෙනාවේ අප්‍රමාණ සුවයක්. ඒ සුන්දරත්වයෙන් සමුගන්න ලෝබ හිතුණත් අකමැත්තෙන් හෝ මඩොල්සිම කඩමණ්ඩියට ළඟා වුණේ දවල්ට මොනවම හරි දෙයක් බඩට දාගෙන අද යන ගමන ගැන සැලසුමක් හදා ගන්න. මුදලාලි පිළිගත්තේ බොහොම සුහදශීලීව.  මම වතුර උගුරක් බීලා කතාව පටන්  ගත්තා.

" මාමේ මේ පැත්තේ කොහෙද ඇවිදින්න පුළුවන් තැන් තියෙන්නේ?" "මේ කිට්ටුව පොඩි ගමක් තියෙනවා. කිලෝ මීටර 9 ක් විතර පයින් යන්න ඕනේ. ඒ යන පාර හවසට ඉර බහිනකොට හරිම ලස්සනයි. යද්දි දිය ඇල්ලකුත් හම්බෙනවා. " " එහේ නවතින්න තැන් එහෙම තියෙනවද මාමේ ? "

" එහෙම නම් නැහැ නෝනේ. ගමේ ගෙදරක තමයි ඉන්න වෙන්නේ. "

උදේ 9ට හිර පායලා හවස 3 වෙද්දි හිරු අවරට යන අඩු කාලයක් හිරු පායන ගමක් සමාජ ජාලාවල කියැවුණා දැකලා ඇති. මේ කියන්නේ ඒ ගම ගැනයි. ඒ කිව්වේ කොහොනාවල. හිතේ තිබ්බ කුතුහලය නිසාම කොහොනාවලට ගිහින්ම මේ ඇත්දැකීම විඳින්න තීරණය කළ මම හවස 2.30 ට විතර මඩොල්සිමෙන්  කොහෙනාවලට යන්න තනිමගම පිටත් වුණා.

කොහොනාවලට පිවිසුම් මාර්ග දෙකක් තියෙනවා. මඩොල්සිම හරහා යන මාර්ගය සහ බදුල්ලේ සිට කහටරුප්ප හරහා ලොග්ගල් ඔය තරණය කර එන මාර්ගය. 

මඩොල්සිම ඉඳලා කොහොනාවලට කිලෝ මිටර 13 විතර යන්න තියෙනවා. එකම ප්‍රවාහන මාධ්‍ය ඉතින් කකුල් දෙක තමයි. තඩි බෑගයකුත් කරේ එල්ලන් හති දාගෙන යන මේ ගමන මගේ වචන වලින් කිව්වොත් " වෙනම ආතල් එකක්". හතර වටේම ෆොටෝ ගන්න ගමන් කඳුවලින් වටවුණු අඩි ගාණක් පහළ තියෙන කොහොනාවලට පල්ලම් බැස්සේ ඉතාම දුෂ්කර මාර්ගයකින්. කොළපාට කඳු මුදුන්වලට රාස්සිගේ අව්ව වැටිලා තියෙන අපූරුව වීඩියෝ කර ගත්තේ මගේ ඇස්වලට ආයේ විඳින්න ඕනේ නිසාමයි. මගදී මුණගැහුණු තලතුනා මාමා කෙනකු සමඟ කතාවක් දාගෙන පල්ලම් බැස්සේ අසල තිබ්බ පුංචි දිය ඇල්ලේ ෆොටෝ ටිකකුත් ගත්තට පස්සේ.

"ඇත්තද මාමේ මේ ගමට ඉර පායන්නේ උදේ නවයටය ඉර බහින්නේ හවස 3 ටය කියන්නේ". හැබැයි ඉතින් ඒ වෙනකොටත් වේලාව හතරයි. " පේනවා නේද එහෙම දෙයක් නෑ කියලා. අපේ ගම තියෙන්නේ අඩි ගාණක් පහළින්. කඳු වලින් වටවෙලා. ඒ නිසා ඉර එළිය වැටෙන්නේ ටිකක් පහුවෙලා." " මාමලා මේ පාරේ හැමදාම යන එනවද? "

" අපේ ගමේ පොඩි අයත් උදේ හවා ඉස්කෝලේ යන්නේ මේ පාරේ".  කතාවෙන් කතාව ගමේ මායිමට ළං වෙද්දි වෙලාව හවස 6 ටත් කිට්ටුයි.

" නෝනේ අර පේන්නේ අපේ ගේ. තේ ටිකක් බොමු. ගෙදර ඉන්නේ උන්දැයි මිනිබිරියි." මම ටකරන් වහලා මැටි ගහලා සුදුහුණු පිරියම් කරපු ගේ ඉස්සර අඹ ගහ යට ලෑලි බංකුවේ වාඩි වෙලා ගිමන් හරින ගමන් නැන්ද කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක කහට කෝප්පයක් ගෙනාවා.

"දැන් රෑ වෙලානේ නෝනේගේ අකමැත්තක් නැත්නම් අද මෙහෙ නවතින්න. ලොකු පහසුකම් නම් නෑ ඉතිං. " ගමට පිටින් එන අයට ගමේ වෙද මහත්තයාලාගේ ගෙදර නවාතැන් පහසුකම් තියන බව කඩේ මුදලාලිගෙන් මං දැනගෙන හිටියත් නැන්දාගේ ළෙන්ගතු කම හමුවේ බැහැ කියන්න හිත දුන්නේ නැහැ.

රෑ කෑමට හදපු කැකුළු හාලේ බතුත් එක්ක මඤ්ඤොක්කා කොළ කොටලා තෙල් දාලා, බැදපු මිරිස් කරල් එක්ක හාල් මැස්සෝ කර කරලා , පරිප්පු එක්ක උණුවෙන්ම ගිලපු හැටි මතක් වෙද්දී දැනුත් කටට කෙළ උනනවා.

ගමන් මහන්සිය නිසාදෝ නින්ද ගිහින් උදේ ඇහැරුණේ කුරුල්ලොන්ගේ සද්දෙට. නැන්දා හදපු මඤ්ඤොක්කා හා කොච්චි සම්බෝලය රසවිඳපු මම ගමේ සිරි නරඹන්න ගියේ නැන්දාගෙන් ඉල්ලා ගත්තු චීත්ත ගවුමත් ඇඳ ගෙන. ජනප්‍රවාදයට අනුව ඌව වෙල්ලස්ස යුද්ධයෙන් පැරැදි මේ ප්‍රදේශයේ හැංගිලා හිටපු කෝණාර නමැති අමාත්‍යවරයකුගෙන් පැවැත එන පරම්පරාවෙන් ගම ජනාවාසයක් වූ බව පැවසෙනවා. ගමේ සියල්ලන්ට තියෙන්නේ "රම්පත් මුදියන්සේ" පෙළපත් නාමය. ගමේ පන්සල, පුංචි ප්‍රාථමික පාසල, වෙද මහත්තයාලාගේ ගෙදර වගේම ගමේ අනිත් ගෙවල්වලට ගිහින් කතා කරන්නත් අවස්ථාව ලැබුණා.

මේ මිනිස්සු ජීවත් වෙන්න දරණ වෙහෙස වගේම පුංචි දේවලින් පවා ජීවිතය විඳින්න දරන උත්සාහය අපේ ජීවිතවලට ලොකු පාඩම්. පහුවදා නැන්දාටයි මාමටයි වැඳලා එන්න පිටත් වුණේ මතක ගොන්නකුත් පොදි බැඳන්. එන්න පිටත් වුණේ ගමට එන්න තියෙන කහටරුප්ප මාර්ගයෙන්. ඒකටත් ලොග්ගල් ඔය තරණය කරලා එහා පැත්තට යන්න ඕනේ.

Travelling කියන්නේ කොහේ හරි ගිහින් ලස්සන තැන් බලලා ෆොටෝ  ගහන් එන එකම විතරක් නෙවෙයි. ඒ යන තැන හරියට විඳින්න නම් අවදානම් ගන්න ඕනේ, ඒ පරිසරය අනුව හැඩ ගැහෙන්නත් ඕනේ.

 

Comments