කොලිවූඩ් අඹරේ බැබළෙන අපේ තරුව | Page 2 | සිළුමිණ

කොලිවූඩ් අඹරේ බැබළෙන අපේ තරුව

මින් වසර කිහිපයකට පෙර සුභාෂිණී බාලසුබ්‍රමනියම් නම් වූ ඇය ලාංකේය ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ රූපවාහිනී සහ ගුවන් විදුලි දෙමළ නිවේදිකාවක ලෙසිනි. ඉන්පසු අශෝක හඳගමගේ ‘ඉනිඅවන් ‘චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසෙන වන ඇය සිය කුළුඳුල් රංගනයෙන්ම සම්මාන රැසකට නිර්දේශ වන්නීය. ඉන්පසු ‘රෑන‘, ‘තාරා‘වැනි නිර්මාණ ඔස්සේ පුංචි තිරයේ ද දිදුලන තරුවක් වූ සුභාෂිණි ගේ රංගන දිවිය දැන් නව මානයකට ගමන් කර ඇත. ඇය තවදුරටත් සුභාෂිණී බාලසුබ්‍රමනියම් නොව ශාශ්වි බාලා ය. හරියටම කීවෝත් දකුණු ඉන්දීය (කොලිවුඩ්) සහ තෙළිඟු (ටොලිවුඩ්) සිනමා නිළි ශාශ්වි බාලාය.

 “රංගනන ශිල්පිනියක් වෙන්න ඉස්සර මගේ අදහසක් තිබුණෙම නැහැ. දැන් නම් රංගනය මගේ ජීවිතේම වෙලා. සිනමාවට එන්නේ රංගනය ගැන කිසිඳු අත්දැකීමක් නැතිව. මමවත් නොදැන සිටි මගේ හැකියාව විශ්වාස කරමින් මාව සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ අශෝක හඳගම මහතාටයි.“

එතැනින් ඇරැඹුණු ඇගේ රංගන දිවියේ ආනන්ද අබේනායක ගේ ‘තාරා‘ටෙලි චිත්‍රපටයේ ඇය නිරූපණය කළ මවකගේ භූමිකාව ඇගේ ඉරණම් ගමන වෙනස් කරන්න සමත් වූ රංගනයකි. ඇය එහි කොටස් කිහිපයක් යහළුවකුගේ මාර්ගයෙන් ඉන්දියාවට යැව්වාය.. දකුණු ඉන්දීය සිනමා නිළියක ලෙස සුභාෂිණි ශාශ්වි බාලා වීමේ මාවත විවර වෙන්නේ එලෙසිනි.

මගේ නම වෙනස් කරන්න සිනමාවට මාව තෝරා ගත් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව නම් කිහිපයකුත් යෝජනා කළා. ඒ අතරින් ශාශ්වි කියන නමටයි මගේ හිත ගියේ. ශාශ්වි කියන්නෙත් කලාවට අධිපති සරස්වතී දේවියටයි.  ඉතින් ඒ නමත් එක්ක මගෙ තාත්තාගෙ නමේ කොටසකුත් ඕනේමයි කියලා මම ඉල්ලීමක් කළා. ඒ අනුවයි මම ශාශ්වි බාලා වෙන්නේ.

මෙහේ සිනමා කර්මාන්තය බොහොම තරඟකාරී. ඉතින් අපි ස්ථාවර ගමනක් යන්න නම් එයට ගැලපෙන විදිහට අපට අනුගත වෙන්න ඕනේ. ඉතින් මගේ නම වගේම රූපය, පෞරුෂය පවා වෙනස් කරගන්න වුණා. ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළා. මෙහෙ නිළියක් ඕනැම ඇඳුමකට ගැලපෙන විදිහට තමන්ගේ රූපය පවත්වා ගන්න ඕනේමයි. 

ප්‍රථම රංගනයෙන්ම සිය රංගන ප්‍රතිභාව විදහා පෑවත් ශාශ්විට ලාංකේය නිර්මාණවලට සම්බන්ධ වීමට ලැබුණු අවස්ථා අල්පය. ලාංකේය දෙමළ සිනමා නිර්මාණ බිහි වීම ද ඉතා අවම වූ නිසා දකුණු ඉන්දීය සිනමාව කෙරෙහි ඇගේ අවධානය යොමු වන්නට ඇත. නමුත් දවස ගානේ රංගනයට අවස්ථා සොයමින් දස දහස් ගණනක් එන ඉන්දියාව වැනි රටක සිනමා කර්මාන්තයට සම්බන්ධ වීම එතරම් පහසු නැත. බොහෝ අයට එය සිහිනයක්ම පමණකී. නමුත් ශාශ්විගේ ඒ හීනය හැබෑ වීමට වාසනාවට වඩා ඇගේ රංගන කුසලතාව ප්‍රබල වූ බව කීම නිවරැදිය. ඒ පිළිබඳ ඇයට ඇත්තේ නිහතමානී සතුටකි, ආඩම්බරයකි.  

ශාශ්වි හා හා පුරා කියා රංගනයෙන් දායක වූ ‘පොන්වීන් චෙල්වම්‘ඉන්දීය නිර්මාණය දෙමළ සිනමාවේ ප්‍රධානතම නිෂ්පාදන සමාගමකින් කළ නිර්මාණයකි. 

එහිදි ඇයව හසුරවන්නේ ප්‍රවීණ නළු රජිණි කාන්ත් ගේ දියණියයි. ඓතිහාසික කතා මාලවක් වු එහි ශාශ්වි රංගනයෙන් දායක වෙන්නේ ප්‍රධාන චරිතයකටය. නමුත් කොටස් කිහිපයක්ම රූ ගත කර තිබූ එම නිර්මාණය අතරමග නැවතිණි. නමුත් ඇය එයින් නොසැලුණාය.

“එය තිරගත වුණා නම් සමහර විට මට මීට වඩා අවස්ථා ලැබෙන්න තිබුණා. නමුත් ඒ ගැන දුකක් නැහැ. ඒ නිර්මාණය තුළ ප්‍රවීණයන්ගෙන් ලැබුණු මඟපෙන්වීම මගේ ගමනට ලොකු පන්නරයක්. මේ වෙද්දි මගේ ඊළඟ සිනමා නිර්මාණය තිරගත වෙන්න සූදානම්. ‘එල්ලාම් මේලෙයි ඉරක්කරවන් පාත්තිරිප්පාන්‘(හැම දෙයක්ම උඩ ඉන්න කෙනා බලා හිඳිවී)  කියලයි ඒ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ. ‘රවුත‘ ප්‍රඩක්ෂන් කියන්නේ ඉන්දියාවේ ප්‍රධාන සිනමා නිෂ්පාදන ආයතනයක්. එවැනි සමාගමකින් කෙරෙන නිර්මාණය හීරෝයින් වෙන්න ලැබීමත් භාග්‍යයක්. ඒ හැරුණු විට අශ්වින් විජේ කියන ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නවතම තෙළිඟු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් මාව තෝර ගෙන තිබෙනවා. එහි වැඩකටයු ඉදිරියේදී පටන් ගනිවී. වෙබ් සීරිස් කිහිපයකටත් ආරාධනා ලැබුණා.“එතකොට ලාංකේය නිර්මාණවලට එකතු වීමට බලාපොරොත්තුවක් නැති දැයි ඇගෙන් විමසුවෙමු.

“මොකද නැත්තේ..මේ වෙද්දි ධනුෂ්කගේ රත්නායකගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න සූදානම්. මම හරි ආසාවෙන් බලන් ඉන්නේ රූගත කිරීම්වලට එන්න.. උපන් රටේ නිර්මාණවලට දායක වෙද්දී එය හිතට දැනෙනවා වැඩියි. එය සැබෑය රූගත කිරීම් වලට ලංකාවට එන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ නිර්මාණය ට තියෙන උන්නදුව වගේම එහේ සිටියට ඇගේ හිත මෙහෙ නිසා වෙන්නත් පුළුවන..

“ඔව්... මම මෙහෙ හිටියට හිත නම් ඔහෙ තමයි. ජීවිතේ හොඳ සහකාරයෙක් ලැබුණොත් තමා අපට අපේ ජීවිත බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට ඒ වගේම හොඳ සහකාරයෙක් ලැබිලා තියෙනවා. ඔහු සිංහල තරුණයෙක්. මම වාසනාවන්තයි ඔහු වගේ කෙනෙක් ලැබීම ගැන. මගේ ගමනට ඔහුගෙනුත් ඔහුගේ ගමනට මගෙනුත් ලොකු ශක්තියක් ලැබෙනවා.

Comments