කවුද මේ K2 | Page 2 | සිළුමිණ

කවුද මේ K2

ලංකාවේ ඉන්න තරුණ සංගීත නිර්මාණ ශිල්පීන් අතරින් මේ දිනවල නැඟී එන දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියෙක් විදිහට කවිශ්ක දොඹවෙල හෙවත් K2 හඳුන්වන්න පුළුවන්. ළහිරු පෙරේරාගේ China Town ගීතයේ සංගීත නිර්මාණ ශිල්පියා වන මොහු එය තම සංගීත දිවියේ හැරවුම් ලක්ෂය කරගන්නවා.

මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කවිශ්ක තම සංගීත දිවියට අත්පොත් තබන්නේ පාසැල් යන අවදියේමය. ඒ 2007 වසරේදී. අන්තර්ජාල පහසුකම් ද නොමැතිව 2013 වනතුරු Virtual DJ හා FL studio මෘදුකාංග ඔස්සේ ඔහු තනිවම අත්හදාබැලීම් කර තිබෙනවා. 2015 වසරේ Music Oven ආයතනයෙන් සංගීත නිර්මාණ ශිල්පය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කරන කවිශ්ක ළහිරු පෙරේරා සහ විරේශ් කුරේගේ මඟ පෙන්වීම් යටතේ තම සංගීත දිවිය සාර්ථක ඉදිරියට ගෙන යනවා.

Daddy සංගීත කණ්ඩායමේ " ආලේ " ගීතයේ සංගීතය නිර්මාණය කිරීමත් සමඟ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කවිශ්කගේ දක්ෂතා හඳුනාගන්නවා. දිනේෂ් ආර්යන් කනගරත්නම් හෙවත් ADK ඇතුළු මැලේසියානු , ඉන්දියානු හා ශ්‍රී ලංකාවේද ශිල්පීන් කිහිපදෙනෙක් සමඟ කළ " Rap Machi " ගීතයේ සංගීත නිර්මාණ ශිල්පියා වන්නේද කවිෂ්කයි. එම නිර්මාණය ලංකාව තුළ පමණක් නොව විදේශීය රටවල ප්‍රවීණ සංගීත ශිල්පීන්ගේ ද ඇගයුමට ලක් වුණා.

ඉදිරියේදී සනුක වික්‍රමසිංහ , ළහිරු පෙරේරා , පියත් රාජපක්ෂ , දිනේෂ් ගමගේ , ටෙහාන් පෙරේරා , Kaizer Kaiz , ADK වගේම Daddy සහ Rap Machine සංගීත කණ්ඩායම් සමඟ කළ ඔහුගේ සංගීත නිර්මාණ 23 ක් එළිදැක්වීමට නියමිතය. එමෙන්ම සංගීත  නිර්මාණ  සඳහා ඉන්දියානු ගායන ශිල්පීන්ගේද ආරාධනා ලැබී තිබෙන බවයි කවිශ්ක දොඹවෙල හෙවත් K2 රසඳුන සමඟ පැවසුවේ. අනාගතයේ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයකට දායක වීම ඔහුගේ එකම බලාපොරොත්තුව බව කණිෂ්ක වැඩිදුරටත් පවසයි

Comments