හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්

කැලෑ පාළු කළ දියවන්නා සාමාජිකයා මාස දෙකකින් කැලයක් හදනවාලු

 

දියවන්නාව කලක් තිස්සේ ම නියෝජනය කරපු කැලේ කපන්නා, කැලෑ එළිකරන්න හපනෙක් වුණු හාදයා මේ දිනවල අලුත් ම කුරුමා‍නමක් අල්ලනවා කියලයි කියන්නෙ. මැතිවරණවලින් පසු රට බාරගන්න ඕනෑම රජකුට මෙන්ම යුව රජකුට හේත්තු වෙන මේ හාදයා උතුර පැත්තෙන් මෙවරත් දියවන්නා තරග බිමට ගොඩවෙලා ඉන්නෙ. ඕනෑම අවස්ථාවක ඕනෑම පාටියක් නියෝජනය කරන මේ හාදයා කාලයක් තිස්සේ ම කොළ පාටියේ ලොක්කාගේ හොඳම යාළුවෙක් වෙලා හිටිය කියලයි කියන්නෙ. දැන් නම් මෑන් පුතාණෝගේ පාටියේ ප්‍රබල සාමාජිකයෙක්ලු. කොහොම වුණත් මැතිවරණය වෙනුවෙන් මාස දෙකක ලොකු කැලෑවක් හදන්න කියලා මෑන් එයාට උදව් කරන උන්නැහේලාට උපදෙස් දීලා ලු. මේ කට්ටිය එකතුවෙලා උතුරු පළාතේ පැළ‍ වවන්න අරන් කියන්නෙ. පැළ වවන ඉඩම් ටික මැතිවරණයෙන් පස්සේ ජනතාවට දෙන්නම් කියලා මෑන්ස් කිව්ව කියලයි ආරංචි.

 

 

 

ගාලු පුරේ මනාප පොරේට හරි හරි වැඩලු වෙන්නෙ

 

මේ දවස්වල ගාල්ල පැත්තෙ හොඳම යාළුවන් හරියට අමනාපකම් පානවා කියලයි ආරංචිය. දියවන්නාව නියෝජනය කරපු තුන් හතර දෙනෙක් අතර මනාප යුද්දෙ සැරටම පටන් අරගෙන තියෙනවාය කියන්නෙ. මනාප යුද්දෙ නිසා හාදකම් මහ ගොඩක් නැතිවෙලා කියලයි එහෙන් මෙහෙන් ඇහෙන්නේ.

තුන් දෙනෙක් තුන් පැත්තටම හොර හොරා වෙන වෙනම ගේම් ගහනවලු.

මේ නිසා මේ අය එක්ක එකට ම හිටිය ගොඩක් සහායකයන් පිස්සු වැටිලා වගේ එහේ මෙහේ දුවනවා කියලයි කියන්නේ.

කොළ පාටියේ අයයි පුතාණෝගේ පාටියෙ අයයි කරට කර වැඩලු. මේ කණ්ඩායම් දෙකෙන් තුන් දෙනකු එකිනෙකාට හිතවත්කම් පාමින් මනාප පොරේ ගෙනියනවා කියලයි කියන්නෙ.

 

ගම්පහ රැජිනියගෙන් කැලණියේ දුටුගැමුණුට ප්‍රහාරයක්

 

කැලණිය පැත්තේ කාලයක් බොහෝ ප්‍රසිද්ධව හිටිය පොඩි දුටුගැමුණු යැයි කියා ගන්න හාදයා දැන් දැන් රස කතා වපුරනවා කියල කියෝනවා.

රජ ගෙදර අස්සේ ම හිටිය මේ හාදයා නිල් පාටින් කොළ පාටින් මේ පාටි දෙකෙන් ම දියවන්නාව තරණය කරන්න උත්සාහ ගත්තලු. ඒ දෙපැත්තෙන් ම චාන්ස් එකක් නැති වුණාට පස්සෙ ගියාය කියන්නෙ පුතාණෝ ළඟට. කලක් මේ හාදයාට පෑන හසුරුවන්නන්, ඡායාරූපකරුවන් පෙන්නන්න බෑ කියල කිව්වොත් නිවැරදියි.

දියවන්නාව නියෝජනය කළ මේ හාදයා රාජ සභාවේ තනතුරක් එහෙමත් දැරුවා ලු. යුව රජුගේ පාටියේ ළඟින් ම හිටපු මේ හාදයා දැන් දැන් හිටපු රජ්ජුරුවරුන්ට දෙහි කපන ගමන් අමුතුම ගේමක් ගහනවාලු දියවන්නාව තරණය කරන්න. ගම්පහ පැත්තෙන් ඔටුනු පැලඳි රැජින විවේචනය කරලයි කියල ආරංචියි. ඒක කනේ තැවරුණු රාජිනිය මේ දවස්වල ගැමුණුට එළව එළවා පහර පිට පහර දෙන්න පටන් අරන්ලු.

 

යුව රජු පස්සෙන් යන්න හුඟක් කට්ටිය ඇවිත්

දියවන්නාවට පනින කාලය දැන් උදාවෙලානේ තියෙන්නෙ. මේ හින්දා ලංකාවේ සෑම ප්‍රදේශයකම හරි හරියට මනාප පොරේ ඇරඹිලා.

බොහොමයක් දිස්ත්‍රික්කවල ප්‍රබල චරිත කිහිපයක් ම දියවන්නා සටනට එක්වෙලා ඉන්න නිසා හරි හරි කතා හැම පැත්තකින් ම ඇහෙනවා. කුරුණෑගලට යුව රජු තරග වදිනවානේ. මෙන්න මේ හින්දා යුව රජු පස්සෙන් යන්නට එන්නට කට්ටිය හරියට ඉන්නවලු.

යුව රජුට මනාප දෙන්න ඒ පළාතේ ජනයා බොහොම කැමැත්තක් දක්වනවා ගියපාර ව‍ගේම. ඒ හින්දා ඒ පැත්තෙන් දියවන්නාවෙන් එගොඩ වෙන්න දත කන කෂ්ටිය කලබල වෙලා කියන්නෙ.

 

දියවන්නා චණ්ඩියා මොනරාගල දී ගුටි නොකා බේරෙයි

ඉකුත් සමයේ රජ පවුල හරි හරියට විවේචනය කරපු මොනරාගල පැත්තෙ කටකාරයකුටයි දියවන්නාවට පනින්න බලන් ඉන්න කිහිප දෙනකුටයි අකරතැබ්බයක් වුණා ලු. වැල්ලවාය, මොනරාගල පැත්තෙ මේ දිනවල මේ ගැන හරියට කතා වෙනවයි කියලයි ආරංචිය.

නිල් පාටියෙන්, කොළ පාටියට, කොළ පාටියෙන් පුතාණෝ ගේ පාටියට පැන්න මේ හාදයා ප්‍රසිද්ධ චරිතයක්.

ජනමාධ්‍යවලින් රස කතා මවමින් සිටින මොහු මේ දිනවල නම් බොහොම නිහඬ බවයි කියන්නෙ. පුලතිසිපුර ලොක්කාගේ ළඟම ගෝලයෙක් හැටියට හිටිය මේ හාදයා දැන්නං ඒ ලොක්කත් එක්ක කිසිම හාදකමක් නැතිලු.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය ආරම්භ වෙලා මාස තුනක් ම යනකං තමන්ගේ පළාතේ කිසිම නිවසකට මොහු පැමිණියේ නැති බවත්; දියවන්නාවට පැන ගන්න අවශ්‍ය නිසා මේ දවස්වල ජනතා දුක සැප හොයා බලන්න මේ හාදයා ගෙවල් ගානේ කරක් ගහන්න පටන් අරන් කියලත් ආරංචියි. ඒ ගැන මොනරාගලයි, වැල්ලවායෙයි, බිබිලෙයි පොදු මහජනයා දැඩි විරෝයක් පාලාලු. එහෙම ගිහිපු මෑන් කටගහන්න ගිහින් ගුටිනොකා බේරුණේ අනූනමයයි දසම නමෙන්.

Comments