පාතාලය මඬින්න මෙහෙයුම් රැසක් | සිළුමිණ

පාතාලය මඬින්න මෙහෙයුම් රැසක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා

සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාලය මර්දනය කිරීම පිණිස ආරක්ෂක අංශ ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සිළුමිණට කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාවේද විශේෂ සහාය ඇතිව මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට කටයුතු සිදු කෙරේ.

මෙරටින් පාතාල කණ්ඩායමකින් අත්අඩංගුවට ගත් වැඩිම ආයුධ තොගය අල්ලා ගැනීමට පසුගියදා හැකි වූයේද මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම අනුවය. මීට අමතරව හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී හා මීගොඩ නාවලමුල්ල ප්‍ර්‍රදේශයේදී අවිආයුධ හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද මේ මෙහෙයුම් බෙහෙවින් දායක විය.

උද්ගතව ඇති තත්ත්වය යටතේ ගුවනින් මුහුදින් මෙන්ම ගොඩබිමින් යන සියලු ක්‍රමවේද භාවිතා කරමින් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඉදිරියේදී මේ මෙහෙයුම් තවත් පුළුල් කරනු ලබන බවද කී සේනාරත්න මහතා අවශ්‍ය වුවහොත් ආරක්ෂක හමුදා සහාය ලබා ලබා ගැනීමට කටයුතු කරන බවද කීවේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පෙන්වා දුන්නේ අවශ්‍ය තරම් නාවික හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් මේ වන විටත් පාතාල මෙහෙයුම් සඳහා සූදානමින් සිටින බවත් මෙම අපරාධ කණ්ඩායම් මේ වන විට ගොඩබිමට අමතරව මුහුද පවා යොදා ගෙන ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් නාවික හමුදාව සූදානමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සිළුමිණට පැවසුවේද ගුවන් හමුදා බුද්ධි අංශ සහාය මෙන්ම සියලු ගුවන් නිරීක්ෂණ කටයුතුද සිදු කර පාතාල කණ්ඩායම් මර්දනයට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් පොලිසිය හෝ විශේෂ කාර්ය බළකාය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ගුවන් හමුදාව සීරුවෙන් සිටින බවයි.

Comments