රාජපක්ෂ නම් පොහොට්ටුව; පොහොට්ටුව නම් රාජපක්ෂ කියල ජනතාව දැන් දන්නවා | සිළුමිණ

රාජපක්ෂ නම් පොහොට්ටුව; පොහොට්ටුව නම් රාජපක්ෂ කියල ජනතාව දැන් දන්නවා

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ සන්සන්දනය කළොත් ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන මොනවද කියන්න පුළුවන්.?

ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටනව ලක්ෂයක් ලබා ගත්තේ මෙරටේ දේශපාලන පක්ෂ බහුතරයක් එතුමාට විරුද්ධව කටයුතු කරමින් සිටි පසු බිමකයි. එදා අපි ඡන්ද ලක්ෂ 14ක් වැඩිපුර ගත්තා. ඒක අප ලැබු විශාල ජයග්‍රහණයක්. එදා තිබුණ අභියෝග බොහෝමයක් දැන් දියාරුව ගොස් තිබෙනවා. මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් පසුබිමක් අපිට නිර්මාණය වී තිබෙනවා. එක පැත්තකින් එජාපය බේදභින්න වෙලා. ඒ බේද වෙලා, වෙන්වෙලා ඉන්න පක්ෂ ඇතුළෙත් ආරවුල්. අනෙක විශේෂයෙන් මෙරට පැවැති යුද්ධයෙන් රට බේරා ගත්තා හා සමානවම කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට අපේ ආණ්ඩුව සමත්ව තිබෙනවා. මේ නිසා ඉකුත් ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 35කට වැඩි ප්‍රමාණයක් අප ලබා ගන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විතරක් අපි ආසන අටෙන් හයක්ම ජය ගන්නවා.

 

ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව සහය දුන්නා. මෙවර ඇතැම් දිස්ත්‍රික්කවලට ශ්‍රීලනිපය තනිව තරඟ කරනවා. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවාසියක් නොවෙයිද?

නෑ, ඒක අපිට කොහෙත්ම අවාසියක් නොවෙයි. මොකද ජනතාව දැන් පොහොට්ටුවත් එක්කයි ඉන්නෙ. රටේ ජනතාවට පක්ෂ වලට වඩා මතක තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එයා ඉල්ලන ඡන්ද ලකුණ මතක තියාගෙන තමයි ජනතාව ඔවුන් ගේ ඡන්දය පාවිච්චි කරන්නෙ. පොහොට්ටුව දැන් රටේ සැම ගෙදරකටම කටපාඩම්. රාජපක්ෂ නම් පොහොට්ටුව පොහොට්ටුව; නම් රාජපක්ෂ කියල ජනතාව දැන් දන්නවා. ඒක නිසා කව්රු වෙනම ඉල්ලුවත් ඒක අපිට අභියෝගයක් නෙවෙයි. මේකට හොඳම උදාහරණය ගන්න පුළුවන් ඉකුත් පළාත් පාලන මැතිවරණයයි.

 

කරුණා අම්මන් ගේ ප්‍රකාශයක් නිසා දැන් දේශපාලන වේදිකාව උණුසුම් වෙලා. මේ ⁣ගැන මොනවද හිතන්නෙ.?

මේ රටේ කවුරු මොනවිදියේ වැරදි කළත් වරදට දඬුවම් දීල ඔවුන් පුනරුත්ථාපනය කරල යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කීරිම තමයි රජයේ වගකීම. කරුණා අම්මාන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කර තිබෙන්නෙ ඒ අනුවයි. අනෙක එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ව මර්ධනය කරන්න කරුණා අම්මන් එවක රජයට සහය දුන්නා කියලත් අපි අමතක කරන්න හොඳ නෑ. වැරදි වීම හෝ වැරදි සිදු කිරිම වෙන දෙයක්. ඒ තමන් කළ වැරැද්ද ගැන තමන් මෙනෙහි කරලා එකෙන් ඔහු සතුටක් ලබනවා නම් ඒක තවත් දෙයක්. මේ වෙලාවෙ කරුණා අම්මාන් කළ ප්‍රකාශය අනුමත කරන්න බෑ. ඒ ගැන දැන් රජය පරීක්ෂණ කරනවා. ඒ අනුව ඔහු වරදක් කර තිබෙන බව තහවුරු වුණොත් ඔහුට ඒ වෙනුවෙන් දඬුවම් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි කරුණා අම්මන්ට සිංහල හමුදා සෙබලුන් ඝාතනය කරන්න එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔවුන්ට ආයුධ ලබා දුන්නද කියලත් සොයා බලන්න ඕන. ඒ ආයුධ පාවිච්චි කරල කරුණා අම්මන් මිනී මරල තියෙනවා නම් ඒ ආයුධ දුන්න අයත් වරදකරුවන් වෙනවා ඔවුන්ටත් දඬුවම් ලැබෙන්න ඕන.

 

කරුණා අම්මන් වගේම ජවිපෙ නායකයෙක් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල පළ වුණා. එහිදී ඔහු සඳහන් කර තිබෙන්නෙ ජවිපෙ ප්‍රචණ්ඩත්වය තුළ ඔවුන් සිංහලයන් මිස දෙමළ මුස්ලිම් අය මැරුවෙ නෑ කියල. ඒ ප්‍රකාශයට ඔබේ ප්‍රතිචාරය කොහොමද ?

ඇත්තටම ජවිපෙ ප්‍රකාශයයි; කරුණා අම්මන් ගේ ප්‍රකාශයයි අතර ලොකු වෙනසක් නෑ. ජවිපෙ ඒ ප්‍රකාශය ඇතුළත් හඬපටය ලබා ගෙන අපි ඔවුන්ට විරුද්ධවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න රජයට බලකරනවා. වැරදිකරුවන් සමාජ ගත කරන්නෙ යහපත් කල් ක්‍රියාවෙන් ජිවත් වෙන්න මිසක් තමන් කරපු වැරදි හපන්කම් විදියට කියා පාන්න නොවෙයි.

 

පාස්කු ප්‍රහාරයෙන් ඇමැති පුතා බේරිලා අනෙක් සාමාන්‍ය පුරවැසියන් ඝාතනය වීම ගැන අගරදගුරු හිමිපාණන් කළ ප්‍රකාශයට හරීන් ප්‍රනානදු හිටපු මන්ත්‍රීවරයා කාදිනල් හිමිපාණන්ට අපහාස කරනවා. මේ ගැන ඔබේ ස්ථාවරය මොකක්ද?

මේක අලුත් තත්ත්වයක් නොවෙයි. එදා යහපාලන ආණ්ඩුව තිබුණ වෙලාවෙදීත් ඔවුන් උත්සාහ කළ් මේ රට ආගම් වලින් තොර රටක් බවට පත් කරන්නයි. ඒකට හේතුව ඔවුන් කරන වැරදි ඉවසන්න බැරිව ආගමික නායකයන් කතා කරන එක ඔවුන්ට හිසරදයක් වෙලා. මේ නිසා ඡන්දය ඉල්ලා පරාද වෙන හරීන් ඉන් බේරා ගන්න ජාතික ලැයිස්තුවට නම දාලා මේ ඉටු කරමින් ඉන්නෙ සජිත් ප්‍රේමදාස ගේ උවමනාවන් බව පැහැදිලියි. එහෙම නැත්නම් මේ වන විටත් හරීන් ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන්න ඕන. නමුත් එහෙම වෙන බවක් පේන්නවත් නෑ.

සජිත් ප්‍රේමදාස හම්බන්තොටින් කොළඹට මාරු වීම ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම සජිත් කොළඹට ගියේ හම්බන්තොටින් අත්වෙන අන්ත පරාජයෙන් බේරෙන්නයි. වසර 25 ක් විතර සජිත් හම්බන්තොටින් ජය ගන්න ගත්තු උත්සහය නිෂ්ඵල වුණා. එතුමා දේශපාලනයට ආව මුල් අවුරුදු පහේදි ජනතාව ඔහුට ඡන්දය දුන්නා. නමුත් ඉන් පසුව නියම සජිත් කව්ද කියල ජනතාව හඳුනා ගත්තට පස්සේ හම්බන්තොට ඡන්ද 20% ක්වත් ගන්න බැරි වුණා. ලංකාවෙ තිබෙන ප්‍රධාන අමාත්‍යාංශයක් බාරව සිටියදීත් ඔහුට ජනතාව ඡන්දය දුන්නේ නෑ. ඔහුට කිසිම දෙයක් පිළිබඳව දැක්මක් අවබෝධයක් නැති බව ජනතාව තේරුම් ගත්තා. ඔහු හම්බන්තොටින් කොළඹට යෑම අපිට විශාල පාඩුවක්. මොකද එතුමා කට ඇරයොත් එක වචනයට එක ඡන්දය ගානේ අපට ලැබෙනවා.

 

ඔබත් දේශපාලන පරපුරක පුරුකක්. මේ විදියට හැදෙන දේශපාලන පවුල් ගැන ඔබ මොනවද කියන්නෙ?

පවුල් පසුබිමක් සහිතව දේශපාලනයට ආවත් එහෙම නැතිව සාමාන්‍ය පවුලකින් දේශපාලනයට ආවත් ඒ අයට මේ ⁣ක්ෂ්ත්‍රයේ රැදෙන්න පුළුවන් වෙන්නෙ ජනතාව ගේ කැමැත්ත තිබෙන කල් පමණයි. මැතිවරණයට එන්න පවුල් පසුබිම වාසියක් වුණත් ජනතාව දිනා ගන්න ඒක සුදුසුකමක් වෙන්නෙ නෑ. ඒ නිසා මම වුණත් මගේ යුතුකම් කොටස හරියට ඉටු නොකළොත් ජනතාව මමත් ප්‍රතික්ෂේප කරල ජනතාව කැමති කෙනෙක් පත් කර ගන්න එක කාටවත් වළක්වන්න බෑ.

 

ස්වාධීන මැතිවරණ කොමිසම සමඟ මහ මැතිවරණයකට රට සුදානම් වෙන මේ වෙලාවෙ මේ ගැන නවකයෙක් විදියට මොනවද හිතෙන්නෙ?

ඇත්තටම අපි හිතුවෙ ස්වාධීන මැතිවරණ කොමිසම ඉතාම ස්වාධීනව අපක්ෂපාතීව කටයුතු කරනවා කියලයි. නමුත් අපිට අහන්න දකින්න ලැබෙන දේත් සමග මේ ස්වාධීන මැතිවරණ කොමිසම කොතරම් ස්වාධීනද කියල ගැටලුවක් තියෙනවා. අපිට දැන් තියෙන අත්දැකීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්ද පවත්වනවාට වඩා මේ කොමිසම මැතිවරණ කල් දානවා කියලයි. පළාත්පාලන, ජනාධිපතිවරණ, පළාත් සභා, හෝ මහ මැතිවරණය මේ හැම වෙලාවකම අපි දැක්කේ ඡන්දය කල් දාන්න මැතිවරණ කොමිසම උත්සහ කරනවා කියලයි. මැතිවරණ කොමිසමට එහි සාමාජිකයින්ට එක්ව එක තීරණයක් ගන්න අපහසු බවක් අපි දැක්කා. එදා මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය මහතාට තරම්වත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට මැතිවරණ සම්බන්ධයෙන් ස්වාධීන තීරණ ගන්න අමාරු බව තමයි අපි දකින්නෙ.

 

ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සාධකය ජයග්‍රහණය සඳහා ප්‍රබල හේතුවක් වුණා.මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබා ගන්නත් ඒ සාධකය ප්‍රමාණවත් වෙයිද?

ඇයි ඔබට අමතක වුණාද, රාජපක්ෂවරු දෙදෙනෙක් මේ මැතිවරණය ජයග්‍රහණය කරන සාධක බවට පත්ව තිබෙනවා.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනායි. රාජපක්ෂවරු මේ රටට කර තිබෙන සේවාවන් ජනතාවට ඉක්මණින් අමතක කරන්න බෑ. එදා යුද්ධය ජය ගත්තා වගේම මෙදා කොරෝනා වසංගතය පරාජය කලා.ඒ වගේම ඔවුන් රටේ ඇති කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙල නිසා අද සැනසුම් සුසුම් හෙළන ජනතාව කිසි දිනක රාජපක්ෂවරු අතහැර යන්නෙ නෑ. ඒ නිසා මම මුලින් කීවා වාගේ මෙවර වැඩි ඡන්ද ලක්ෂ 35 කට වැඩයෙන් අපිට ලැබෙනවාමයි.

 

කොරෝනා වසංගතය පාලනය කිරිම ගැන ඔබලා උදම් ඇනුවත් විරුද්ධ පක්ෂවල චෝදනාව කොරෝනා අස්සේ රාජ්‍ය පරිපාලනය හමුදාවට යට කළා කියලයි. මේ ගැන මොනවද කියන්නෙ?

ඔය කියන දෙයින්ම බුද්ධිමත් අයට තේරුම් ගන්න පුළුවන් විරුද්ධ පක්ෂවල රාජ්‍ය පාලනය පිළිබඳව ඇති දැනුම කොහොමද කියල. ඇත්තටම කොරෝනා පාලනයේදී හමුදා හා බුද්ධි අංශ යොදා ගැනීමෙන් රාජ්‍ය පාලනය වඩා කාර්යක්ෂම වෙලා ජනතාවට ඉක්මනින් සහන ලැබෙන්න පටන් ගත්තා. හමුදාව කරන්නෙ සම්බන්ධීකරණයක්. ඒකවත් තේරුම් ගන්න බැරි නම් රටක් හදන්නෙ කොහොමද? හමුදාවෙත් ඉතාම හොඳට ඉගෙන ගත්තු දෙස් විදෙස් අත්දැකීම් ඇති අය ඉන්නවා. එවැනි අය ආයතන ප්‍රධානින් කළාම ඒ ආයතන දියුණු කරන්න පුළුවන්. ඒකට කියන්නෙ හමුදාව රාජ්‍ය පාලනය යට කළා කියලද? ඒ ඒ වැඩේට දක්ෂ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සුදුසු ස්ථානවල ස්ථානගත කීරීම ගැන විපක්ෂයට අවබෝධයක් නෑ .ඒකයි ඒ අය බුද්ධි අංශ නිලධාරීන් එදා හිර ගෙවල්වලට යැව්වෙ. අද එහෙම වෙන්නෙ නෑ. සුදුස්සාට සුදුසු තැන හිමිවෙනවා.

Comments