යුද්ධයෙන් රට බේරා ගත්තු රාජපක්ෂවරු ගිවිසුම්වලින් රට පාවා දෙන්නෙ නෑ | සිළුමිණ

යුද්ධයෙන් රට බේරා ගත්තු රාජපක්ෂවරු ගිවිසුම්වලින් රට පාවා දෙන්නෙ නෑ

* දේශපාලන පළපුරුද්දක් නැතැයි විපක්ෂය කියන ගෝඨාභය රාජපක්ෂයන් දක්ෂ රාජ්‍ය පාලකයෙක් කියලා ඔබ හිතනවද?

 

ඔබත් මේ රටේ පුරවැසියෙක් වාගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඒ නිසා ඔබත් දන්නවා; බොහෝ රටවල් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙද්දී අපේ රටේ ජනතාවට ඒ පීඩාව නො⁣දැනෙන්න කොරෝනා පාලනය කරන්න හැකියාව ලැබුණේ රාජ්‍ය නායකයා අන්‍ය අදහස් ගරු කරන දුරදිග බලා කටයුතු කරන නායකයකු වු නිසා බව. සමහරු එයා ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන්න උත්සාහ කරනවා. අපි හොඳටම දන්නවා ජනාධිපතිතුමා තනියම තීරණ ගන්නෙ නෑ. හැම දෙයක්ම අගමැති හා කැබිනට් එක එක්ක සාකච්ඡා කරලා සාමුහික තිරණයක් විදියට තමයි ක්‍රියාත්මක කරන්නෙ. අනෙක අපි අමතක කරන්න හොඳ නෑ; ගෝඨාභය රාජපක්ෂයන්ට දේශපාලන පළපුරුද්දක් නැති වුණාට එතුමාට විශාල දේශපාලන අත්දැකීම් පරාසයක් තිබෙන බව. මොකද ඔය දෙන්නම සියවසකට ආසන්න දේශපාලන ඉතිහාසයක් තිබෙන පරපුරක සමාජිකයන්.

 

* මහින්ද රාජපක්ෂයන් ශ්‍රීලනිපයේ සභාපතිත්වය දරද්දී එහි ලේකම් මෛත්‍රීපාල සිරිසේන මෙරටේ ජනාධිපති වුණා. එදා ඒ ජනාධිපති අද මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුත් සන්ධානයක මන්ත්‍රී ධුර අපේක්ෂකයෙක්. මේ ගැන මොනවද හිතෙන්නෙ?

මේ යථාර්ථය දේශපාලනඥයන් අවබෝධ කර ගන්නවා නම් කවදාවත් වෛරී දේශපාලනක් කරන්නෙ නෑ. දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නෑ. ඒ අවබෝධයෙන් තමයි මහින්ද මහත්තයා හැමෝම එකතුකර ගෙන මේ රට ගොඩ නඟන්න උත්සාහ කරන්නෙ. ඒකේදීත් කවුරු හරි කකුලෙන් අදිනවා නම් ඒ අය ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වෙයි. මැතිවරණයකදී තම තමන් ගේ දේශපාලන ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න නිදහස තිබුණත් මැතිවරණයෙන් පස්සෙත් පක්ෂ දේශපාලනය ඉස්මතු කර ගෙන කටයුතු කරනවා නම් එකෙන් අසරණ වෙන්නෙ රටේ ජනතාවයි. ඒකට ඉඩ දෙන්න බෑ. දැන් අපි හැමෝම එකතුවෙලා මේ රට නැවත අලුතින් ගොඩ නඟන්න කැප වෙන්න ඕන. ඒ සඳහා හොඳ ප්‍රවේශයක් හදා ගන්න තමයි මේ මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් අපි ඉල්ලන්නෙ. ජනතාව දැන් රටට ආදරේ කරන කණ්ඩායම හොඳින් හඳුනා ගෙන ඉන්නෙ. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව පක්ෂ පාට වලට නොබෙදී මෙවර පොහොට්ටුවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දේවි කියලා.

* එහෙම දැඩි විශ්වාසයක් තියා ගන්න ඔබට තිබෙන සාධක මොනවද?

ඇත්තටම 2015දී ජනතාවට කුමක් හෝ හේතුවක් නිසා වැරදුණ බව ජනතාව අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ වරද ජනතාව අවස්ථා දෙකකදී දැනටමත් නිවැරදි කරල තියෙනවා.

ඒ එක් අවස්ථාවක් තමයි පළාත් පාලන ඡන්දය; අනෙක් අවස්ථාව තමයි පසුගිය ජනාධිපතිවරණය. දැන් තුන්වන වතාවටත් ජනතාව බලාගෙන ඉන්නෙ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න මෙවර මැතිවරණයේදීත් පොහොට්ටුව ජයග්‍රහණය කරවන්නයි.

මේ රට හදන්න පුළුවන් ගෝඨාභයට හා මහින්ද රාජපක්ෂට පමණක් කියල රටේ බහුතරය දැන් දන්නවා.

* යහපාලන රජය රාජපක්ෂවරු හොරු කියල විවිධ චෝදනා ඉදිරිපත් කළත් ඒ චෝදනා ඔප්පු කර ගන්න බැරි වුණා. ඔබත් ඒකාබද්ධ විපක්ෂය හැටියට එදා යහපාලනයේ වංචා දූෂණ ඉදිරිපත් කළා. නමුත් මේ දක්වා ඒවාටත් විමර්ශන නෑ. ඇත්තටම දෙගොල්ලො දෙපැත්තට චෝදනා කර ගනිමින් මේ කරන්නේ ඩීල් එකක්ද?

ඒ අය රාජපක්ෂවරු හොරු කියල කීවේ ඒ අයට රාජ්‍ය බලය ලැබුණට පස්සෙයි. අපි ඒ අය ගේ වංචා දුෂණ හෙළිදරව් කළේ එයාලව බලයේ සිටිය දීමයි. අපේ කණ්ඩායම ඒ චෝදනා වලට අදාළ සියලුම සාක්ෂි පවා ඉදිරිපත් කරල තිබෙනවා.

නමුත් ඒ අය රාජ්‍ය බලය යොදවලා ඒ චෝදනා වලට අදාළ පරික්ෂණ නතර කරලා කියල ඒ ගැන හොයා බලනකොට තහවුරු වෙලා තියෙනවා. අපේ මේ රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නෑ. ඒ නිසා තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය ප්‍රකාශයට පත් කළේ. නමුත් අවාසනාවන්ත ලෙස කොරෝනා වසංගතය රට ගිල ගත්තා.

දැන් ඒකත් අපේ ආණ්ඩුව ජයගෙන මැතිවරණය පවත්වන්න පුළුවන් පසුබිමක් හදලා තියෙනවා. මේ මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරලා ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන එදා අපි ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන කරන්න අදාළ අංශවලට බලය ලබා දෙනවා. ඒ පරික්ෂණවලට අපි ඇඟිලි ගහන්නෙ නෑ. අපි කාගෙන්වත් පලිගන්න, බොරු චෝදනා ඉදිරිපත් කරන්නෙවත් නිකරුනේ අත්අඩංගුවට ගෙන හිර කරන්නෙවත් නෑ. වරදක් කරල තියෙනවා නම් ඒ අයට නීතියෙන් නියම දඬුවම් ලබා දෙන්න ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න පහසුකම් ලබා දෙනවා. රටේ මුදල් අවභාවිත කරපු හෝ රටේ සම්පත් විනාශ කරපු අයත් එක්ක ඩීල් දාන්න අපි කාටවත් ඉඩ දෙන්නෙත් නෑ. අපි ඩීල් දාන්නෙත් නෑ.

* කරුණා අම්මාන් දේශපාලනයට අරගෙන ඔහුට තනතුරු දීල ඔහු යහමඟට ගන්න මහින්ද රාජපක්ෂයන් උත්සාහ කළා. දැන් ඔහු කරන ප්‍රකාශ ගැන ඔබ මොනවද කියන්නෙ?

වැරදි කළ අයට නීතියෙන් දඬුවම් දෙන්නෙ ඔහුව පුනරුත්ථාපනය කරන්නයි. යුද සමයේදී ඔහු ප්‍රභාකරන් සමඟ එකතුව රාජ්‍ය විරෝධි කටයුතු කළ බව අපිත් දන්නවා. එහෙම දැනගෙන තමයි ඔවුන්ට වැරදි අවබෝධ කරල දීල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු කර ගත්තෙ.

රටේ ආණ්ඩුවක වගකීම තමයි වරදකරුවන් පුනරුත්ථාපනය කර නැවත යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම. එදා අපේ ආණ්ඩුව කටයුතු කරල තියෙන්නෙ ඒ අනුවයි.

නමුත් දැන් ඒ අය තමන් කළ වරද හපන් කමක් විදියට පාපොච්චාරණය කරනවා නම් එතැන වරදක් තියෙනවා. කරුණා අම්මාන් නොවෙයි කවුරු වුණත් එවැනි දේවල් ප්‍රකාශ කිරීම වරදක්.

ජවිපෙ නායකයකුත් ඔවුන් දෙමළ මුස්ලිම් අය මැරුවෙ නෑ; සිංහල අය තමයි මැරුවෙ කිව්ව කියලත් කතාවක් ප්‍රචාරය වෙනවා. මේ කතා කවුරු කළත් වැරදියි. රජයක් විදියට ඒ ප්‍රකාශ ගැන පරීක්ෂණ කරන්න අදාළ අංශවලට ජනාධිපති නියම කරල තියෙනවා.

* MCC ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපති කමිටුව සිය අවසන් වාර්තාව බාර දීලා තියෙනවා. ඔවුන්ගේ වාර්තාවේ අඩංගු කරුණු අනුව මේ ගිවිසුම අස්සන් කරන්න පුළුවන්ද?

මේ ගිවිසුමේ රටට නොගැළපෙන යම් තත්ත්වයක් තිබෙන බව දැන ගෙන තමයි අපි මුල ඉදලම ඊට එරෙහිව කටයුතු කළේ. මේ වාර්තාව අනුව එදා අපි හිටපු ස්ථාවරය හරි කියල දැන් හැමෝටම තේරෙනවා ඇති. යුද්ධයෙන් රට බේරා ගත්තු රාජපක්ෂවරු ගිවිසුමකින් රට පාවා දෙන්නෙ නෑ. මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා සකස් කර තිබෙන වාර්තාව රටේ ජනතාව ගේ අවධානයට යොමු කරන්න ඕනෙ. එතකොට ජනතාවත් අවබෝධ කර ගනීවි මේ අය රටට කරන්න ගියේ මොකක්ද කියලා.

දැනටමත් මේ ගිවිසුමේ කොටස් දෙකක් අත්සන් කරලා. අපේ රජයක් යටතේ රටට අහිතකර සියලු කාරණා ඉවත් කරල ඇමරිකාව සමඟ මිත්‍රයෙක් විදියට කටයුතු කළ හැකි අංශ කෙරේ අවධානය යොමු කරලා තීරණයක් ගන්න ඕන.

ඒ අනුව දැනට තිබෙන මේ ගිවිසුම අපි මේ විදියට අත්සන් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.

* එදා ඔබගේ රජය සමයේත් අපේ රටේ ඉඩම් විදේශිකයන්ට දුන්නු බවට චෝදනා එල්ල වෙනවා. ෂැන්ග්‍රි්ලා හෝටලය හදන්නත් ඒ විදියට ඉඩම් දුන්නු බව පිළිගන්නවාද?

ඔව්, අපේ කාලයේ විදේශීය ආයෝජකයන්ට ඉඩම් බදු දුන්නා මිසක් විකුණුවෙ නෑනේ. අපි ෂැන්ග්‍රිලා හෝටලය හදන්න ඉඩම් දුන්නා. ඒක නිසා තමයි අපේ රටට වැඩිපුර ආයෝජකයන් ගෙන්වා ගන්න පුළුවන් වුණේ. විදේශීය ආයෝජකයන්ට අපේ රටේ පහසුකම් නොදී ඔවුන්ගෙන් ආයෝජන බලාපොරොත්තු වෙන්න බෑ. ඉඩම් ගොඩනැගිලි මානව සම්පත් මේ ආදි පහසුකම් ඔවුන්ට ලබා දුන්නාම අප කෙරේ විශ්වාසයෙන් ආයෝජකයෝ මෙරටේ විවිධ කර්මාන්ත හා සේවා සදහා මුදල් ආයෝජනය කරනවා. පහසුකම් ලබා දීමේදී අපේ රටට හානියක් නොවෙන්න ඒවා කරන්න ඕන. අපි කටයුතු කරලා තියෙන්නෙ එහෙමයි. අනෙක මතක තියා ගන්න අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දීලා විශාල අවධානමක් තිබුණු අපේ රටට එන්න ඒ වෙලාවෙ කිසිම ආයෝජකයෙක් කැමති වුණේ නෑ. ඒ තත්ත්වය වෙනස් කරන්නයි අපේ රජය ඒ වෙලාවෙ එවැනි තීන්දු ගත්තේ.

* එම්. සී. සී. ගිවිසුම 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කියලත් සඳහන් වෙනවා. ඒ ගැන මොනවද කියන්නෙ?

ජාත්‍යන්තර සබඳතා හා සහයෝගය නොමැතිව කිසිම රටකට ස්වාධීනව ගොඩ නැගෙන්න බෑ. ඒ නිසා ඒ ඒ කාලයට ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සමඟ අපිත් සම්බන්ධ වෙන්න ඕන. 2005 වසරේ අපේ පූර්ණ අවධානය තිබුණේ අපේ රටේ පැවැති දරුණු ත්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒ කාලයේ අපේ ආණ්ඩුව ලෝකයේ නොයෙකුත් රටවලින් සහයන් ලබා ගත්තා. නමුත් එම්. සී. සී. ගිවිසුමක් ගැන මට මතක නෑ. එහෙම ඒ කාලයේ කළ ඉල්ලීමක් ක්‍රියාත්මක වෙන්න මෙපමණ කාලයක් ගත වුණේ ඇයි කියලත් එහෙම නම් හොයා බලන්න ඕන.

* රාජපක්ෂවරුන්ගේ පවුල් දේශපාලනය පිළිබඳවත් විවේචන එල්ල වෙනවා. ඇත්තටම රාජපක්ෂවරුන්ගෙන් තොරව මේ රට බාර ගන්න වෙන අයට ඉඩක් නැද්ද?

මොකද නැත්තේ පහුගිය යහපාලන ආණ්ඩුවෙ රාජපක්ෂවරු හිටියද?

එදා 2005 දී මහින්ද මහතා ජනාධිපතිවරණය පරාජයට පත් වුණාට පස්සේ සියල්ල අත හැරලා මැදමුලන මහ ගෙදරට ගියේ දේශපාලනයෙන් සමුගන්න අපේක්ෂාව ඇතිවයි. නමුත් ඒකට ඉඩක් නැති වුණා.

දිවයිනේ දුර බැහැර ඉදලා බස් අර ගෙන ගම්මාන පිටින් මහින්ද මහතා සොයා ගෙන ඇවිල්ල ඔවුන් හඬා වැටෙමින් කීවේ නැවත මේ රට බාර ගන්න කියලයි. ඒ අතරේ අපේ කඳවුර නියෝජනය කරපු දිනේෂ්, විමල්, වාසු ගම්මන්පිල වැනි අය ඉතාම සක්‍රියව එඩිතරව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න පියවර ගත්තා. ඒ අනුවයි නැවත මම දේශපාලනයට ආවෙ.

රාජපක්ෂවරුන්ට හරි වෙන කාට හරි මේ රට බාර දෙනවාද නැද්ද කියල තීරණය කරන්නෙ රටේ ජනතාව මිසක් ඒ අය නොවෙයි.

රාජපක්ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරන්න පෙර මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂලාට මේ තරම් ආදරේ කරන්නෙ ඇයි කියල හොයල බලන්න ඕන. රාජපක්ෂවරු කිසිම ⁣දවසක මේ රට පාවා දීලා රටත් ජනතාවත් කාටවත් යටත් කර ගන්න ඉඩ දීල නෑ.

අනෙක අපේ දේවල් ගොඩනඟලා අපේකම කියන ආඩම්බරය අභිමානය රැක ගෙන අපිට නොබැදි විදේශ ප්‍රතිපත්තියකින් කටයුතු කරන්න පුළුවන් නිසා ජාත්‍යන්තර සහයෝගිතාවද මැනවින් පවත්වා ගෙන යන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

* අනවශ්‍ය සංවර්ධන කාර්යයන් සඳහා වැඩි පොළියට විදේශීය ණය අර ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ රජය අපේ රට ණය උගුලක පටලවා තිබෙනවා කිව්වොත් ඒක වැරදිද?

ණය ගැනීම හරිදද වැරදිද කියල බලන්න පෙර ඔය කියන අනවශ්‍ය සංවර්ධන කාර්යයන් මොනවද කියල හොයා බලන්න ඕන. අධිවෙිගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ ආදි මේ ව්‍යාපෘති අනවශ්‍ය ඒවා කියල මේ රටට ආදරේ නැති අය හැමදාම කියපු කතාවක්.

මම මුලින් කීව වගේ අපි ලෝකයේ අනෙක් රටවල් සමඟ ඉදිරියට යන්න නම් අපේ සම්පත් වැඩි දියුණු කරන්න වෙනවා. ආසියාවෙි ආර්ථික මර්මස්ථානයක් ලෙස සැලකෙන අපේ රට ඒ හරහා දියුණු රාජ්‍යයක් බවට පත් කර ගන්න ක්‍රියා කරන්න ඕන. ඒ සඳහා අත්‍යාවශ්‍ය වන්නේ වරායවල් ,ගුවන් තොටුපොළ අධිවේගි මාර්ගයි.ආයෝජකයින්ට අපේ රට ආයෝජනය සඳහා ආකර්ෂණීය තැනක් බවට පත්වෙන්නේ ඔවුන්ට තිබෙන පහසුකම් අනුවයි.

ඒ අනුවයි එදා අපේ රජය කටයුතු කරලා තිබෙන්නෙ. අපිට හැමදාම පිටරටවලට අතපාලා ජිවත් වෙන්න බෑ.

* ඔබලාගේ හැමදාම සටන් පාඨය වුණේ දේශීය ආර්ථිකයක් ගොඩ නඟනවා කියන එකයි. නමුත් බලය ලැබුණාම ඔබලත් කරන්නෙ පිටරට දේවල් ගෙනල්ලා ජනතාවට කන්න දෙන එක නොවෙයිද?

පිටරටවලින් ගෙන්වන සියල්ල එකවර නවත්වන්න බෑ. අපි ඉකුත් අපේ රජය කාලේ රටේ පැවැති දරුණු යුද්ධයකට මුහුණ දෙන ගමන් රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම නිපදවන්න පියවර ගත්තා. 1977න් පස්සේ ඇති වූ විවෘත ආර්ථිකය නිසා අපේ ව්‍යාපාරිකයෝ ඉදි කට්ටේ පටන් හැම දේම පිටින් ගෙනත් අඩු මිලට දෙන්න පටන් ගත්තු නිසා අපේ දේශීය කර්මාන්ත බොහෝමයක් වසා දමන්න වුණා.

ගොවියෝ ගොවිතැන අතහැරල කඩෙන් හාල් ගෙනත් කන්න පටන් ගත්තා. දේශීය හැම නිෂ්පාදනයක්ම එහෙම පිටින්ම නැවතුණා. මේ තත්ත්වය එකපාරට වෙනස් කරන එක පහසු නෑ. නමුත් රජය යුද්ධය කරන ගමන් ඒකත් කළා.

ඒ නිසා තමයි 2015 වී අස්වැන්න දාන්න තැනක් හොයා ගන්න බැරුව මත්තල ගුවන් තොටුපොළට ගෙනත් ගොඩ ගැහුවෙ. දැන් අපේ ආණ්ඩුව නැවත මේ රටේ නිපදවිය හැකි දේවල් පිටින් ගෙන්වන එක ක්‍රමානුකූලව නතර කර ගෙන යනවා. දැනටමත් කහ ඉඟුරු වැනි කෘෂි බෝග ආනයනය කිරීම නවතා තිබෙනවා. මේ නිසා අපේ රටෙි ගොවියන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබෙනවා.

දැන් නැවතත් කුරුඳු ගම්මිරිස් කරාබු ආදි බෝග සදහා ඉහළ මිලක් ලැබෙන්න පටන් ගෙන තිබෙනවා.

මේ නිෂ්පාදන ආශ්‍රිතව කර්මාන්ත බිහි කරන්න අපේ රජය දැන් අවධානය යොමු කර ගෙන යනවා. වී ගොවියා ගේ අතිරික්තය සාධාරණ මිලකට රජය මිලදී ගන්නවා වගේම එළවළු හා අපනයන කෘෂි බෝග වගා කරන ගොවීන් ගේ අතිරික්තයත් සාධාරණ මිලකට රජයෙන් මිලදී ගන්න අපි සැලසුම් සකස් කර ගෙන යනවා.

* ඔබ ඔය කියන බොහෝ දේවල් කරන්න අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ නේද?

ඔව් ඔබ කියන කාරණය හරි. විටින් විට බලයට පත්වන ආණ්ඩු ඔවුන්ට ඕනෑ ඕනෑ විදියට මෙරටේ ආර්ථික, සමායීය, දේශපාලන කාරණා වෙනස් කරනවා. එසේ නොවන්නට නම් අපි ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ඕන. ඒ වාගේම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරල අදට ගැළපෙන අපේ අනන්‍යතාවය සුරකෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්න ඕන. දැන් අපේ තිබෙන මේ ව්‍යවස්ථාව දහනව වාරයක් සංශෝධනය වෙලා.

මේ නිසා බොහෝ අවස්ථාවල යම් යම් තීරණ ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල ව්‍යවස්ථාවෙ අර්ථකතනයන් ඉල්ලන්න වෙලා තියෙනවා. මේ කටයුතු පිළිවෙළකට රටට ගැළපෙන විදියට ජනතාවට පිළිගත හැකි ආකාරයට සිදු කරන්න තමයි අපි මෙවර බලය ඉල්ලන්නෙ. මේ මැතිවරණයෙන් ජනතාව රාජපක්ෂ සුසංයෝගයට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් අපේ රට අතීතයේ තිබුණ අභිමානවත් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවාට කිසිම සැකයක් නෑ.

* අගමැති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරනවා. ඔබ හිතනවාද ඔහු රටේ වැඩිම මනාප ලබා ගනියි කියලා?

ඇයි ඔබ හිතනවාද කියල අහන්නෙ. ඒක එහෙමම තමයි වෙන්නෙ. මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණයේදී ඉතිහාස ගත වෙනවා.

ඒ වගේම පොහොට්ටුවට මෙවර ලැබෙන මුළු ඡන්ද සංඛ්‍යාව මෙරට දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව බවට පත් වෙනවා.මම එහෙම කියන්නෙ මේ වෙන කොට අපේ රටෙි තිබෙන ප්‍රබලම,ශක්තිමත්ම,දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසයි.එජාපය බෙදිලා කැඩිලා දැන් ඔවුනොවුන් ඇන කොටා ගන්නවා.

සජිත් ප්‍රේමදාස රැස්වීමක වේදිකාවට නැග ගත්තාම කියන්නෙ මොනවද කියල එයාවත් දන්නෙ නෑ. එයා කතා කරන තරමට අපේ ඡන්ද ගොඩ වැඩි වෙනවා.

Comments