එජාපය විනාශ වෙන්න කියලා පෞද්ගලිකව මම ප්‍රාර්ථනා කරන්නෙ නෑ | සිළුමිණ

එජාපය විනාශ වෙන්න කියලා පෞද්ගලිකව මම ප්‍රාර්ථනා කරන්නෙ නෑ

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

මෙවර මැතිවරණය ගැන ඔබ මොනවද හිතන්නෙ?

මෙවර මැතිවරණය වෙනත් මැතිවරණවලට වඩා ටිකක් තියුණු තරඟයක් තිබෙන මැතිවරණයක්. රටේ ජනතාව අලුත් ජනාධිපති පත් කරල අලුත් අගමැති කෙනෙකුත් පත් කරන්න බලා ගෙන ඉන්නවා.

අලුත් අගමැතිවරයෙක් කීවෙ කවුද?

මෙවර මැතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ මීට පෙර අගමැති තනතුර දරපු දැනටත් එම තනතුර දරණ අයෙක්. රනිල් වික්‍රමසිංහත් මීට පෙර අගමැති තනතුර උසුලලා තිබෙනවා. සමඟි ජන බලවේගයේ නායකයා මීට පෙර අගමැති ධුරයට පත් වූ නායකයෙක් නොවෙයි. ඒ නිසා එතුමාව මේ මැතිවරණයෙන් අගමැති කළාම රටේ අගමැතිත් ජනාධිපතිත් ඒ තනතුරුවලට අලුත්ම අයයි. එහෙම අලුත් අගමැති කෙනෙක් පත් කරන්න ජනතාව බලා ගෙන ඉන්නවා.

 

එජාපය හා සමඟි ජන බලවේගයේ විරසකය මැතිවරණයේ ප්‍රතිඵලයට කොයි විදියට බලපෑමක් ඇති කරයිද?

ඇත්තම කාරණය අපි තේරුම් ගන්න ඕන.දැන් එජාපයේ ඉන්නෙ කවුද? කී දෙනෙක්ද ඉන්නෙ?එහෙම බලන කොට එජාපයේ ප්‍රබලයෝ සමඟ 99% ක්ම දැන් ඉන්නෙ සමඟි ජන බලවේගයේ. එතකොට ජනතාව ඡන්දය දෙන්නෙ තමන් දන්නා හඳුනන අපේක්ෂකයන්ට.ඒ අනුව එජාපයේ ඡන්දදායකයන් 99% ඉන්නෙත් සමඟිජන බලවේගය සමඟයි. එහෙම නම් මැතිවරණයේ ප්‍රතිඵල හිතා ගන්න පුළුවන්නෙ.

 

ඔබ නොකියා කියන්නෙ "එජාපය ඉල්ලගෙන කෑවා" කියල නේද?

මම මේ පක්ෂ දෙක අතර මතබේද අවුස්සන්න හෝ එජාපය විවේචනය කරන්න කැමති නෑ. මොනවා වුණත් ඒක අපෙ මහ ගෙදර. මැතිවරණය ඉවර වෙලා ප්‍රතිථල දැක්කාම වෙලා තියෙන දේ හැම දෙනාම අවබෝධ කර ගෙන ඔය කවුරුත් සත්‍ය තේරුමි ගනීවී. එතකොට ඔය දෙගොල්ල නැවත එකතු වෙන්නත් පුළුවන්.

 

ඔබ කියන විදියට කට්ටිය සත්‍ය තේරුම් ගන්න කොට වෙන්න ඕන හැම දේම වෙලා තියේවි නේද?

ඔව් ඉතින්; මේ සිද්ධ වෙලා තියෙන දේට මමත් අපේ බහුතරයකුත් කැමති නෑ.

මේ එජාප බෙදීම ගැන අපිට සතුටු වෙන්න බෑ. මගේ හිතේ තියෙන්නෙ මේ බෙදීම ගැන කලකිරීමක්. අවාසනාවකට අපේ අයට එකට එකතු වෙන්න බැරිව දෙකට බෙදුණත් මේ මැතිවරණයෙන් පස්සේ කාටත් බලා ගන්න පුළුවන් ජනතාව ඉන්නේ කොහේද කියලා. ඒ අනුව කා අතිනුත් වෙලා තියෙන අතපසු වීම් වැරදි අඩුපාඩු තේරුම් අරගෙන ජනතාව ඉන්න පැත්ත බලලා ඒ පැත්තට හැම දෙනාම එකතු වේවි.

 

ඔබ කොහොම කිව්වත් ඔබලා ගේ පක්ෂයෙන් නෙරපීමට එරෙහිව අධිකරණයෙන් අපේක්ෂා කළ වාරණ නියෝගය ලැබුණෙ නෑ නේද?

ඔව් අපේ ඒ ඉල්ලීමට අධිකරණය එකඟ වෙලා නෑ. නමුත් වාරණ නියෝගය නොලැබුණා කියල අපි පරාද නෑ. මොකද අපේ පැමිණිල්ල විභාග වීමට නියමිතව තිබෙනවා. අනෙක ස්වභාවික විනිශ්චයක් කියල දෙයකුත් තියෙනවානෙ. ඒකත් එක්ක ඔය ප්‍රශ්නය විසඳේවී. දැන් බලන්න ශ්‍රීලනිපයට වුණේ මොනවද කියලා. ගම්වල දැන් වැඩිපුර ඉන්නෙ ශ්‍රීලනිප අයද නැත්නම් පොහොට්ටුවේ අයද? මම පෞද්ගලිකව එජාපය විනාශ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ නෑ. නමුත් අපි හැමෝම නොබෙදී එක් වෙන්න ඕන.

 

එජාප හිටපු මන්ත්‍රී බදුල්ල දිස්ත්‍රික්කයේ සමඟිජන බලවේගයේ නායක හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයෙන් අගරදගුරු හිමිපාණන්ට අපහාසයක් වුණාද; නැද්ද?

ඇත්තටම හරීන් මොනවද කීවෙ කියල මම දන්නෙ නෑ. එයා ගේ කතාව මට අහන්න බැරි වුණා. මම හිතන්නේ ස්ටේජ් එකකදී කතා කරන කොට මොනවා හරි කියැවෙන්න ඇති. ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් මැද ඕන දේයි එපා දේයි කියැවෙනවා. මම හරීන් ගැන දන්නවා. ඔහු හොඳ කතෝලිකයෙක්.

කාලයකට පෙර වෙච්ච දෙයක් නිසා ඔහු ගේ හිත ඇතුළේ තිබුණ දෙයක් කිව්වා වෙන්නත් පුළුවන්. මම හිතන්නෙ නෑ හරීන් ඒක කිව්වෙ කතෝලික ආගමට හෝ අගරදගුරුතුමන්ට අපහාස කරන්න කියල හිතාන කියල. හරීන් වෙනුවෙන් අපේ පක්ෂ නායකතුමා කණගාටුව ප්‍රකාශ කරල සමාව ඉල්ලා තිබුණා. දැන් ඒක එතැනින් ඉවරයි. කතෝලිකයන් ගේ ගතියක් තමයි වරදට සමාව දීම දේව ගතියක් ලෙස සලකන එක. ඒ අනුව දැන් ඒ ප්‍රශ්නය ඉවරයි.

ඇත්තටම සමඟි ජන බලවේගය ජාතිවාදීන් හා ආගම්වාදීන් බහුල පක්ෂයක් කියල කවුරු හෝ කිව්වොත් ඔබ මොකද කියන්නෙ?

නෑ. ඔබ කියන විදිය වෙනස් වෙන්න ඕන. සමඟි ජන බලවේගය කියන්නෙ බහු ආගමිකයන් බහු ජාතිකයන් ගෙන් සැදුම්ලත් පක්ෂයක් කියලා. ඇත්තටම අපේ බලවේගයේ මෙරටේ සියලු ජාතීන් නියෝජනය කරන කණ්ඩායම් ඉන්නවා.ඒ වාගේම සැම ආගමක්ම නියෝජනය කරන පූජකතුමන්ලාත් ඉන්නවා. එහෙම තැනකට ජාතිවාදී ආගම්වාදී කියල කියන එක සාධාරණ නෑ. ජාතිවාදීන් අගම්වාදීන් ඉන්නේ කොහෙද කියල කවුරුත් දන්නවා. අපිත් එක්ක ඉන්න සමහර අය කරන ඇතැම් ප්‍රකාශ ඒ අය ගේ පෞද්ගලික ප්‍රකාශ මිස ඒවා ඔක්කොම අපේ පක්ෂයේ පොදු මතය හැටියට සලකන්න එපා.

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාත් අපේ මහ සංඝරත්නයට අපහාස කළා කියල චෝදනා එල්ල වුණා. දැන් හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාටත් එවැනි චෝදනාවක් එල්ල වෙලා. මේ දෙන්නම ඔබේ පිල නියෝජනය කරන අයයි?

ඔබ කියන එක මට තේරෙනවා. මම ඒකයි කීවෙ සමහර අය ගේ ප්‍රකාශ ඒ ඒ අය ගේ පෞද්ගලික මතවාද මිසක් එ්වා අපේ පක්ෂයේ මතය නොවෙයි. අපේ පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස සෑම ආගමක් සෑම ජාතියක්ටම ගරු කරනවා.

 

මහ බැංකුව රුපියල් බිලියන 400ක මුදල් අච්චු ගැහුවා කියල ඔබ දන්නේ කොහොමද?

මහ බැංකුවේ වෙබ් සයිට් එකට ගිහිල්ල ඕනෑම කෙනෙක්ට ඒක බලා ගන්න පුළුවන්. මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තු ප්‍රමාණය දිනපතා මේ වෙබ් පිටුවේ සඳහන් වෙනවා. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනිමට තමයි අපි සරලව කියන්නෙ සල්ලි අච්චු ගහනවා කියලා. සල්ලි අච්චු ගහනවා කියල අපි කිව්වම මිනිස්සු හිතන්නෙ රුපියල් 5000 නෝට්ටු අච්චු ගහනවා කියලයි.නමුත් ඒක නෙවෙයි වෙන්නෙ. වෙළදපොල ද්‍රවශීලිතාව වැඩි කරන්න් මහ බැංකුව මුදල් නිර්මාණය කරනවා. ඒක කරන්නෙ භාණ්ඩාගාර බිල්පත් මඟිනුයි. කෝවිඩි එක පටන් ගන්න කලින් මහ බැංකුවෙ තිබුණේ රුපියල් බිලියන හැටක විතර ප්‍රමාණයක්. දැන් වෙන කොට ඒක බිලියන 419 ට වැඩි වෙලා තියෙනවා. එකෙන් ඕන කෙනකුට තේරුම් ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. දේශපාලනඥයන්ට මේක නොතේරෙන හින්දා කෑ ගහනවා.

 

ඔබම සඳහන් කරනවා මේක ශ්‍රී ලංකා මහ බැංකුවෙි වෙබ් එකට පිවිසිලා ඕනෑම කෙනකුට බලන්න පුළුවන් කියල. ඒ විනිවිදභාවය තිබියදී ඇයි ඔබ එය වංචාවක් විදියට ඉස්මතු කරන්න උත්සාහ කරන්නෙ.?

කවුද එහෙම වංචාවක් කියල කියන්නෙ. අපි කියන්නෙ සීමාව ඉක්මවා මේ කටයුතු සිදුවෙනවා නම් ඒක පෙන්වා දෙන එක අපේ යුතුකමක්. මේක දේශපාලන කාරණයක් නොවෙයි; ඊට එහා ගිය ආර්ථිකයකට සම්බන්ධ කාරණාවක්. ආර්ථිකය ගැන නොදන්න අය අපි කියන මෙි දේවල් ගැන බොරු තර්ක මතුකර ගෙන කෑ ගහනවා.

 

ඔබ ඔය කියන මහ බැංකු වාර්තාවේ 2015 මුදල් කොල්ලය ගැන සඳහන් වෙලා තිබුණෙ නැද්ද?ඒ නිසාද එදා ඔබලා ඒවා ගැන කතා නොකළේ?

මහ බැංකු වාර්තාවේ බැංකුවේ ගනුදෙනු හැම දෙයක්ම ඇතුළත් වෙනවා.එදා සිදුවු ඔය බැඳුම්කර වෙන්දේසිය ගැනත් තොරතුරු එහි සඳහන් වුණා.

හැබැයි ඒ කරුණු අනුව හොරකමක් සිද්ධවෙලාද නැද්ද කියල හොයන්න එක පාරටම බෑ. මේ පිළිබඳව කරපු වෝහාරික විගණනයේදී මේ වැඩ පිළිවෙල ගැන දිගින් දිගටම කරුණු හොයල කරුණු වාර්තා කර තිබෙනවා. මම අදත් කියන්නෙ ඒ වංචාවට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් කරන්න කියලයි.

 

ඔබ ආර්ථිකය ගැන දන්න ආචාර්යවරයෙක්. සජිත් ප්‍රේමදාස මහතා කියන විදියට එතුමට ජයග්‍රහණය ලැබුණොත් හැම පවුලකටම රුපියල් 20000ක් දෙනවාලු. ඇත්තටම ඒක කරන්න පුළුවන්ද?

මම තමයි ඔය රුපියල් පන්දහස ගැනත් විග්‍රහයක් කළේ. ඇත්තටම හතරදෙනෙක් ඉන්න පවුලකට මසකට ජිවත්වෙන්න රුපියල් විසි දහසක් ඕන. ඒක දෙන්න පුළුවන්. දැන් තියෙන දරිද්‍රතා රේඛාවේ සටහන් වෙන්නේ එක් අයකුගේ මාසික වියදම රුපියල් 5040යි. ලංකාවේ ජනගහනය අනුව එක් පවුලක සාමාන්‍ය ගණන සාමාජිකයන් 3.9ක් වාගේ ඒ කියන්නෙ හතර දෙනයිනෙ. ඒ අනුව තමයි අයි ඔය රුපියල් 20000ක් එක් පවුලකට දෙන්න ඕන කියල කියන්නෙ.

Comments