ද නිව්ස්පේපර් සිනමාකරුවන් දෙදෙනකුගේ පත්තර කියැවීම | සිළුමිණ

ද නිව්ස්පේපර් සිනමාකරුවන් දෙදෙනකුගේ පත්තර කියැවීම

කෘතහස්ත රංගවේදීන් දෙපළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් නිර්මාණය කරන ලද “ද නිව්ස්පේපර්” චිත්‍රපටය මේ මොහොතේ තිරගතවීම අරඹන්නේ එහි අවධානය උදෙසා බෝනස් වශයෙන් ලැබුණ අවශේෂ කරුණු දෙක තුනක්ද සමඟිනි.

ඒවා නම් කොරෝනා වසංගතය හේතුවෙන් දින එකසිය පහක් මුළුල්ලේ වසා තැබු සිනමා ශාලා විවෘත කිරීම උදෙසා යොදා ගැණුන එකම අලුත් සිනමාපටය වීම, ප්‍රධාන නළුවන් දෙදෙනා විසින්ම තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ කෘතියක් වීම, සහ ශ්‍රමදාන මට්ටමින් හොඳ නිර්මාණ බිහි කළ “කලා පෙළ” සිහි ගන්වමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ යන අර්ථපතීන් තිදෙනා සමූපකාර ක්‍රමයට ආරම්භ කරනු ලැබූ ප්‍රථම සිනමාපටය වීම ආදී කාරණා ය.

නමුත් “ද නිව්ස්පේපර්ස්” ප්‍රේක්ෂක අවධානයට ලක්වන්නේ මෙම කිසිදු කාරණාවක් නිසා නොව අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින් සමාජය කියවීමට ගන්නා උත්සාහය අපට වින්දනයක් ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කිරීමට සමත්ව ඇති බැවිනි.

මෙම චිත්‍රපටයේ අප දකින ජීවන සංසිද්ධියට අමතරව සිත් පැහැර ගන්නා ප්‍රධාන කාරණයක්ද වෙයි. එය නම් නිර්මාණකරුවන් උදෙසා කොතෙක් නම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මේ වර්ග සැතපුම් විසිපන් දහස තුළ විසිරී ඇත්ද යන්න මේ දෙදෙනා විසින් මැනවින් ඔප්පු කර ඇති බවය. අනෙක් පැත්තෙන් තිස් අවුරුදු යුද්ධයකට ද, ලෙයින් හා යකඩින් මැඩ පවත්වනු ලැබූ කැරලි දෙකකට ද අයත් මෙවැනි නෂ්ඨාවශේෂයන් තුළ කොතරම් නම් හද කකියවන වෘතාන්තයන් පාෂාණීභූතව ඇත්ද යන්නය.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන සිනමාකරුවන් දෙදෙනා විසින් අහුලා ගෙන ඇත්තේ එසේ පාෂාණීභූතවීමට ඔන්න මෙන්න කියා තිබූ, එහෙත් ජීවය නොසිඳුන නෂ්ඨාවශේෂයකි. ඒ සොයා ගැනීමට අනුව පුවත් පතක වම් පැත්තේ දෙවැනි පිටුවේ පළවී ඇති මුද්දර ප්‍රමාණයේ නිවැරදි කිරීමක් මුල් කර ගනිමින් ඔවුන් විසින් තම තිර නාටකය ගොඩනගා තිබේ.

ඉන් කියවෙන්නේ කලකට පෙර හමුදා භටයින් ගමන් ගත් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ යයි එම පුවත්පත විසින් යම් පුද්ගලයෙකුව හඳුන්වාදෙනු ලැබූවේ වැරදීමකින් බවය. තවද ඔහු එම අවස්ථාවේ එතැනින් ගමන් කරද්දී මෙම ඛේදවාචකයට ගොදුරු වූ සාමාන්‍ය ගම්වැසියෙකු බව හෙළිවී ඇතැයිද ඉන් කියවී තිබේ.

නමුත් මේ පුවත මුල් අවස්ථාවේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් සේ පළවීමත් සමඟ කුපිත වූ ගම් වැසියෝ ඔහුගේ නිවස ගිනි තැබීමෙන් නොනැවතී මේ පුද්ගලයාගේ වැඩිමල් සොහොයුරාගේ දෙකකුල්ද කඩා දමා ඇත්තාහ. පෙර කී පත්තර කැබැල්ල හමුවන්නේ මෙම සොහොයුරාටය. දෙපා අහිමිවීම නිසා අන්ත අසරණ භාවයට පත්ව සිටින ගුණා නම් වූ මේ තැනැත්තා අකුරු දන්නා පුද්ගලයෙකු වන අතර, මේ කියන්නේ කලෙකට ඉහත එම බෝම්බයට බිලිවූ තම සොහොයුරා ගැන බව වටහා ගනී.

එතැන් සිට ඔහුගේ උත්සාහය වන්නේ අදාල පත්තර කන්තෝරුව සොයා ගොස් මෙම නිවැරැදි කිරීම ප්‍රධාන සිරස්තලය ලෙස පළ කරවා ගැනීමය. ඒ සිය මවට ඒ බව පෙන්වා ඇයගේ සිතට සැනසීමක් උදාකර දීමටය.

චිත්‍රපටය ගොඩ නැගෙන්නේ අකුරු නොදන්නා මිතුරකු වන ලුයියාත් , අකුරු දන්නා නමුත් ඇවිද ගත නොහැකිව කරත්තයකින් ගමන් ගන්නා ගුණාත් පත්තර කන්තෝරු හරහා කරන චාරිකාවක් පාදක කර ගනිමිනි.

සම්භාව්‍ය ඉන්දියානු චිත්‍රපටයක් වූ “පිරවි” චිත්‍රපටයේ තමාගේ තරුණ පුත්‍රයා එතැයි සිතා අවසාන බසය වෙතට දෛනිකව පිය නඟන මහළු පියා මෙන්ම, “පුර හඳ කළුවර” කෘතියේ සිය පුතු නොමැරුණු බව සිතන මහලු ගැමියාද, ලී කඳන් පැටවූ ලොරියකින් වැටුණු රතු කොඩියක් අහුලා දෙන්නට ගොස් එක මොහොතකින් කොමියුනිස්ට් නායකයෙකු බවට පත්වන චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්” චිත්‍රපටයේ පාදඩයාද සිහිපත් කරවන ගමනක සිය කෘතිය ඔස්සේ අප රැගෙන යන්නට මෙම චිත්‍රපටකරුවෝ සමත් වෙති.

සියළු කාරණාවලට පදනම සපයන ඒ මහා බෝම්බ පිපිරීම මෙන්ම නිවෙසක් ගිනි තබා අයෙකුගේ දෙකකුල් කඩා පවුලක් අසරණ කරන ජවනිකා ආදියෙන් තොරව ප්‍රේක්ෂක අප හමුවේ මෙකී ඛේදවාචකයේ තරම කියා පාන්නට ඔවුහු සමත් වෙති. යම් යම් තන්හි තිර රචනයෙහි වූ නොසියුම් භාවය හේතුකොටගෙන චරිතවල ඇද පළුදුකම් ඇති වුවද රංගනයෙහි ලා ඉතා සුලු චරිත නිරූපණයන්ගෙන් පවා අවැඩක් ඇති කර නොගැනීමට අධ්‍යක්ෂවරුන් ප්‍රවේශම් වී තිබේ.

සිනමා ශිල්පීය දායකත්වය තුළින් චන්දන ජයසිංහගේ කැමරා කරණයද, ගයාත්‍රී කේමදාසගේ අර්ථවත් සංගීත නිර්මාණයද, අජන්ත අලහකෝන්ගේ කලා අධ්‍යක්ෂණයද, රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණයද, අරුණ ප්‍රියන්ත කලුආරච්චිගේ ශබ්ද පරිපාලනයද “ද නිව්ස්පේපර්” අපට බලා සිටිය හැකි සිනමා පටයක් බවට පත් කිරීමට උදව් වී තිබේ. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ඇතුලු සියලු නලු නිලියන් ගේ රංගනය චරත නිරූපන වල දිග පලලින් තොරව එක හා සමානව නිසි පරිදි නිරූපණය වේ.

වියළි කලාපයේ ඈත කෙළවරකින් උපන් කතාවක් වුවද කෘතියේ තීරණාත්මක සිදුවීම්වලින් වැඩි කොටසක් ඉදිරිපත් වන්නේ කොළඹ නගරයේ පුවත් පත් ආයතන කීපයක් පසුබිම් කර ගනිමිනි.

අකුරු දන්නා හා නොදන්නා ගැමියන් දෙදෙනෙකු පුවත් පත් ආයතන හා කෙරෙන ගණුදෙනුව පිළිඹිඹු කිරීමේදී තිර රචනයේ වූ සංයමය යම් පමණකට බිඳී ඇති බව පෙනී යන්නකි. අප එසේ කියන්නේ මෙම සිනමා පටය හේතු කොටගෙන රටේ ගෞරවනීයම වෘත්තියක් සේ සැලකෙන පුවත් පත් කලාවට කැලලක් වූවා යයි සිතා නොවේ. මක්නිසාද යත් සෑම වෘත්තියක්ම ගෞරවනීය වන්නාසේම සෑම ගෞරවනීය වෘත්තියකම පාහරයින්, කුඩුකේඩුවන්, කුහකයින් හා බත් කැවූ අත හපා කෑ හැකි නිර්ලජ්ජිත නීචයින්ද සිටිය හැකි බැවිනි.

පුවත් පත් කලාවට නොව දෙවි දත්තයන් මහණව සිටි බුදු සසුනටද එය අදාල මුත් සිනමාවේදි මේ මේ චරිත අරබයා දෛවයේ හැඩතල අභිබවා යන විශ්ලේෂණයකට අධ්‍යක්ෂවරුන්ට ඉඩ සැලසේ. මෙම සුවිශේෂ වෘත්තිය තුළද ඒ සඳහා නොගැලපෙන විවිධ මනෝභාවයන් සහිත මිනිසුන් මෙන්ම සුදුුසු මිනිසුන්ද බිහිව ඇත්තේ ඇයිදැයි යන්න ගැන ප්‍රේක්ෂක සහෘදයා සවිඥාණක වන්නේ එවිටය. අනෙක් කරුණ නම් මෙය සියයට සියයක්ම යථාර්ථයද නොවීමය. පුවත් පත් ලෝකය තුළ ඇති තරගකාරී ස්වභාවය මතම මෙය අද දවසේ වෙනත් පුවත් පතක අවධානයට යොමු වීමට ඉඩ ඇති අතර සමාජ ජාලා වේබ් අඩවි නිරතුරු මෙවැනි කරුණු දෙස බලා සිටී. එසේ නොවුණද පුවත් පතක කිසිම කතුවරයෙකු මෙවැනි ගැටලුවක් අරබයා සිනමා කෘතියේ දකින ආකාරයේ ප්‍රතික්‍රියාවක් දක්වනු ඇතැයි සිතිය නොහැක. ජයගතයුතු තරගකාරීත්වය සහ වෙනත් හේතූන් මත ඔවුන් මොන මානසික තත්වයක සිටියද සිය අසුන කරා පැමිණ ඇත්තේ යම් අත්දැකීම් සමුදායක් ද සමඟ වන බැවිනි.

නමුත් මෙම සිනමා කෘතිය විසින් වත්මන් පුවත් පත් කලාව මතුනොව සමස්ථ මාධ්‍ය කේෂ්ත්‍රයටම පොදු එක් යථාර්ථයක් ඉස්මතු කරන්නට සමත් වෙයි. එනම් අප හැම දෙනෙකුම පාහේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නොමැති වීමේ අහේනියෙන් බරපතල ලෙස බැට කන බවය. මේ සමඟම සිනමා කරුවන් විසින් ඉස්මතු කරනු ලබන තවත් කාරණයක්ද වෙයි. එය නම් පත්තර කලාවේ මතු දවස උදෙසා බිහිවන නව පරපුර කොයි ආකාරද යන්නය. මෙම කෘතිය තුළ අප දකින පුහුණු වන තරුණ මාධ්‍යවේදිනිය ඊට හොඳ නිදසුනකි. ඇය කරුණාවන්තය. පරිත්‍යාගශීලිය. ඒ කරුණු දෙක ඉටු කරනවා හැරෙන්නට මේ කතාවට පසුබිම් වූ කාරණය සිය පුවත් පත්කලාවේදී භූමිකාව ගොඩනගා ගැනීමට තරම්වත් දැනුවත් භාවයක් ඇයට නැත. සහජ කෞශල්‍යය පාදක කර ගනිමින් දැනුවත් භාවයෙන් ගොඩනගා ගත යුතු පුවත් පත් කලාවේදියාගේ භූමිකාව මෙ දවස තුළ එයට අහිමි වීමේ ඛේදයද මෙම ගැටලුවෙන් යම් පමණකට ගම්‍ය වෙයි. එහෙත් එය තිර රචනයෙන් අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් ඉදිරිපත්වන ආකාරයේ වූ යම් ප්‍රමාණයක රළු බවක් හේතු කොට ගෙන යථාර්ථයෙන් බැහැර වෙයි. නමුත් ආරම්භයේ සිට තම කෘතිය හා බැඳුණ ප්‍රේක්ෂකයා අවසානය දක්වා දිගින් දිගටම රඳවා ගැනීමට මේ ප්‍රධාන චරිත යුගලය සමත් වීම කෘතියේ විශේෂත්වයයි. එසේ වන්නේ ඔවුන් දෙදෙනා කිසි විටක නොදැක සිටි සහ නොදන්නා වූ විවිධාකාර සංකීර්ණ සමාජ ප්‍රපංචයන් හේතු කොටගෙන පාපන්දුවක් සේ ඒ මේ අත දෝලනය වන ආකාරය මනා සේ නිරූපණය වන බැවිනි. ඒ බව වඩාත් උද්දීපනය වන්නේ චිත්‍රපටයේ අගභාගය තුළය. පෙර සඳහන් කළ චාලි චැප්ලින්ගේ උදාහරණය හරියටම ගැලපෙන්නේද, මෙහි තිර නාටකය වඩාත් නිර්මාණාත්මකව ගොඩනැගෙන්නේද චිත්‍රපටයේ මෙම කොටස තුළය. ඉර හඳ තාරකා වලින් නොව ස්වකීය ආත්මාර්ථය පදනම් කර ගත් විවිධාකාර සමාජ බලවේග විසින් ගුණාගේ දෛවය තීන්දු කරන ආකාරය අප දකින්නේ එහිදීය.

මේ හේතුකොටගෙන හැම දෙනෙකුම දන්නා යුද්ධය හෝ වැඩි දෙනෙකු නොදන්නා පුවත් පත් කලාව පිළිබඳ සිනමා කරුවන්ගේ ගවේෂණයකට වඩා, පවට හෝ පිනට අද අපට ජීවත් වන්නට සිදුව ඇති ලෝකය දෙස දෙඇස් පිසදා බලන්නට සැලස්වීමක් මින් සිදුවේ. අඩු හෝ වැඩි වශයෙන් සකල විධ කලාවන් හා සෙසු සියලු කටයුතු මෙම ලෝකය තුළ දෝලනය වන්නේ ගුණාට හා ලුයියාට වඩා වැඩි වෙනසකින් නොවන බව මදක් සිතා බලන කල්හි පෙනී යන්නකි.

පත්තර කියවීමෙහි යෙදුණු මෙම සිනමා කරුවන්ගේ “ද නිව්ස් පේපර්” මා කියවා ගත්තේ මේ ආකාරයෙනි.

 

Comments