21 වැනි සියවසේ ඉදිවන ලොකුම චෛත්‍යය‘සඳහිරු සෑය’ | සිළුමිණ

21 වැනි සියවසේ ඉදිවන ලොකුම චෛත්‍යය‘සඳහිරු සෑය’

  • ලබන වසරේ වැඩ අවසන් චූඩාමාණික්‍යයත් රන් කොතත් වන්දනාවට සූදානම්
  • අක්කරයකට වැඩි භූමියක අමුතුම ගඩොලකින් ඉදිවෙයි
  • ගඩොල් ලක්ෂ 300 ක්, වැලි කියුබ් 12300 ක් සිමෙන්ති කොට්ට 150000 ක් මේකට ඕනෑ
  • වසර 1600 කට පසු අපේ රටේ ඉදිවන යුද ජය සමරන ලොකුම දාගැබ
  •  හතරැස් කොටුවේත්  ඉදිකිරීම් ඇරඹෙයි
  • ඉදිකිරීම් කරන්නේ දුටුගැමුණු - එළාර යුද්ධය තිබුණු තැනමයි

චෛත්‍යය දාගැබ ස්තූපය හා සෑය ලෙස හැඳින්වෙන ඉදිකිරීම් මහින්දාගමනයේ සිට අපේ බොදු ජනතාව බුදු හාමුදුරුවන් දැකීමක් ලෙස හා ශාරීරික ධාතු වන්දනාවක් ලෙස සලකති. ඒ නිසා ම මේ ස්තූප හෙවත් චෛත්‍ය ඉදිකිරීමට හා ඒවා වන්දනාවට අපේ ජනතාව පුදුම කැමැත්තක් හා දස්කමක් දක්වති. රටපුරා මෙන් ම අනුරපුර ප්‍රජා භූමිය පුරා මෙතරම් චෛත්‍ය ඉදිවී ඇත්තේ මේ නිසාම බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි.

වසර 40 ක් අන්‍ය ආගමික පාලනයක සතුව තිබූ ශ්‍රී ලංකාව එක් සේසත් කර මුදවා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරවීය. ථූප වංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප අපේ රට පු‍රා ඉදිවී ඇත්තේ මේ අයුරින් රට සැබෑ නිදහස හා ස්වෛරීභාවය ලැබූ අවස්ථාවලදීය. එය එදත් අදත් අපේ ලොකුම මහා ස්තූපයයි. 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවතිණ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත ඒ යුද්ධය 2009 මැයි 19 වැනිදා විජයග්‍රහණය කිරීමට අපේ ආරක්ෂක හමුදාවලට හැකි විය.

අතීතය අනුව යමින් 2009යේ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැඹිණි.

2010 නොවැම්බර් 22 වැනිදා එය ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය.

දශක තුනක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය ජන සමාජය ඇතුළත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පීඩනයට හා අසහනයට පත්කළ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලබාගත් ජනතා විජයග්‍රහණය සැමරීම පිණිස හා ලක්බිමට ස්ථිර සාමය උදාවීම සැමරීම් පිණිස පළාත් නමය පුරා ඉදිවන මහා වෛත්‍ය නමයේ ප්‍රථම චෛත්‍ය ලෙස සඳහිරු සෑය ඉදිවෙයි.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි. එහි වැඩ කටයුතු දැන් වේගවත් අයුරින් සිදුවෙන අයුරු පසුගියදා එහි ගිය අපට දැකගත හැකි විය.

රුවන්වැලිසෑය එදත් අදත් අපේ රටේ ලොකුම හා උසම ස්තූපයයි. එහි උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති ස්තූපය ලෙස එදත් අදත් අපේ බෞද්ධ ජනතාව එයට ගෞරවය පුද පූජා පවත්වති. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කරනු ලැබේ.

එකල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එකල ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මෙහෙයවීම මත එකල යුද හමුදාපති දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ 4 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු මෙම සඳහිරු සෑය යුහුසුළුව සිදු කිරීම ආරම්භ කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව මෙය ඉදිකරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණයට අනුරූපවය. විජයබා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, කාල තුවක්කු බළකාය ජාතික ආරක්ෂක සේවා බළමුළුව, පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සෞභාග්‍යයේ දැක්ම ට එක්වන සුවිශේෂී ඉදිකිරීමට දායක වෙති.

අඩි 281 ක් උසට ඉදිවන මෙහි පළල අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳගිරිසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ, රුවන්වැලිසෑය චෛත්‍යාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් හා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුණු වැවේ ඥානතිලක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව මෙහි සියලු ඉදිකිරීම් සිදු කෙරෙන බව යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සිවිල් ඉංජිනේරුවරු පවසති.

ස්තූපයේ සම්පූර්ණ යෝධ ඉදිකිරීම සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 300 ක් සිමෙන්ති කොට්ට 150000 ක් වැලි කියුබ් 12300 ක් කළුගල් කියුබ් 50000 ක් ඒබීසී මිශ්‍රණය කියුබ් 20000 ක් අවශ්‍ය බව සිවිල් ඉංජිනේරුවන් ඇස්තමේන්තු කර තිබේ.

සඳහිරුසෑය ඉදිකිරීම පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවයි.

‘සඳහි‍රුසෑය’ යන්නෙහි තේරුම ‘සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන්‘ යන්න බවත් උන් වහන්සේ පැවසූහ. මේ පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසන්නේ මෙම ඉදිකිරීම අවුරුදු දහසකට වඩා වැඩි කාලයකට පසු ලෝකයේ රටවල් ඇතුළත සිදු කෙරෙන ඓතිහාසික ඉදිකිරීමක් බවයි. ශ්‍රී ලාංකික ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ (අච්චුවාරමේ) සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර - පොලොන්නරු යුගයෙන් පසු සිදු කෙරී නැත. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍යය ඉදිකර ඇත්තේ දුටුගැමුණු සමයේදීය. ඊට පසු පොලොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත.

ඊට පසු රටපුරා විවිධ ප්‍රමාණයේ චෛත්‍ය ඉදිවුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකෙරී ඇත. ඒ සඳහා මුලින් ම එහි පොළොව මට්ටමේ සිට අ‍ඩි 45 ක් පොළොව යටට කළුගල් මෙන් ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ. ඒ අනුව මුලින්ම සෑය ඉදි කරන ප්‍රදේශයේ පොළොව යට අඩි 45 ක් පමණ ස්ථිර කළුගල් මතුවන තුරු හාරා ඒ මත කෘතිම කළුගලක් සාදා තිබේ. ඒ සඳහා ‘6–9’ කළුගල් කියුබ් 6464 ක්, ¾ කොන්ක්‍රීට් ගල් කියුබ් 465 ක් ගල්කුඩු - සිමෙන්ති - කුඩා කළුගල් ඇතුළත් (ඒබීසී මිශ්‍රණය) කියුබ් 5400 ක් හා ජලය උපයෝගි කර ගෙන ඇත. පසුව එම ස්තරය ටොන් 20 ක බරින් යුත් ගල් රෝලකින් තලා කළුගලක් මෙන් කිසි විටෙක ගිලා බැසීමක් සිදු නොවන අයුරින් මේ පාදම සකස් කර තිබේ.

පසුව ඒ මත ස්තූප ගඩොල් අතුරා චෛත්‍යය ඉදිකරනු ලබන අයුරු 2014 සිට දක්නට ලැබුණි. මහා සංඝරත්නය, ආරක්ෂක හමුදාවල මෙන් ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීහු හා මහ ජනතාව එහි වැඩ කටයුතු බොහෝ ඉදිකිරීමේ කටයුතුවලට දායක වෙනු ද එහි අපි දුටුවෙමු.

යුද හමුදාවේ සිවිල් ඉංජිනේරුවරු පවසන පරිදි මෙම චෛත්‍ය සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 310 ක් අවශ්‍ය වේ. මෙම සඳහිරු සෑය ඉදි කරන ගඩොල් සුවිශේෂී ස්තූප ගඩොල් ලෙස හැඳින්විය හැකි ය. එහි දිග අඟල් 16 කි. පළල අඟල් 8 කි. උස අඟල් 2 කි.

මෙම සුවිශේෂී ස්තූප ගඩොල් සියලු ආරක්ෂක හමුදාවල සහාය ඇතිව අනුරාධපුර ඇලාපත්තුව, බිංගිරිය, මහියංගනය, ගල්කඩවල, ඇඹිලිපිටිය, අම්පාර යන ප්‍රදේශවල උළු කර්මාන්ත ශාලාවලින් නිපදවනු ලැබේ.

මේ කටයුතුවලට, ගඩොල් චෛත්‍යය ඉහළට ගෙන ඒමට ශ්‍රමදාන මගින් මහ ජනතාව ද හා ස්වේච්ඡා සංවිධාන ද එක්වීම ද විශේෂත්වයකි.

මෙහි ගඩොල් බැදීමට සිමෙන්ති කොටස් 2 කට අළුහුනු කොටස් 1 ක් හා වැලි කොටස් 6 ක් මිශ්‍ර කරනු ලැබේ. මෙම අළුහුනු ලබාගැනීමට මාතලේ ප්‍රදේශයේ ඩොලමයිට් ලබාගෙන ඒවා ඇලාපත්තුව උළු කර්මාන්ත ශාලාවේදී අළුහුනු බවට පත් කෙරේ.

කර්මාන්තතයට අවශ්‍ය වැලි සියල්ල නාවික හමුදාව මගින් ලබාදෙන අතර කළුගල් ගුවන් හමුදාව මගින් ලබාදෙයි. පොලිසිය සිවිල් ආරක්ෂක බළකා නිලධාරීහු ශ්‍රම දායකත්වය සපයන අතර එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සඳහා රුපියල් දස ලක්ෂ 25 ක් ලබාදී තිබේ.

සර්වඥ ධාතූන් වහන්සේ හා නිධන් වස්තු චෛත්‍යයේ තැන්පත් කිරීමේ මහා පුණ්‍යෝත්සවය 2014 නොවැම්බර් 23 වැනිදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ සඳහා සඳහිරු සෑයේ 3 වැනි පේසා වළල්ලේ සිට අඩි 17 ක් උඩින් ගර්භයේ මැද කොටසේ නිධන් වස්තු තැන්පත් කරන ගර්භය ඉදිකර තිබෙනු 2014 දී දක්නට ලැබිණි. එය අඩි 11 ක් උස අඩි 30 ක් පළලය. අඩි 30 ක් දිගය. මෙම කුටියේ මැද තවත් විශේෂ කුටියක් තිබිණි. ඒ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන කුටියයි. ඒ කුටිය අවට රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ හා තවත් නිධන් වස්තු සඳහා කුටි 212 ක් රණවිරුවන් විසින් සකස් කෙරිණි.

මෙම සියලු කුටිවල සුවිශේෂ නිධන් වස්තු තැන්පත් කිරීම 2014 නොවැම්බර් 23 වැනිදා මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රත්රන් වලින් නිම කළ බුදු පිළිමයක්, රත්රන් වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.

මෙම සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරපුර විශාලතම ශෛලමය කලාගාරයක් ද මෙම ‍දාගැබ පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත බැවිනි. සෑයේ සලපතල මළුව හා වැලි මළුව අතර, ප්‍රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත.

මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ යහපාලන රජය මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව ඕනෑකමක් දැක්වූයේ නැති බැවින් එහි ඉදිකිරීම් ඉතා ප්‍රමාද විය.

ඒ සමඟම මෙම ධාතු ගර්භයේ නිදන් කිරීමට ලබාදුන් නිධන් වස්තු සෑදූ රත්රන් පිළිබඳවද අවංක නිලධාරින්ට අභූත චෝදනා එල්ල කළහ. ඒ පිළිබඳව බොරු මැවූ පුවත් ද 2016 - 2018 වකවානුවල ඉරිදා පුවත්පත්වලද පළවිය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්වීමත් සමඟ ඒ මහත්වරුන්ගේ උනන්දුව හා උපදෙස් මත හා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය ඇතිව යළි මෙහි ඉදිකිරීම් වේගවත් වී තිබේ‍. දැන් මෙහි ඉදිකිරීම් වලින් සියයට 70 ක් අවසන් අතර චූඩාමාණික්‍යය මැණික් ඔබ්බවා සකස් කිරීම ද දැන් සිදුවෙමින් පවතින බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ පැවසූහ. චූඩා මාණික්‍යය හා රන්කොත ඉදිරි දිනවලදී දිස්ත්‍රික්ක 20 ක ජනතාවට වන්දනා කිරීමට අවස්ථාව සලසා දීමට ද කටයුතු යොදා ඇති බවත් දැන් චෛත්‍යයේ අඩි 97ක් උසට හතරැස් කොටුව දක්වා ඉදිකිරීම් අවසන් කර ඇති බවත් සඳහිරුසෑය ව්‍යාපෘති සම්බන්ධීකාරක 9 වැනි ඉංජිනේ‍රු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් මොහාන් කුමාර පවසයි.

මෙම චෛත්‍යය ලබන වසරේ මැයි මාසයේ වෙසක් පසළොස්වක දින සිට ජනතාවගේ වන්දනා හා පූජා කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතය. අඩි 36ක් උස හා අඩි 74ක් දිග පළල ඇති චෛත්‍යයේ හතරැස් කොටුවේ ඉදිකිරීම් ද පසුගිය මැයි 25 සිට ආරම්භ කර ඇතැයි මොහාන් කුමාර පවසයි. මෙම සියලු කටයුතු රණවිරුවන්ගේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වයෙන් සිදුකෙරේ. කෙසේ වුවත් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ආධාර ද පිළිගනු ලැබේ. වැඩි විස්තර 0252056057 යන දුරකථන අංකය අමතා දැන ගත හැකිය.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මේ සඳ හිරු සෑයට ඉදිකරන්නට ගන්නා වෙහෙස හා කැපවීම එතෙර මෙතෙර සියලු බෞද්ධ ජනතාව කෘතවේදීව අගය කළ යුතුව ඇත.

Comments