“ඊගල් ඔපරේෂන්” යළි සිහිගන්වන ගුවන් විරුවන්ගේ කොවිඩ් මෙහෙයුම | Page 2 | සිළුමිණ

“ඊගල් ඔපරේෂන්” යළි සිහිගන්වන ගුවන් විරුවන්ගේ කොවිඩ් මෙහෙයුම

වන්නි ගුවන් හමුදා කඳවුරේ ලේ දන්දීම

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟම එය මර්දනය පිණිස පෙරට ආවේ ත්‍රිවිධ හමුදාවය. කොරෝනා මර්දන ජාතික බළකායේ ප්‍රධානත්වය ලබා දුන්නේද යුද හමුදාපතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවටම අණ දිය හැකි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ත්‍රිවිධ හමුදාවේම මූලිකත්වයෙන් කොරෝනා මැඬලීමේ කටයුතු ඇරඹුණු අතර විශේෂයෙන්ම එක් එක් හමුදාවට අයත් කාර්යයන් වෙන් කෙරිණි.

මෙහිදී යුද හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කළ හා සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳව අපි මීට පෙර කතා කෙළෙමු. මේ මෙහෙයුමේදී ගුවන් හමුදාව විසින් සිදු කළ හා සිදු කරනු ලබන සේවාව ඊට නොදෙවෙනි විය.

පළමු කොවිඩ් මෙහෙයුම

කොරෝනා වසංගතයට එරෙහි පළමු මෙහෙයුම සිදු කෙළේද ගුවන් හමුදාව විසිනි. ඒ චීනයේ වූහාන්හි සිරවී සිටි සිසුන් හා ඔවුන්ගේ ඥාතීන් 33 දෙනා ගුවන් මඟින් රැගෙන ඒමටත් පෙර සිටය.

ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය මගින් වූහාන් බලා ගිය ගුවන්යානා කාර්යමණ්ඩලයට පෙර පුහුණුවක් ලබා දුන්නේය. මෙරටට පැමිණි පසු සියලු සිසුන් හා ගුවන්යානා කාර්යමණ්ඩලයත් ගුවන් යානයත් විෂබීජහරණය කරනු ලැබුවේය.

වූහාන් සිට මත්තල ගුවන් තොටුපොළට එම පිරිස පැමිණි අවස්ථාවේදී ඔවුන් සියලු දෙනාම විෂබීජහරණය කිරීමෙන් පසුව ඔවුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන යාම පිණිස යුද හමුදාවට බාරදීම දක්වා වූ සියලු ක්‍රියාදාමයන් එදා සිදු කෙළේ ගුවන් හමුදාවය.

එතැන් පටන් අද දක්වාම ගුවන් හමුදාව දිවා රාත්‍රී වෙනසක් නොමැතිව කොරෝනා මර්දනයේ කොටස්කරුවෝ වී සිටිති.

විෂබීජ හරණ වැඩ පිළිවෙළ

අද දක්වාම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන ගුවන් යානා සහ ගුවන් මඟීන් විෂබීජහරණය සිදු කිරීමේ කාර්යය ද ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ගුවන් හමුදාව සිදු කෙළේ රටේ බහුතර ජනතාව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමට දායකත්වය ලබා දීමය. ඒ යටතේ මරදාන දුම්රිය ස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය ද කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා ඒ අවට ප්‍රදේශයද බේරුවල, අලුත්ගම, මග්ගොන දුම්රිය ස්ථාන හා බස්නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශ මෙන්ම බැංකු ඒටීඑම් කුටි, රෝහල්, වෙළද සංකීර්ණ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉන්ධන පිරවුම්හල් බැංකු පරිශ්‍ර ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන රැසක් විෂබීජහරණය කරන ලදී. එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව, කළුතර බෝධිය හා ඒ ආශ‍්‍රීත ප්‍රදේශයන්ද මේ යටතේ විෂබීජහරණය කරන ලදී.

මෙරට සාමාන්‍යකරණය යළි ආරම්භ කිරීම පිණිස දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු යෙදීමත් සමඟම (මැයි මස 10 දින සිට ජූනි මස 3 දින දක්වා) රාගම සිට හලාවත දක්වා වූ දුම්රිය ස්ථාන 29ක් දිනපතා විෂබීජහරණය කිරීම ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදි. කොළඹ ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශ විෂබීජහරණය කිරීමද ඊට අමතරව සිදු කරන ලදී.

කොරෝනා වයිසරය පැතිරීම වළක්වාලීම පිණිස ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථාන 4කි. මඟින් මේ වන විට පුද්ගලයන් 1518 දෙනෙකු සාර්ථකව නිරෝධායන අවසන් කර පිටත්ව ගොස් ඇත. තවත් 303 දෙනෙක් මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටීති

ඒ යටතේ වන්නි, ඉරණමඩු, මුලතිව්, පලාලි යන ගුවන් හමුදා කඳවුරු තුළ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත ජනතාව යොමු කොට නිරෝධායන ක්‍රියාවලිය සිදු කරන ලදි. මෙහිදී වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පසුගිය මාර්තු මස 17 වන දින සිට පුද්ගලයින් 386ක් නිරෝධාන කටයුතු අවසන් කර නිවෙස් කරා යොමු කර ඇත. එසේම ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මාර්තු 21 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 587 දෙනකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර හැර තිබේ. මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පසුගිය මාර්තු 21 දින සිට නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කළේය. එහිදී පුද්ගලයින් 750 දෙනකු නිරෝධායන කටයුතු නිම කර තිබේ. යාපනය පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පුද්ගලයින් 98 දෙනකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් ඇත. මේ ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව විශේෂ නිරෝධායන කටයුතු ස්ථානයක් ලෙස පසුගිය අප්‍රේල් මස 20 වන දින සිට පවත්වාගෙන ගිය වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂ මගින් අධීක්ෂණය කරනු ලබන වාට්ටු අංක 11 සහ 12 නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 87 දෙනකුද නිරෝධායනය කර තිබේ. ඒ රෝහලේ විශේෂ අධීක්ෂණය යටතේ ය.

එමෙන්ම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළේ වෛද්‍ය ඒකකයක්ද ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබයි. ගුවන් තොටුපලේ වෛද්‍ය ඒකකයේ සේවය කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට කොරෝනා වයිරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් සේවාවලින් ඉවත්වීම නිසා ගුවන් හමුදා වෛද්‍යවරුන් හා හෙද කණ්ඩායමක් පසුගිය මාර්තු මස 21 වන දින සිට මේ දක්වා මාස 3ක් පමණ එහි සියලුම වෛද්‍ය කාර්යයන් පවත්වාගෙන යනු ලැබේ.

ගුවන් ගිලන් රථ සේවය

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන වෙත විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ගුවන් මගින් ප්‍රවාහනයටද ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදී . ඒ යටතේ කටුනායක සිට කන්දකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගුවන් හමුදා එම් අයි 17 හෙලිකොප්ටර් යානාවක් මගින් පුද්ගලයින් රැගෙන යාමෙන් සහාය ලබා දී ඇත.

කොරෝනා වසංගතයේදී ගුවන් හමුදාවේ විශේෂිතම කාර්යයන් අතර එම්අයි 17 හෙලිකොප්ටර් යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස සකස් කර නවීකරණය කිරීම බෙහෙවින් අගය කළ යුතු වේ. මෙම නවීකරණය සිදු කරන ලද්දේ දේශීය තාක්ෂණය යොදා ගනිමිනි. එම ගුවන් ගිලන් හෙලිකොප්ටරය මගින් වරකට රෝගින් 12 දෙනෙකු රැගෙන යාමේ හැකියාව පවති. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බළගණය විසින් ද වයි 12 වර්ගයේ යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කරන ලදී. එහි විශේෂයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය ඇඳුම් කට්ටලයක් යොදා ගනිමින් අසාධ්‍ය තත්ත්වයේ, හුස්ම ගැනීම අපහසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම විශේෂිත ගිලන් ඇඳක්ද සහිතව වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඉඩ පහසුකම් සහිතව එම වයි 12 වර්ගයේ ගුවන් ගිලන් රථය නවීකරණය කෙරිණි. ඒ අනුව ඕනෑම තත්ත්වයක රෝගියකු ගෙන යාමට හැකි වන පරිදි ගුවන් හමුදාව පෙර සුදානමක් ඇති කර ගන්නා ලදී.

භෞතික පහසුකම් දියුණු කිරීම

මේ සියල්ල අතරේ ආසාදිත රෝගින්ට ප්‍රතිකාර පහසු කිරීම පිණිස මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයිඩීඑච් රෝහල) තාවකාලික ගොඩනැගිලි දෙකක් ගුවන් හමුදාව විසින් ඉදිකළේය. එය කඩිනමින් ඉදි කිරීමේ අවශ්‍යතාව මතුවුණු අතර පසුගිය මාර්තු මස 18 වන දින එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි. එම ගොඩනැගිලි දෙක දින 14ක් තුළ නිමකිරීමේ භාරධූර කාර්යයද ගුවන් හමුදාවට පැවරිණි. එසේ වුවත් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ නිලධාරීන් 9 දෙනෙකු හා සෙසු නිලයන් 250කගෙන් සැදුම්ලත් බලඇණියක් පැය 24 පුරාම ඉදිකිරීම් කටයුතු සිදු කරමින් දිනකදී එම විශිෂ්ට කාර්යය නිම කළේය. එමෙන්ම අයිඩීඑච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට නව නේවාසිකාගාරයක් ද කඩිනමින් සාදා නිම කිරීම මේ සේවාවන් අතර සුවිශේෂී කොට දැක්විය යුතුය.

මීට අමතරව ගුවන් හමුදාව විසින් වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වාට්ටු සංකිර්ණයක් ගුවන් හමුදා මගින් සියලුම පහසුකම් සහිතව නවීකරණය කළේය. ගම්පහ මහ රෝහලෙහි බාහිර රෝගි අංශය පුළුල් කළේය. මුල්ලේරියාව රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටු 4ක් සඳහා පහසුකම් වැඩි කිරීම මෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෝමාගම රෝහලේ වාට්ටු කඩිනමින් සුදුසු පරිදි වෙනස් කළේය. මීට අමතරව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවක් නවීකරණය කෙරිනි.

පානදුර මූලික රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීමේදී දුර තබා ඔවුන් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, රාගම ශික්ෂණ රෝහල වෙත වෙත බාහිර උණ රෝගීන් පැමිණීමේදී ඔවුන් කල් තබා හඳුනාගැනීමේ මධ්‍යස්ථානයක් ද ඉදිකිරීම ද සිදුකළේ ගුවන් හමුදාව ය.

මේ සියල්ල මැද හදිසි තත්වයක් තුළ රුධිර අවශ්‍යතා එක්වරම මතුවුවහොත් එයට මුහුණ දීම පිණිස ලේ දන්දීමේ වැඩඩසටහන් කිහිපයක් ද ගුවන් හමුදාව විසින් සංවිධානය කර ප්‍රායෝගික කළේය.

ඒ යටතේ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය, හිඟුරක්ගොඩ හා අනුරාධපුර යන ගුවන් හමුදා මූලික කඳවුරු මෙන්ම කොළඹ, මීරිගම, වීරවිල, මඩකලපුව, ඒකළ යන ගුවන් හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් ලේ දන්දීමේ වැඩසටහන් රැසක් පවත්වන ලදී. රෝගීන්ට ඍජුවම නිරාවරණය වන වෛද්‍යවරුන් හා හෙද කාර්යමණ්ඩල සඳහා පෞද්ගලික ආරක්ෂිත උපකරණ කට්ටල නිෂ්පාදනය කර සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දීමටද ගුවන් හමුදාව කටයුතු කෙළේය. ගුවන් හමුදාව විසින්ම වෙනම ඒකකයක් යොදවා මේ ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නිර්මාණය කරන ලදී.

ජන ජීවිතය යථාවත් කිරීම

සාමාන්‍ය ජන ජීවිතය යථාවත්ව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් කිරීමට සුපිරි වෙළෙඳසල්වලට අවශ්‍ය සහයෝගය ලබා දීමේ සිට එම භාණ්ඩ නිවෙස් වෙත රැගෙන යෑම දක්වා කටයුතුවලින් කොටසක් ද ගුවන් හමුදාව සිය උර මතට ගත්තේය. අඩු ආදායම්ලාභී ජනතාවගේ එදිනදා ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යාම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගෙන් කරනු ලැබු ඉල්ලීමක් මත අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මලු 50000ක ප‍්‍රමාණයක් ඇසුරුම් කර එම ජනතාව වෙත නිවෙස් වෙතටම ගොස් ලබා දීම ද ගුවන් හමුදාව විසින් සිදු කළේය.

එමෙන්ම කොරෝනා රෝගය නිසා අසරණව සිටි බොහෝ දෙනාට අමතක වූ ජන කොට්ඨාසයක් කෙරෙහිද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ අවධානය යොමු විය. මහියංගණය, දඹාන ආදීවාසි පවුල් 150 සඳහා වියලි සලාක බෙදාදීමක් ගුවන් හමුදාව විසින් සිදුකරන ලදී.

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය පැතිර යාම වැළැක්වීම පිණිස ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය, කොළඹ ඇතුළු මහල් නිවාසවල පදිංචිකරුවන් වෙත කොවිඩ් 19 වයිරසය පැතිර යන අවධියේ දී නිවෙසින් එළියට පැමිණීමටවත් නොහැකිව සිටි මිනිසුන්ගේ ආතතිය දුරු කිරීම පිණිස සංගිත ප්‍රසංග රැසක් පැවැත්වීම හමුදාව විසින් සිදු කරන ලදී.

මේ කටයුතු සිදු කෙරෙද්දී ඇඳිරි නීති පැනවූ අවස්ථාවලදී මහා මාර්ගයේ ආරක්ෂක කටයුතු මෙන්ම පුද්ගල පරීක්ෂාවන්ටද ඔවුහු සිය දායකත්වය සැපයූහ.

මේ අතර මුහුදු මගින් සිදුවන ජාවාරම් වැළැක්වීම සඳහා ලංකාව අවට මුහුදේ ගුවන් ආවේක්ෂණ කටයුතු පවත්වා ගැනීම ද ඔවුහු අඛණ්ඩව සිදු කළහ. විශේෂයෙන්ම මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු තීරයේ මෙම නිරීක්ෂණ කටයුතු වැඩි වශයෙන් සිදුකරනු ලැබුවේය.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ශිඝ්‍රයෙන් වැඩිවීම නිසා මුහුදු මඟින් සංක්‍රමණිකයින් පැමිණීමට ඇති ඉඩකඩ අහුරාලීම මෙන්ම දෙරට අතර නීති විරෝධී ක්‍රියාවන් සිදුවීම වැළැක්වීමත් මෙහි ප්‍රධාන අරමුණු අතර විය.

තවමත් දියත්වන වැඩසටහන්

මේ වන විට විවෘතව ඇති කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂාව වැඩි කිරීම පිණිස ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ගුවන් තොටුපොළට විශේෂ මඟී විෂබිජහරණ කුටියක් ඉදි කර ඇත.

ඉදිරියේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් පැමිණෙන මගීන් සඳහා සිය සේවාවන් විවෘත වනු ඇත. ගුවන් මගින් පැමිණෙන සියලුම මගීන් විෂබීජහරණ කිරීම සඳහා විෂබීජහරණ පද්ධතියක් නිර්මාණය කිරීම ද ගුවන් හමුදාව වෙත පැවරී තිබේ. ඒ පැවරී ඇත්තේ ඉදිරියේ දී කොවිඩ් ව්‍යාප්තවන ප්‍රධානම ප්‍රවේශය ඇසුරා දැමීමේ වගකීමය.

සියලු මඟීන් පූර්ණ විෂබීජහරණය යනු දැවැන්ත වූ වපසරියකින් යුතු කාර්යයකි. ඔවුන් මේ සියල්ල සාර්ථකව සිදු කරන්නේ ගුවන් හමුදාව වෙත දෛනිකව පැවරී ඇති අනෙකුත් සියලු වගකීම් හා රාජකාරිවලට අමතරවය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් පවසා ඇත්තේ මේ වන විට මුල් තැන ලබා දිය යුත්තේ කොරෝනා මර්දනයට හා ඒ හා සම්බන්ධ අනෙකුත් අවශ්‍යතාවන්ට බවය.

පළමු කොරොනා රෝගියා මෙරටින් වාර්තා වීමටත් පෙර සිටම කොරෝනා මර්දනයට දායකත්වය දුන් ගුවන් හමුදාව අදත් ඒ ලෙසින්ම ජනතා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටී. ඒ යුද සමයේ ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාර එල්ල කරමින් යාපනය කොටුව වට කරගෙන සිටි අවස්ථාවේ හෙලිකොප්ටරයක් එහි ගොඩ බස්වා තුවාල ලබා සිටි හමුදා සාමාජිකයින් මුදා ගැන්මට කළ ඊගල් ඔපරේෂන් යළි මතකයට නංවමිනි.

 

Comments