හිරේ ගියත් සුර සැප විඳින රැඳවියන්ට මෙදා පාර වැඩ වරදී | සිළුමිණ

හිරේ ගියත් සුර සැප විඳින රැඳවියන්ට මෙදා පාර වැඩ වරදී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බන්ධනාගාරයන්හි තත්ත්වය උසස් කිරීමට අවැසි පියවර ගත් මොහොත

 

නීති කඩන රැඳවියන්ටත්, උඩගෙඩි දෙන නිලධාරීන්ටත් අමතක නොවන පාඩමක් ලැබෙයි

මීගමුව බන්ධනාගාරයේදී රැඳවියන් සතුව තිබී ජංගම දුරකථන 61ක් සමඟ සිම් කාඩ්පත් 44ක්ද හමු වෙලා

සමහර රැඳවියන්ගෙ කාමරවල අඟල් 32 රූපවාහිනී යන්ත්‍රත් තිබිලා

 

ඉකුත් 26 වැනිදා අලුයම 5.30ට පමණ ගම්පහ මල්වතුහිරිපිටියේදී පොලිසියට වෙඩි තබා පලා යෑමට තැත් කළ පාතාල අපරාධකාරයන්ගේ වෙඩික්කරුවකු ලෙස අපරාධ රැසක්ම සිදුකළ 25 හැවිරිදි රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවල සම්පත් පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය. ඔහුද බන්ධනාගාරගතව සිටින ගණේමුල්ල සංජීව, බන්ධනාගාරයේ සිට දුරකථන ඔස්සෙ මෙහෙයවමින් මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ක්‍රියාවන් රැසක්ම මෑත කාලයේ සිදු කළ අයෙකි. 2018 අගෝස්තු 18 වැනිදා සංජීව විසින් බන්ධනාගාරයේ සිට ලබාගත් කොන්ත්‍රාත්තුවක් මත කඩවත රන්මුතුගලදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කළේද මොහු විසිනි. මේ අපරාධකාරයන්ට හිස එසවීමට ඉඩ නොතබා සිදුකරන මෙහෙයුම්හි තවත් එක් අවස්ථාවකි.

පසුගිය තිස් වැනිදා මාලිගාවත්ත ලක්සෙත සෙවණ නිවාස සංකීර්ණයේදී තිස්පස් හැවිරිදි රවුෆ් නමැති මුස්ලිම් ජාතිකයාට වෙඩි ප්‍රහාරයක් එල්ල විණි. එහෙත් ඒ ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගැලවිණි. සැණින් ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ප්‍රහාරය සිදු කළ උක්කාන් ඇතුළු අපරාධකාරයන් සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට සමත් වූයේය. අත්අඩංගුවට පත් අයවලුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූයේ රවුෆ්ට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තෙ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකාරයෙක් වන මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නජිබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපාන ඉම්රාන් බවයි.

මෙලෙස කංජිපාන ඇතුළු බන්ධනාගාරගතව සිටින බොහෝ අපරාධකාරයන් පසුගිය කාලයේ බන්ධනාගාරයේ සිට දුරකතන ඔස්සේ සිය ගෝලබාලයන් යොදවා විවිධ අපරාධ, මිනීමැරුම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් මෙහෙයවූ වාර ගණන අනන්තවත් විය. එලෙස පසුගිය කාලයේ සිදුවූ බොහොමයක් අපරාධවලට කුමනාකාරයෙන් හෝ කොණක බන්ධනාගාර රැඳවියකු ගැවී තිබුණේය. එසේ නොමැති වූයේනම් ඒ කලාතුරකිනි.

මෙලෙස බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ ගැන රටේ ප්‍රධානම පුරවැසියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයක් යොමු වන බවක් පෙනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය පළමු වැනිදා බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශන කරනු පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ආරක්ෂක ලේකම්, හමුදාපති, පොලිස්පති ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී දීර්ඝ සාකච්ඡාවක්ද පැවැත්විණි. එම සාකච්ඡාවේදී අපරාධකාරයන්ගෙ මෙකී සෙල්ලම් නතර කිරීමට අවැසි බොහෝ තීන්දු තීරණ ගත් බවක් වාර්තා විණි.

ඒ අනුව එම සාකච්ඡාවෙන් අනතුරුව බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය සොයා බලා තිබෙන අඩුපාඩු ඉවත්කර විධිමත් පරිපාලනයක් ගෙන යෑම වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවැනි වටපිටාවක් රජය පැත්තෙන් තීන්දු තීරණ ගෙන සිදුවෙද්දී නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ බොහොමයක් දෙනාගේ ගෞරවාදරයට පත් දක්ෂ නිලධාරියෙක් වන තුෂාර උපුල්දෙණිය මහතා පත්කිරීම බන්ධනාගාරයේ දූෂිත නිලධාරින්ට මෙන්ම අපරාධ ක්‍රියාවන්හි නිරත රැඳවියන්ටද වැඩ වරදින ලකුණු පෙන්නුම් කළ පළමු පියවර විය.

ඒ මහතා පත්වූ දිනම පැවැසුවේ දූෂිත නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා අතරේ නීතිය හමුවටද පමුණුවා උපරීම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වන විට බන්ධනාගාරවල බන්ධනාගාර අධිකාරිවරුන්, ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු තවත් ඉහළ පෙළේ නිලධාරින් රැසක්ම ස්ථාන මාරු කරමින් බන්ධනාගාරය තුළ ‘සුද්දයක්‘ දැමීමට නව කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියකු විසින් සිදුකරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට පසුගිය 20 වැනිදා පොලිස් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරින් සහ මිනුවන්ගොඩ පොලිස් නිලධාරින්ට හැකි විණි. එකී ජාවාරමේ සුලමුල හෙළි වූයේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන් විසින් එදින සවස හයට පමණ හෙරොයින් ග්‍රෑම් 100ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමඟ සීදුව, ධීවර තොටුපොළ මාර්ගයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සාජන්වරයෙක් අත්අඩංගුවට ගැනිණි. දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි 40 හැවිරිදි සරත් නමැති එම සාජන්වරයා කටුනායක ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තෙ එම ජාවාරම මෙහෙයවන්නෙ මීගමුව බන්ධනාගාරයේ සිටින මහා පරිමාණ මත් ජාවාරම්කාර රැඳවියකු වන මරණ දණ්ඩනයට නියමව සිටින සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා බවයි.

පසුව පොලිස් නිලධාරින් විසින් එම රැඳවියාගේ මිනුවන්ගොඩ, කටුවැල්ලගම නිවෙස සොයා ගොස් එයද පරීක්ෂාවට ලක් කෙරිණි. එම අදාළ නිවෙසේ තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 830ක් සමඟ රැඳවියාගේ බිරිය දිස්නා සහ ඇගේ සහෝදරයා වන සම්පත් කේරළ ගංජා ග්‍රෑම් 455ක් සමඟ පොලිසියට කොටු විණි. එම නිවෙස පොලිසිය පරීක්ෂා කරන මොහොතේ ද බන්ධනාගාර රැඳවියා විසින් බිරියට මෙන්ම ගුවන් හමුදා සාජන්වරයාටද දුරකතන ඔස්සේ අමතනු ලැබීය.

එහිදී වැඩිදුරටත් හෙළි වූයේ බන්ධනාගාර රැඳවියා විසින් දෙන උපදෙස් අනුව ගුවන් හමුදා සාජන්වරයා අදාළ ස්ථානවලට මත්ද්‍රව්‍ය රැගෙන ගොස් දෙන බවයි. එම ජාවාරම මඟින් ලැබෙන මුදල් ඔහු විසින් රැඳවියාගේ බිරියගේ බැංකු ගිණුමකට බැර කරන බවද හෙළි විණි.

රැඳවියාගේ බිරියගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තෙ බන්ධනාගාරයේ සිටින සැමියා මීට සති දෙකකට පමණ පෙරදී දිනපතා උදේ සවස ඇමැතුම් ලබාගත් බවත් බොහෝ අවස්ථාවල වීඩියෝ ඇමැතුම්ද ගන්නා බවයි. එම වීඩියෝ ඇමැතුම් මඟින් ඔහු බන්ධනාගාරයේ විඳින සැපපහසුකම්ද පෙන්වන බවයි. ඒ අනුව සුරේෂ් නමැති එම රැඳවියා සිටින ස්ථානයේ අඟල් 32ක පමණ විශාල රූපවාහිනියක්ද තිබෙන බව වීඩියෝ ඇමැතුම් ඔස්සේ බිරියට පෙන්වා තිබිණි. බිරිය අත්අඩංගුවට පත් දින ද සැමියා වාර කිහිපයක්ම ඇමැතුම් ගත් බව ඇය පොලිසියට හෙළි කළාය.

නව බන්ධනාගාර කොමසාරිස්වරයා පත්වූ සැණින් සිදු කළ ප්‍රථම බන්ධනාගාර සෝදිසිය වූ මීගමුව බන්ධනාගාර සෝදිසියේදී රැඳවියන් සතුව තිබී ජංගම දුරකථන 61ක් සමඟ සිම් කාඩ්පත් 44ක්ද හමුවී තිබිණි. එසේම මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පාවිච්චියට ශීතකරණ, විදුලි උඳුන්, සුව පහසු මෙට්ටද ලබා දී තිබූ බව පසුගියදා අනාවරණය විය. ඒ සියල්ලම රැඳවියන්ට හොර පාරෙන් ලැබී තිබූ දේ වන අතර ඒවා රැඳවියන් අතට පත්කිරීමට කටයුතු සලසා ඇත්තේද බන්ධනාගාර දූෂිත නිලධාරින් විසිනි.

මෙලෙස මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සමඟ දූෂිත ක්‍රියාවන්හි නිරත වූ ආපනශාලාවේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කෙරිණි. එම නිලධාරියා විසින් රැඳවියන්ට ජංගම දුරකථන ඇතුළු සිම් කාඩ්පත් සපයා ඇති බවට වාර්තා වේ. එසේම ඔහු පසුගියදා අත්අඩංගුවට ගැනුණු ගුවන් හමුදා සාජන්වරයා සමඟද ළඟ සබඳතා පවත්වා ඇත.

මේ ආකාරයට ගෙවී ගිය දින කීපයේ ජාවාරම්කාර රැඳවියන්ට දුරකථන සපයමින් ඔවුන් සමඟ ගනුදෙනු කළ මහර සහ මාතර බන්ධනාගාර නියාමකවරුන් දෙපළකගේද වැඩ තහනමකට ලක්කෙරිණි.

කෙසේ හෝ මේ වන විට බන්ධනාගාරගතව සිටින රටේ නම ගිය අපරාධකාරයන් වන පොට්ට නවුෆර්, වෙලේ සුදා, සුසෙයි, කොස්ගොඩ තාරක, පොඩි ලැසි, කංජිපාන ඉම්රාන් ආදි මෙකී-නොකී බොහොමයක් අපරාධකාරයන් රඳවා සිටින්නෙ බූස්ස බන්ධනාගාරය තුළයි.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිර කුටි තුළ රඳවා සිටින මෙකී අපරාධකරුවන්ට තවදුරටත් දුරකථන භාවිතය වළකාලමින් දුරකථන සබඳතා විසන්ධි කරන ‘ජැමර්‘ සවි කිරීමටද තීන්දු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත් ඉතාම වටිනාම මෙන්ම අත්‍යවශ්‍යම තීන්දුවකි.

මෙවැනි නිලධාරීන්ට වැට බැඳීම සඳහා පසුගිය දිනවලදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න බූස්ස බන්ධනාගාරරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය 19 වැනිදා කොළඹ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නීතිපති දප්පුල ද ලිවේරා ද සිදු කළේය. එහිදී නීතිපතිවරයා දීර්ඝ දේශනයක් පවත්වමින් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.

ඒ අනුව ජනපතිවරයා ප්‍රමුඛ බලධාරින් ඉතිහාසයේ කවර පාලකයකුවත් සිදු නොකළ ආකාරයෙන් දූෂිත බන්ධනාගාර නිලධාරින්ට මෙන්ම අපරාධ ක්‍රියා මෙහෙයවන බන්ධනාගාර රැඳවියන්ට එරෙහිව ගන්නා ඉදිරි පියවර පිළිබඳව මේ වන විට රටම බලා සිටී.

 

Comments