සෙල්ලම ලෙල්ලමක් වී මහ මුහුදට හතරක් බිලි | Page 2 | සිළුමිණ

සෙල්ලම ලෙල්ලමක් වී මහ මුහුදට හතරක් බිලි

එදින 200ක පමණ පිරිසක් උස්වැටකෙයියාව මුහුදු තීරයේ දිය නාමින් විනෝද වෙලා

එක් අයෙක් රෝහලට ගෙන යද්දී ජීවිතය හැර ගිහින්

 

පසුගිය 20 වැනිදා සවස තුනහමාරට පමණ විය. වත්තල පොලිසියට 119 හදිසි ඇමැතුම් අංකය හරහා තොරතුරක් ලැබිණි. ඉන් කියැවුණේ දික්ඕවිට වරාය ආසන්නයේ සුසාන භූමිය අසල පිරිසක් දිය නාමින් සිටියදී ගසාගෙන ගොස් ඇති බවයි.

අනතුරුව වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා විසින් පොලිස් සහ නාවික හමුදා කණ්ඩායමක් එකි පිරිස බේරා ගැනීමට යෙදවිණි. එහෙත් ඒ වන විට මුහුදු තීරයේ සිටි අයගෙන් කීප දෙනෙක් එක්ව තෙප්පලමක් ආධාරයෙන් අධික සැඩ පහරින් යුත් මුහුදට ගොස් තිදෙනෙක් ගොඩබිමට ගෙනැවිත් රාගම රෝහල කරා යවා තිබිණි. ඒ තිදෙනාගෙන් දෙදෙනෙක් රෝහලට රැගෙන යන විටත් මෙලොව හැර ගොස් තිබුණේ ශෝචනීය ලෙසිනි. ඊට අමතරව ගසාගෙන ගිය තවත් දෙදෙනෙකුගෙන් එක් අයෙක් නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ ක්‍රියාත්මක වීමෙන් ඒ මොහොතේම සොයාගත්තත් ඔහුට ද ජීවත්වීමේ වාසනාව අහිමි විය. පසුව පැය ගණනාවක් අතුරුදන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුරද එදින රාත්‍රි 11ට පමණ ගොඩගසා තිබුණේය.

දින ගණනාවක් නිවෙස්වලටම කොටුව සිටි හෙයින් කලෙකින් ලැබුණු අවස්ථාවෙන් දිය නා විනෝද වීමේ අටියෙන් මියගිය පිරිස ඇතුළුව හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උස්වැටකෙයියාව මුහුදු තීරයට ගොස් ඇත.

එම පිරිසෙන් කඳාන උස්වැටකෙයියාවේ, පුබුදුගම විසූ 20 හැවිරිදි සාවනි සුලෝචනා, 16 හැවිරිදි තරුෂි සිතුමිණි ප්‍රනාන්දු, පුබුදුගමට යාබද කන්දෙවත්තෙ විසූ 14 හැවිරිදි සජිත් සඳරුවන් සහ බදුල්ල, හාලිඇළ 32 හැවිරිදි සංජීව ප්‍රියදර්ශන එසේ සිය ඉරණම් ගමන ඛේදවාචකයකින් අවසන් කළ සිවුදෙනායි.

ඔවුන් එදින උස්වැටකෙයියාව මුහුදු තීරයේ දිය නාමින් සිටියදී 200ක පමණ පිරිසක් මුහුදු තීරයේ විනෝද වෙමින් සිටි බවකි. මියගිය පිරිසේ නඩයද ගල්වැටියක්ද යොදා ඉතා ආරක්ෂිතව බේසමක හැඩැතිව සකසා තිබූ ස්ථානයේ දියනාමින් සිට ඇත. එහෙත් නොසිතූ ලෙසින් එක්වරම රළ ප්‍රචණ්ඩ වී ඇත්තෙ කිසිවකුටත් කිසිවක් සිතාගත නොහැකි ලෙසිනි. මියගිය පිරිස සමඟ දිය නෑමට ගිය වසන්ති මධුවන්ති සිහිනයක් වන් සිය අනුවේදනීය අත්දැකීම මෙසේ පැවැසුවාය.

“අපි බොහොම විනෝදෙන් දිය නාමින් හිටියේ. අපි ගිහිල්ලා පැය භාගයක් විතර නෑවා. මුහුදේ කිසිම වෙනසක් පේන්න තිබුණේ නෑ. ඒත් එක්වරම අපි හිටපු තැනට විශාල රැල්ලක් ආවා... ඒ රැල්ලට තමයි මුලින් හතර දෙනෙක් ගසාගෙන ගියේ. ඒ අය ගහගෙන යනකොට අපිත් එක්ක ගිය සංජීව මාමා ඒ අයව බේරගන්න මුහුදට පැන්නා. අන්තිමට එයාවත් දිය පහරට ගසාගෙන තවත් ඈතට ගියා. මායි අපිත් එක්ක ගිය අනෙත් අයයි කෑගැහැව්වා. ඒ වෙලාවෙ ගමේ කීප දෙනෙක් ඇවිත් තෙප්පමකින් මුහුදට ගියා. මුලින් ඒ අයටත් වැඩි දුරක් යන්න බැරිවුණා. පස්සෙ ගොඩට ඇවිත් ආයෙත් ගියා. එහෙම ගිහිල්ලා ඒ අය සුලෝචනාවයි, සිතුමිණියි... චම්පි අක්කවයි ගොඩට ගෙනාවා. කොහොමහරි ඒ අයගෙන් දෙන්නෙකුට ඒ වන විටත් පණ තිබුණා. ඒත් රාගම රෝහලට යනකොට ජීවත්වෙන්න වාසනාව ලැබුණේ චම්පි අක්කට විතරයි.“

නොසිතූ මොහොතක ක්ෂණයකින් සිදුවූ ඛේදවාචකයෙන් සිය සහෝදරිය ඇතුළු යහළු යෙහෙළියන් රුදුරු ජල රකුසා රැගෙන ගිය ආකාරය යළි යළිත් සිහිපත් වෙද්දී ඇය හඬා වැටෙන්නට වූවාය.

විනෝදයට දිය නෑමට ගිය පිරිස එලෙස උස්වැටකෙයියාව මුහුදු තීරයට ගොස් තිබුණේද අහඹු ලෙසිනි. එය දෛවයේ සරදමකි. මියගිය සංජීව සහ ඔහු සේවය කළ පෑස්සුම් කාර්මික ආයතනයේ හිමිකරු සහ තවත් අයෙක් කඳාන පුබුදුගමට ගොස් තිබුණේ සබන් නිෂ්පාදිත යන්ත්‍රයක් සවි කිරීමටයි.

ඒ, හොකන්දර ප්‍රදේශයේ අයෙක් පුබුදුගම වෙසෙන මෝගන් වසන්ත මහතාට ලබා දුන් සබන් නිෂ්පාදිත යන්ත්‍රයක් ඔහුගේ නිවෙසේ සවි කිරීමටයි. මියගිය අයගෙන් සාවනි සුලෝචනා, මෝගන් වසන්ත මහතාගේ දියණියකි. පසුගිය දා රාගම, උතුරු කොළඹ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම්. ප්‍රියංකරලාල් මහතා විසින් මියගිය අයවලුන්ගේ මරණ පරීක්ෂණය සිදු කෙරිණි. එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්කි දුන් පිරිස සමඟ දිය නෑමට ගොස් සිටි 25 හැවිරිදි දුලාන් අනුෂ සිය යහළුවා වූ සංජීව ප්‍රියදර්ශන ඇතුළු පිරිසට අත්වූ ඉරණම ගැන මෙසේ පැවැසීය..

“අපි එදා උදේ අතුරුගිරියේ අරංගල සිට මැෂින් එක අරගෙන පුබුදුගම මෝගන් අයියලයි ගෙදර ගියා. ඒ මැෂින් එක සවි කරන්න.

මෝගන් අයියගේ දියණියන් දෙදෙනයි තවත් ළමයි කීපදෙනෙකුයි උදේ ඉඳන්ම අපි ගිය ලොරියේ නැඟලා හිටියේ. ඒ අය කීවා නෑදැයෝ කට්ටියක් මූදේ නානවා අපිත් එක්ක යන්න එන්න පුළුවන්ද කියලා. අන්තිමට අපි හත්දෙනෙක් ලොරියේ ගියා. මුලින් ඒ නංගිලා මියගිය පොඩි මල්ලි සමඟ මූදේ නෑවා. මායි සංජීවයි ගොඩ හිටියේ. පස්සෙ අපි දෙන්නත් වතුරට බැස්සා. එක්වරම නංගිලා තුන්දෙනෙකුයි පොඩි මල්ලියයි විශාල රළ පහරකට ගසාගෙන යනවා අපි දැක්කා. සංජීව මං දිහා බලාගෙන හිටියා. ඒත් එක්කම ඔහු එක්වරම මුහුද දෙසට ගියා. මං කෑගැහැව්වා යන්න එපා කියලා. ඒත් ඔහු ගහගෙන යන පිරිස බේරාගන්න මූදට පැන්නා...“

සංජීවගේ මෑණියන් වන ජී. නන්දාවතී මාතාව දරාගත නොහැකි දුකින් හඬා වැළපෙමින් සිය එකම පුත්‍රයාගේ වියෝව දරාගත නොහැකිව පවසන්නෙ,

“පුතා මාස දෙක තුනකින් ගෙදර ආවෙ නෑ. කොරෝනා වසංගතේ නිසා එන්න විදිහක් නැතිව කොළඹට හිරවෙලා හිටියේ. ඒත් එන්න පුළුවන් දවස් වෙනකොට, වැඩපළට ලොකු වැඩක් ආවා. ඒක ඉවර කරලාම ගෙදර එන්නම් කියලාකීවා. අපි ආසාවෙන් බලාගෙන හිටියේ පුතා එනකල්.

සංජීව කියන්නෙ මගේ වැඩිමල් දරුවා. මහත්තයා වගේම පවුලේ හැම දේකටම මුල් වුණේ මගේ රත්තරං පුතා. ගමේ ආවාම ගමේ පොදු වැඩවලදිත් පින් දහම් වැඩවලදිත් ගමේ අයත් එක්ක හරියට මහන්සි වෙනවා. ළඟදීම මෙහේ වැඩපළක් පටන්ගන්න පුතා හිතාගෙන හිටියා. ඒත් පුතාගේ ඒ හීනය වගේම අපි හැමෝගෙම හීනත් විනාශ වුණා. ආයෙ ඉතින් කවදා මගේ පුතාගේ මූණ දකින්නද දෙවියනේ...“

කඳාන උස්වැටකෙයියාවම හඬවා පසුගිය බදාදා දින අවසන් ගමන් ගිය සජිත් සඳරුවන් සහ තරුෂා සිතුමිණි පාසල් වියේ පසුවූ දරුවන් දෙදෙනෙකි. කඳානෙ කපුගොඩ මහ විදුහලේ ඉගෙනුම් කටයුතු කළ සජිත්ගේ මවද විදේශගතව සිටියේය.

විනෝද ගමන්, වන්දනා ගමන් පමණක් නොව කුමනාකාරයේ ක්‍රියාවක නිරත වුවද ඒ සෑම විටෙකදීම තම ජීවිතවලට එල්ල වන විවිධාකාර වූ අවදානම ගැන සැවොම දෙවරක් සිතා බැලිය යුතුමය. එසේ නොමැතිව තම සිතැඟි අවදානම් ක්‍රියාවන්හි නිරත වීම තමනට පමණක් නොව සෙසු අයගේ ජිවිතවලටද භයානක ප්‍රතිඵල අත්කර දෙන බව මෙකී සිවුදෙනාගේ ඛේදවාචකයෙන් පිළිබිඹු වේ.

 

ඡායාරූප

හාලිඇළ සමූහ - ආර්. එම්. විජේරත්න

රාගම සමූහ - එස්. එච්. අයි. කුසුම්ලතා

 

Comments