රුපියල් 100 රියැදුරු බලපත්‍රයට රුපියල් 1340ක් ගෙවූ අපූරු ටෙන්ඩරය | සිළුමිණ

රුපියල් 100 රියැදුරු බලපත්‍රයට රුපියල් 1340ක් ගෙවූ අපූරු ටෙන්ඩරය

 

 ජූලි 1 වැනිදා අවුරුදු 2කට යළිත් ගිවිසුම් ගැසීමට සැලසුම්

 ජාතික හැදුනුම්පතට වියදම රුපියල් 70යි රියැදුරු බලපත්‍රයට රුපියල් 1340

රියදුරු බලපත්‍ර මුද්‍රණය සම්බන්ධ අර්බුදයේ කතාන්දරය වසර 14ක් තිස්සේ කතාබහට ලක්වන්නකි. ඒ 2006 වසරේ සිටය. පැරැණි කළු සුදු රියැදුරු බලපත්‍රය වෙනුවට ‘චිප්‘ කාඩ්පතක් සහිත නව වර්ණ රියැදුරු බලපත්‍රයට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ වැඩිම මිලට මෙන්ම අඩුම තාක්ෂණික සුදුසුකම් තිබූ සමාගමකට බව 2006 වසරේ සිටම මාධ්‍ය මඟින් පෙන්වා දී තිබුණි.

විශේෂයෙන්ම ඕස්ට්‍රෙිලියානු සමාගමක් රුපියල් 450කටද, බ්‍රිතාන්‍ය සමාගමක් රුපියල් 600කටද මැලේසියන් සමාගමක් රුපියල් 800කට ද නව රියැදුරු බලපත්‍රයක් ලබාදීමට ටෙන්ඩර්පත් ඉදිරිපත් කර තිබිය දී එම ටෙන්ඩරය ලබා දුන්නේ රුපියල් 1750ක් වැනි ඉතා ඉහළ මිලක් ඉදිරිපත් කළ සමාගමට වීම මෙහිලා විශාල අර්බුදයක් මෙන්ම සමාජයේ කතාබහට ලක් වූවකි.

එමෙන්ම එම ටෙන්ඩරය ලබා දුන්නේ තාක්ෂණ අතින් අවම සුදුසුකම් තිබූ ආයතනයකට වීම මෙන්ම තාක්ෂණික සුදුසුකම් අතින් ඉහළ ආයතන ගණනාවක් තිබිය දී එසේ සිදුවීම සම්බන්ධව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවා විමතිය පළ කර තිබුණි. ‍

එසේම එම අප්‍රිකානු සමාගමකට මෙසේ ටෙන්ඩරය ලබා දුන්නද එවන් ව්‍යාපෘති සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් පවා තිබුණේ නැත. එහෙත් අප්‍රිකානු සමාගමට වසර පහක් සඳහා ටෙන්ඩරය ලබා දුන්නද එම කාඩ්පත රුපියල් 200ත් 300ත් අතර මිලකට ලබාදිය හැකිව තිබුණි. එහෙත් රටේ අභාග්‍යය මෙන්ම මේ ගනුදෙනුව පිටුපස තිබූ හදිසි හස්තයන් නිසා රුපියල් 1750ක් වූ අධික මිලට ටෙන්ඩරය ලබා දෙන ලදී. ටෙන්ඩරය ලබාදීමෙන් පසුවද මේ පිටුපස සිටි හදිසි හස්තයන් නිකම් සිටියේ නැත. වසර 5කට ගිවිසුම්ගතව තිබූ ටෙන්ඩරය රියැදුරු බලපත්‍ර ගාස්තුව රුපියල් 1340කට අඩුකර ගිවිසුම් කාලය වසර හතකට දීර්ඝ කරන ලදී. මේ කටයුතු සියල්ල සිදුවුණේ හදිසි හස්තයන්ගේ සාක්කු පිරෙන ආකාරයෙන්ය.

එහෙත් කිතුල් ගහට නැඟ ගත් මිනිසාටත් උත්තර තිබුණු අපේ රටේ මෙවන් මහා පරිමාණ ගසා කන්නන්ට ඕනෑ තරම් පිළිතුරු ඇත. එම පිළිතුරු දත්ත අනුව හෝ ප්‍රායෝගිකව හෝ පෙන්වා දෙන්නට තරම් මේ හදිසි හස්තවලට හැකියාව ඇත. මේ රියැදුරු බලපත් අනිසි මුදල් ගෙවීම සම්බන්ධව පාර්ලිමේන්තුව දක්වා ඇ දී ගියේය.

ඒ සම්බන්ධව වරින් වර කතාබහට ලක් වූ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවෙන්ද මේ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කරන ලදී. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තීන්දුව වූයේ ගිවිසුම ආරම්භ කර වසර 10ක් ගත වූ වහාම එනම් 2016 වසරේ දී අනිවාර්යෙන්ම ගිවිසුම අවසන් කර එය රජයට පවරා ගත යුතු බවයි. එම නිර්දේශය අනුව 2016 වසරේ දී රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නිල වශයෙන් රජයට පවරාගත යුතු වුවද අප පෙර පැවසූ පරිදි කිතුල් ගහට නැඟුණු අයටද පිළිතුරු ඇති හෙයින් විවිධ හේතු පවසමින් ප්‍රවාහන බලධාරීන් විසින් එය රජයට පවරා ගැනීම ප්‍රමාද කරන ලදී. කෙසේ හෝ එම ව්‍යාපෘතිය රජයට පවරාගෙන රජය මගින් මුද්‍රණ කටයුතු සිදු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව දැනුම් දුන්නද එය ප්‍රවාහන බලධාරීන් ගණන් ගත්තේ නැත. යළිත් වරක් එම නියෝගය රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් ලැබුණද එයද තුට්ටුවකටවත් මායිම් නොකරන්නට ප්‍රවාහන බලධාරීහු කටයුතු කළහ. එයින් හොඳින් පැහැදිලි වන්නේ මේ පිටුපස ඇති අතයට ගනු දෙනු නොවේද? තුන්වැනි වරටත් රාජ්‍ය ගිණුම් කාරක සභාව මේ සම්බන්ධව දැනුම් දුන්නද එයද නොසලකා හරින්නට බලධාරීහු කටයුතු කළහ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය එසේ නිසි කලට පවරා නොගැනීමෙන් පමණක් රජයට වූ පාඩුව රුපියල් මිලියන 5000කි. ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිය විගණන විමසුමකින්ද පෙන්වා දී තිබුණි.

එසේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් තුන්වරක් දන්වා සිටියදීත් එය පවරා නොගැනීම මෙන්ම එසේ පවරා නොගත් අය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරුන් විසින් කටයුතු කර නොතිබුණි. එයින් පෙනී යන්නේ අමාත්‍යාංශයේ ඉහළම මට්ටමේ බලධාරීන්ද මේ සිදුවීම යට ගැසීමට උත්සාහ දරන බවක් හෝ ඔවුන්ද මේ සිදුවීම්වලට කුමන හෝ සම්බන්ධයක් තිබෙන බව යැයි අපට නම් හැඟේ. එය මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව තරම් බරපතළ නොවන නිසා ලිස්සා හැරියාද යන්න අපට තවත් ගැටලුවකි.

එමෙන්ම මේ සඳහා අදාළ අප්‍රිකානු සමාගම භාවිත කරන්නේ වසර 20ක් පැරැණි තාක්ෂණයකි. ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබිය දී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමයකට නව රියැදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමෙන් රජයට අහිමි වූ මෙන්ම ඉදිරියේ දී අහිමි වන මුදල තවත් කෝටි ගණනක් වනු ඇත.

මෙවන් පසුබිමක් යටතේ මේ රියැදුරු බලපත්‍ර මුදුණය අදාළ සමාගමට තවත් වසර දෙකකට ලබා දීමට මේ වන විට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න අපට නම් ගැටලුවකි. ඒ වෙනුවෙන් ඕනෑතරම් ලිඛිත ක්‍රම මේ වන විට සකසා තිබෙනු ඇත. ඒ වෙනුවෙන් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් ටෙන්ඩරයක් ලබා දීමට නියමිතය. මේ ව්‍යාපෘතිය අදාළ අප්‍රිකානු සමාගමට පවරා දෙන්නේ නඩත්තු හා සේවා ගිවිසුමක් යටතේය.

නව රියැදුරු බලපත්‍රයේ පරිගණක ගත කළ ‘චිප්‘ පතක් ඇතත් කිසිදු ස්ථානයක දී එම චිප් පත පරීක්ෂා කිරීමට පහසුකම් නැත. අදාළ සමාගම විසින් ඒ සඳහා පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන බවට එකඟ වී තිබුණද වසර 14ක් තිස්සේම එය ඉටුව නැත. මේ නිසා මෙරට කිසිදු පොලිසියකට හෝ වෙනත් ආයතනයකට හෝ රියැදුරු බලපත්‍ර චිපය පරීක්ෂා කිරීමට හැකියාවක් නැත.

මේ කටයුතු මෙසේ සිදුවෙද්දී මෙරට රජයේ දෙපාර්තමේන්තු සහ සියලු රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය ආයතන සඳහා දැනුම්දීමක් සිදු කරන ලදී. ඒ අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදු කරනු ලබන මේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියද ඒ අනුව සිදු විය යුත්තකි. එහෙත් රුපියල් මිලියන නවදහසක් වටිනා අදාළ ආන්දෝලනාත්මක ගනුදෙනුවට අදාළව වසර විස්සකට වඩා පැරණි තාක්ෂණයක් භාවිත කිරීම, ඒ සඳහා වැය වන මුදල ඉතා ඉහළ මුදලක් වීම හා මේ ව්‍යාපෘතිය දේශීයව සිදු කළ හැකිව තිබිය දී එසේ සිදු නොකිරීම ආදී චෝදනා ඉදිරිපත් කරමින් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා එම තනතුරෙන් පසුගියදා ඉල්ලා අස්විය. එයින් පෙනෙන්නේ ජනාධිපතිවරයා විසින් පනවන ලද නියෝග උපදෙස් පවා නොතකා කටයුතු කරන්නට නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම වසර දෙකකට අදාළ නව ගිවිසුම ලබන ජූලි මස 1 වැනිදාට පෙර අත්සන් තැබීමට නියමිතව තිබේ. ඒ අතරේ නව ටෙන්ඩරයක් සඳහාද මිල ගණන් කැඳවා තිබේ. මේ ටෙන්ඩරයට කොපමණ කලක් ගත වන්නේද යන්න කිව නොහැකිය. ටෙන්ඩරය පිරිනැමුණද යම් පාර්ශ්වයක් ඊට එරෙහිව අධිකරණයට ගියද අධිකරණයේ එය වසර ගණනාවක් ඇ දී යන්නට බොහෝ විට ඉඩ තිබේ. එතෙක් මහජන අවශ්‍යතා නිසා මේ ටෙන්ඩරය ක්‍රියාත්මක වනු ඇත. ඒ බව හොඳින් දන්නා නිසා බලධාරීහු ගජරාමෙට මේ කටයුත්තේ යෙදී සිටිති. කොරෝනා වසංගතයට වැඩි අවධානයක් යොමුව ඇති නිසා ඒ අස්සේ කෙසේ හෝ මේ ගිවිසුම ගසා ගන්නට ඔවුහු දත කති. එමෙන්ම මෙවර නව ගිවිසුම යටතේ රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් දහස බැගින් අදාළ අප්‍රිකානු සමාගමට ගෙවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතත් අදාළ අප්‍රිකානු සමාගම ඊට කැමැත්ත පළකර නැති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. රුපියල් 1750කට ආරම්භයේ දී ලබා දුන් පසුව රුපියල් 1340ක් දක්වා අඩු වූ වසර 16කට පසුව රුපියල් 1000කට මිල නියම කරන්නට යෑමෙන්ම අපට පැහැදිලි වන්නේ එහි ඇති උපරිම මිල අධික බවයි. මෙවැනි චිප්පතක් සහිත කාඩ්පතක් ලෝක වෙළෙඳපොළේ මේ වන විට රුපියල් සියයක පමණ මිලකට මුද්‍රණය කර ගත හැකි අතර පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත මුද්‍රණය කිරීම සඳහා වසර දහයක කාලයක් පවතින හැදුනුම්පතක් සඳහා රජය වැය කරන්නේ රුපියල් 70ක පමණ මුදලකි. රියැදුරු බලපත්‍රයට සමාන ජාතික හැදුනුම්පතට රුපියල් 70ක් වැය කරද් දී රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 1340ක් ගෙවීමේ අරුමය දැන් පැහැදිලිය.

රජයට යා යුතු බොහෝ මුදලක් මේ වන විට රටෙන් පිටට ගොස් ඇත. ඉදිරියටද එවැනි තත්ත්වයක් ඇති වන බව අපට පෙනේ. මේ තත්ත්වය තව දුරටත් බලා සිටිය යුතුද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු අතර රාජ්‍ය අංශය දියුණු කරන බවටත්, දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන බවටත් ඒවා මුල් කර ගත් ආර්ථිකයක් මෙරට ගොඩනඟන බවටත් පොරොන්දු වූ අතර ඒ වෙනුවෙන් නිසි යන්ත්‍රණයක් මෙන්ම සුදුසුකම්ලත් පුද්ගලයන් අදාළ අංශවලට පත් කරන ලදි. එහෙත් ජනාධිපතිවරයාගේ ඒ අභිලාෂය ඉටු නොකරන්නට තමන්ගේ සාක්කු පුරවා ගන්නට දත කන ඇතැම් නිලධාරීන්ගේ මෙවන් කටයුතු නිසා සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම විශාල ආර්ථික අගාධයක් කරා යනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ හා මෘදුකාංග පිළිබද ප්‍රවීණත්වය දරන දේශීය ව්‍යාපාරිකයෝ රැසක් සිටිති. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක කරන්නේද ශ්‍රී ලාංකික සමාගමක් විසිනි. චීනය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, බංග්ලාදේශය මාලදිවයින ආදී රටවල් රැසක විශේෂ ව්‍යාපෘති රැසක් ශ්‍රී ලාංකික සමාගම් විසින් සිදු කරනු ලැබේ. මේ ගනුදෙනුව පිළිබදව කමිටු පත් කළ සෑම අවස්ථාවකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් කැබිනට් මණ්ඩලය හා අදාළ කමිටු නොමඟ යවමින් පවසා ඇත්තේ මෙවන් කාර්යයක් සිදු කරන්නට තමන්ට දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බවයි. එහෙත් වසර විස්සක් පැරැණි ක්‍රමයක් නොව අලුත්ම ව්‍යාපෘතියක් පවා ක්‍රියාත්මක කරන්නට තරම් හැකියාවක් ඇති නිලධාරීහු දෙපාර්තමේන්තුවේ සිටිති. වවුනියාවේ සිට නිවසේ විදුලි පහන් දල්වන්නට ජංගම දුරකතනය සම්බන්ධ කරන්නට සමත් පරිගණක විශේෂඥයෝ අපේ රටේ සිටිති. වාහන ගමන් මාර්ගය මුළුමනින්ම නිරීක්ෂණය කරන්නට සමත් වූවෝද සිටිති. එමෙන්ම පසුගිය කාලයේ කෑගල්ලේ හා පුත්තලමේ දී මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලෙසින්ම වාහන අංක තහඩු මුද්‍රණය කළ ස්ථාන දෙකක් සොයා ගැනිණි. ඒ තාක්ෂණය පවා අපේ අය සතුව පවතී. ඒ නිල නොවන තාක්ෂණය භාවිත කිරීමකි. ‍

කොරෝනා වසංගතය නිසා රටේ අතිවිශාල ආර්ථික ගැටලු තිබිය දී මේ ලෙසින් අක්‍රමවත් ක්‍රම හරහා මුදල් විදේශ රටවලට ගලායෑමට සැලැස්වීම බරපතළ අපරාධයක් නොවන්නේද? මේ විනාශට නැවැත්වීමට වහාම කටයුතු කළ යුත්තේ එහෙයිනි.

Comments