අනුන්ගේ ණයට ඉල්ලා ගෙන කෑම අපේ පැරණි ශ්‍රී ලාංකිකයන් විසින් සැලකුණේ බලවත් ලැජ්ජාවක් වශයෙනි. එසේම එය මිනිස්කමටත් නිගා දෙන කුසීත කමකි. එහෙයින් අපේ පැරැන්නෝ එවැනි දෑ කිරීමෙන් පමණක් නොව එවැන්නක් ගැන සිතීමෙන් ද වැළකුණහ.
එහෙත් මෑත කාලයේ අපේ රටේ පත්වූ හැම ආණ්ඩුවක්ම පාහේ ජාත්‍යන්තරයෙන් ණයට මුදල් ගෙන තිබුණේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඒ ගැන තව දුරටත් පැහැදිලි කළහොත් එම ආණ්ඩු කිසිදු ඉවක් බවක් නොමැතිව අනුන්ගෙන් මුදල් ණයට ගෙන තිබුණේය .එය තම ජාතික ප්‍රතිපත්තිය ලෙස සලකමිනි.
මෙරට සුද්දාගෙන් නිදහස් ලැබුණු මුල් කාලයේ පත්වූ ආණ්ඩු කීපයක් හැරෙන්නට එදා -මෙදාතුර බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම පාහේ එම වැරැද්දට අඩුවැඩි වශයෙන් දායකවී තිබුණහ. එහෙත් අද සිදුවී ඇත්තේ ජාත්‍යන්තරයෙන් මුදල් ණයට නොගෙන බැරි තැනට අපේ රටේ ආණ්ඩු පත්වී සිටීමයි.
වර්තමානයේ පවතින ගෝලීය අර්ථ රටාව තුළ කිසිදු රටකට අන්‍යොන්‍ය වශයෙන් මුදල් ණයට නොගෙන සිටීමට බැරි තත්ත්වයක් උදාවී ඇතැයි මෙහිදී යමකුට තර්ක කළ හැකිය. ඔවුන්ගේ එම තර්කයේ යම් සත්‍යයක් ඇතැයි අපට ද සිදුවීම නොවැළැක්විය හැකි ය. අද ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් පවා ජාත්‍යන්තරයෙන් මුදල් ණයට ගැනීමත්, මෙරට ආණ්ඩු විදෙස් රටවලින් ණය මුදල් ලබා ගැනීමත් අතර බරපතළ වෙනසක් තිබේ. එනම් දියුණු රටවල් විදෙස් ණය මුදල් ලබාගනු ලබන්නේ තම දේශීය නිෂ්පාදන වැඩි දියුණු කර හෝ අලුතින් ආරම්භ කර තම රටේ ජාතික ආදායම කීප ගුණයකින් වර්ධනය කර ගැනීමේ අදහසිනි. ඒ අනුව ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තම රටේ ජාතික ආදායම තවදුරටත් ඉහළ දමා ගැනීමය. එහෙයින් එම රටවල් විදේශ ණය ලබා ගැනීමේ ක්‍රියාදාමය ගැන කිසිවකුට හෝ දොසක් කිව නොහැකිය.
එහෙත් අපේ රටේ බිහිවූ බොහොමයක් ආණ්ඩු ගත වූ කාලය තුළ වැඩිපුරම විදෙස් ණය ලබාගෙන ඇත්තේ ඊට ඉදුරාම වෙනස් අරමුණක් පෙරදැරි කැරගෙනය. එනම් ජනතාවගේ පරිභෝජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහාය. නැතහොත් ඇති - හැකි අයගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමටය. එම ණය මුදල් ලබා ගන්නේ ඉහළ පොළී අනුපාතයකට වීම ඔවුන් විසින් සිදුකරනු ලැබූ වැරැද්දකි.
මෙලෙස ඉතා ඉහළ පොළී අනුපාතයන්ට යටත්ව විදෙස් වාණිජ බැංකු වලින් ණය මුදල් ලබා ගන්නා කිසිදු ආණ්ඩුවකට එහි ඇති බරපතළකම ගැන නොවැටහීම මුළු මහත් ජාතියේම අවාසනාවකි.
ඇතැම් විට ඔවුන්ට එහි ඇති බරපතළකම ගැන නොවැටහෙන්නේ එම ණය මුදල් පොලියත් සමග ආපසු ගෙවීමේ වගකීම පැවරී ඇත්තේ මතු බිහිවන ආණ්ඩු මත බව දැන සිටින නිසා විය හැකිය. එනයින් බලන විට වැඩිවැඩියෙන් විදෙස් ණය මුදල් ලබා ගැනීමට මුල් වූ හැම ආණ්ඩුවක් විසින්ම සිදුකර ඇත්තේ රටේ නූපන් පරපුර පවා උකසට තැබීමය.
රටේ නූපන් පරපුර උකසට තබා විදෙස් ණය ලබා ගැනීමේ ක්‍රමවේදය දැන්වත් නතර කළ යුතු බව අපගේ අදහසයි. එහෙයින් මෙතෙක් පැවති මජර ආර්ථිකයට වඩා හාත්පසින්ම වෙනස් නවතම මූල්‍ය කළමනාකරණයක් මෙරට ඇතිවිය යුතුය. එසේ නොමැතිවූ විට අලුතින් බලයට පත්වන හැම ආණ්ඩුවකම සිදුවන්නේ ඊට පෙර බලයේ සිටි ආණ්ඩුවලට දෙස් දොවොල් තබමින් තමනුත් ඔවුන්ගේ අඩිපාරේම ගමන් කිරීමටය. නැතහොත් ඒ මඩ ගොහොරුවේම ලැග තප්පුලෑමටය.
ගත වූ තෙමසක පමණ කාලය තුළ මෙරට පැතිරගිය කෝවිඩ් 19 වයිරසය නිසා එම කාල වකවානුව පුරාම රට එක තැනක නතරවී අකර්මණ්‍යව පැවතිණි. එවැනි තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම රටක ආර්ථිකය කඩාවැටීම ගැන පුදුම විය නොහැකිය. එහෙයින් රටක ආර්ථිකය කඩා වැටීම ගැන පුදුම විය නොහැකිය.
එහෙයින් එම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒම සඳහා අපට විදෙස් ණය ආධාර ලබාගත යුතුව තිබෙන බව ද සත්‍යයකි. එසේ වුවද එලෙස ලබාගනු ලබන විදෙස් ණය ආධාර ඊට අදාළ ක්‍රියාකාරකම් සඳහාම පමණක් යොදා ගැනීම රජයේ වගකීමකි. ආණ්ඩුවත්, රජයේ නිලධාරිනුත් එම වගකීමෙන් මිදී කටයුතු කරනු ලැබුවහොත් සිදුවන්නේ බරපතළ ව්‍යසනයකි.
එසේම අද අප රටක් වශයෙන් මුහුණ පා සිටින්නේ බරපතළ ගැටලුකාරි තත්ත්වයකටය. එහිදී සිතාමතාම හෝ නොදැනුවත්ව හෝ වැරදීම් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුය. එසේම මෙරට ජනතාවට ද මෙය තමන්ගේ බඩගෝස්තරය ගැන පමණක් සිතිය යුතු කාලයක් ද නොවේ. ආණ්ඩුව මෙන්ම රටේ සමස්ත ජනතාව ද අද ප්‍රධානත්වය දිය යුත්තේ ඉකුත් ආණ්ඩු වලින් අවිචාරවත් ලෙස ගෙන ඇති විදෙස් ණය කන්දරාවෙන් සහ කෝවිඩ් 19 වයිරසය මගින් සිදුකළ ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමටය.
අප දැඩි ලෙස විශ්වාස කරන්නේ වත්මන් රාජ්‍ය නායකයන් දෙපළට එම උතුම් කර්තව්‍ය හොඳින් ඉටුකළ හැකි බවය. ගතවූ කෙටි කාලය තුළ කෝවිඩ් 19 වසංගතය මර්දනය කළ ආකාරයෙන්ම ඒ බව මනාප පැහැදිලි වේ. ඒ අනුව අද මෙරට සමස්ත ජනතාව මෙන්ම ආණ්ඩු බලය ලබා ගැනීම සදහා ඔවුනොවුන් හා පොරට වැටී සිටින දේශපාලන පක්ෂ නායකයන් ද එක දෙයක් තරයේ සිතට ගත යුතුය. එනම් විදෙස් ණය මුදල් වැඩි වැඩියෙන් ගෙන ඒවා උදර පෝෂණය සදහා යොදා ගන්නවාද? එසේත් නැතිනම් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා දායක වනවාද? යන අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීම ගැනය.